විශේෂාංග

අනේ කාලේ වනේ වාසේ…. පොලිස් කෝලම

මූලික මිනිස් අයිතීන් සුරකිමට ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පොලිසියට දැන් වසර 150 සපිරෙන්නේ ලබන සැප්තැම්බර් 5වැනිදාය. පොලිසිය යන ඉංග්‍රීසි නම හැදී ඇත්තේ ආචාරශීලි, යටහත්, පක්ෂපාතී, බුද්ධිමත්, ධෛර්යවන්ත සහ කාර්යශූර යන වචනවල ඉංග්‍රීසි මුල් අකුරු වලිනි.

අතීතයේ කෝලම් නැටුම් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කලා අංගයකි. කෝලම් නැටුම්වල ප්‍රථමයෙන් කෝලමේ වේදිකාවේ නට නටා යයි. ඉන් පසු පුස්කොල පොතක් අතැතිව පොතේ ගුරා වේදිකාවට එයි. ඉනික්බිතිව එන්නේ ප්‍රධාන නළුවාය. අණබෙර, නොන්චි, ආරච්චි, පොලිස්, හේවා කෝලම පසුව රඟ දැක්වේ. අනතුරුව පෙන්වනු ලබන්නේ සිංහ, බඩදරු, පරංගි, කාපිරි, කරපට, ගොන්, කොටි කෝලම්ය. අද පොලිසිය සහ පොලිස් කොමිසම මගින් රඟදක්වනු ලබන්නේ එම අතීතය සිහිපත් කරමින් පොලිස් කෝලමකි. එහි කෝලමාද පොතේගුරාද, ප්‍රධාන නළුවාද එකවිට රඟනු දක්නට ලැබේ.

ගම්පහ රතුපස්වල උද්ඝෝෂණයේදී වෙඩිවැදී මියගිය අය පිළිබදව අවසානයේ පරික්ෂණ කොමිසමක් පවා පත්කළේය. එදා රතුපස්වලට, හලාවතට, කටුනායක පොලිස් ප්‍රහාරවලට හඬනැගූ ‘යහපාලන’ පිරිස් ඇඹිලිපිටිය ඇතුළු පොලිස් පහරදීම් පිළිබදව දැන් පූස් පැටියන් මෙන් මුනිවත රකී. එදා ඔවුන් විසින් හැදින්වූ යුධ විරුවා පසුව වෙල් විදානේ බවට අභිෂේකකර වර්තමානයේ මන්ද බුද්ධිකයෙක් බවට අවසානයේ පත්කර තිබේ. කාලය මැවූ වෙනසක අරුමය මෙයයි.

එදා මොරටු පොලිසියේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් රජය වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වූයේ නැත. අවසානයේදී පොලිස් නිලධාරින් වරදකරුවන්වී පෝරකයටද නියම විය. එදා පොලිසියේ එකෙක් මැරුණොත් ඕඩර් එක දුන්නේ මහින්ද බවට බෙරිහන් දුන් පිරිස් අද ඇටි කෙසෙල් කෑ උගුඩුවන් සේය.

වරෙක රත්නපුරදී රූ මනමාලියෙකුවූ ‘බට්ටි’ට කොටන්න ගොස් වැරදුන විට අම්බානක ප්‍රසිද්ධියේ නෙලුවේය. පොලිස් නිලධාරියා අවිස්සාවේල්ලට මාරු කළේය. පසුව යළි වැඩට පැමිණියේය. මැදවච්චියේදී ආබාධිතයෙකුට පහරදී අත පයේ හිරිඇර ගත්තේය. කොටදෙනියාවේදී සේයා දැරිය අපහරණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් අහිංසක පාසැල් සිසුවෙකුට සම්බුව දුන්නේය. අනුරාධපුර මහසෙන් විදුහලේ 5 ශ්‍රේණියේ ගුරුවරියකගේ ස්ථාන මාරුවකට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයක නිරතවූ දෙමාපියන් කිහිප දෙනෙකු පොලිසියට කුදලා ගෙන ගියේය. මේ කිසිවකට එරෙහිව පොලිස් කොමිසම ගත් නිසි ක්‍රියාමාර්ගයක් නැත. දෙමාපියන් දරුවන් නලවන්නාක් මෙන් වැරදිකල බවට චෝදනා ලත් පොලිස් නිලධාරින්ට නුඹ නාඩන්, නුඹ නාඩන් නුඹට ඕවා හොද පාඩම් කියා රටට පෙනෙන්නට පොඩි කෙනිත්තිල්ලක් දැම්මාට වැඩක් නැත.

රන්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඉකුත් ජනාධිපතිවරණයේ පුද්ගලයෙකුට වෙඩි තැබූ බවට චෝදනා කරමින් ඇප ලබාගත නොහැකිව වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවිය. බස්නාහිර පළාත් හිටපු ඇමති උපාලි කොඩිකාර රිමාන්ඩ් කළේ බණ්ඩාරනායක ශාලාවේ පැවැත්වෙන කොමිසමට සාක්ෂි දීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට පැමිණ සිටියදී පොලිස් නිලධාරියෙකු සමඟ ආරෝවක් ඇති කරගත් බවට වූ චෝදනාවකිනි. හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී ඉන්දික පොලිසියට දෝෂාරෝපනය කල බවට පැමිණිල්ලක් හේතුවෙන් රිමාන්ඩ් ගත විය.

ආචාර්ය නාලක ගොඩහේවා යනු උගතෙකි. රටට හිතැති බුද්ධිමතෙකි. ඔහු සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයාය. ඔහු යහපාලන ආණ්ඩුවෙන් බස්නාහිර සංචාරක මණ්ඩලයේ සභාපති තනතුරට පත්කල අටපාස් ‘වාලම්පුරි මහාචාර්යවරයා’ මෙන් පොරක් නොවේ. ලක්ෂ 50ක ආධාර මුදලක් අධ්‍යක්ෂක මණ්ඩල තීරණයක් අනුව ප්‍රධානයක් කිරීම වෙනුවෙන් 2015 දෙසැම්බර් 7වැනිදා අත්අඩංගුවට ගත් අතර අද වන විට දින 39ක් තිස්සේ තවමත් ඇප නැතිව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේය. පොලිසිය පොදු දේපල පනත යටතේ එය පවරා ඇත්තේ චිරාත් කාලයක් තබා ගැනීමේ බලය එයට ඇති නිසාය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් වීසා නොමැතිව ලංකාවේ රැදී සිටීම නිසා 2015 නොවැම්බර් 4වැනිදා අත්අඩංගුවට ගත් අතර ඇප නැතිව අදට දින 72ක් කෑගලු රිමාන්ඩ් බන්ධනාගාරයේය. ශ්‍රී ලංකාවේ පුරවැසියන්වු මව්පිය දෙපලකට දාව ලංකාවේ ඉපිද ලංකාවේ සරසවි අධ්‍යාපනය ලැබූ කුමාර් විසා නැති චෝදනාව යටතේ රඳවාගෙන සිටියදී රජය විදේශිකයන්ට ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසි ප්‍රදානය කරන්නේ උත්සවශ්‍රීයෙනි. පුද්ගලයෙකු බලයෙන් පැහැරගැනීම, අයුතු ලෙස රඳවා තැබීම, තර්ජනය කිරීම වැනි රටවැසියෝ ඇස් පනාපිට රූපවාහිනියෙන් දුටු චෝදනා ලැබූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැය 2කින් ඇපමත නිදහස්ය. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය.

හිරුණිකා දැරවි වැරදි වැඩ කල බවට චෝදනාවකි. මෙයට පෙරද එවැනි වැරදි වැඩ සම්බන්ධයෙන් ඇයට චෝදනා එමට ඇත. මෙවර ඇය පොලිසියෙන් ඇරෙස්ට් කරනවාය. ඒ සෙනසුරාදා දිනයකි. 2016 ජනවාරි 9 උදැසන 7.59ට එස්.එම්.එස්. පණිවිඩයක් ආවේ හිරුණිකා අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලැබුණු බවය. හරියටම උදේ 9.10ට හිරුණිකා අත්අඩංගුවට ගත් බවට තවත් පණිවිඩයක් ලැබුණේය. හිරුණිකා කොටුව අධිකරණයට ගෙන යන බවට පණිවිඩය ලැබුණේ උදෑසන 10.59ටය. වරුවක් යන්නට පෙර හිරුණිකා ක්ෂණික ශරීර ඇප මත නිදහස් විය. ‘යහපාලන’ දෙවන වසර සුභ මොහොතින් ආරම්භ විය. උදෑසන ආහාර ගෙන නිවසින් පිටත්වූ හිරුණිකා දිවා භෝජනයට යළි නිවසට පැමිණීමට සමත්වූවාය. ශ්‍රී ලංකාවේ පොලිසිය ඇමරිකාවේ පොලිසියටත් වඩා ටිප් ටොප්ය. පොලිසියේ එම ක්ෂණික නූඩ්ලස් ක්‍රියාමාර්ගයට අපේ හිතේ කහටක් නැත. ශ්‍රී ලංකාවේ පොලීසිය කාර්යක්ෂම නැතැයි කියූ සැමට එය හොද අතුල් පහරකි. එහෙත් එය කුමාර් ගුණරත්නම්ලාටද, නාලක ගොඩහේවාලටද, අප්පුහාමිලා සහ රන්මැණිකේලාටද එකම හැන්දෙන් විය යුතුය. පොලිසිය නීතිය පිළිපැදිය යුත්තේ හිරු අමාවකට ගිය දිනයකදී පමණක් නොවේ. ස්වාධීන පොලිස් කොමිසමක් යටතේ සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක විය යුතුය. රටට දුක පොලිසියටත් වඩා ‘යහපාලන’ ආණ්ඩුවේ ස්වාධීන පොලිස් කොමිසම ගැනය.

කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඒ අතින් හරිම වාසනාවන්තය. උසාවියද නිවාඩු කාලයක පසුවිය. ඇය ආවා ගියෝය. මාර්ටින් වික්‍රමසිංහ ශූරින්ගේ කථාවක කියූ පරිදි හරියට ‘මෙරු’ මෙනි. අධිකරණයේ වරදක් නොපෙනේ. වරද ඇත්තේ පොලිස් පැමිණිලි ගොනු කිරීම තුළය. ස්වාධීන පොලිස් කොමිසම සිදුකල යුත්තේ මෙවැනි මතභේදකාරි සිද්ධීන් පිළිබඳව අපක්ෂපාති පරික්ෂණ ඉක්මනින් පවත්වා ඒවායේ පසු විපරමක් සිදුකිරීමය. නැතිනම් පොලිස් කොමිසම පිළිබදව පොලිසියේ ආකල්පය වනු ඇත්තේ බඩුත් අපේ, නඩුත් අපේ වැනි අදහසකි. කැස්බෑව මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි එදා මේවාට කීවේ මයි කාර්, මයි පැට්‍රෝල් කියාය. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය පියාගේ චර්යාත්මක රටාව අනුගමනය කරන්නේද යන්න වෙනම සාකච්ඡා කල යුත්තකි. මනෝ ප්‍රවේණි විද්‍යාව මගින් ප්‍රචණ්ඩත්වය පරම්පරාවට සම්ප්‍රේෂණය වීමද මෙහිදී අවධානයට ලක්විය යුතුය. එය අපට නොව වෛද්‍ය පර්යේෂකයින්ට අයත් රාජකාරියකි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේද පොලිසිය සුනඛ විවාහයක්ද මහනුවරදි උත්සවශ්‍රීයෙන් කළේය. ‘යහපාලන’ නිර්මාතෘ මාදුළුවාවේ සෝභිත හිමියන් ඒ පිළිබදව ප්‍රසිද්ධියේ කියා සිටියේ බල්ලෝ උත්සවශ්‍රීයෙන් හනිමුන් යැවීමට තරම් පොලිසිය ක්‍රියා කිරීම තුළින් පෙන්නුම් කරන්නේ රාජ්‍ය සේවය බල්ලට ගොස් ඇති බව කියාය. පොලිසියේ බලු විවාහයෙන් අම්බානට බැනුම් ඇසුවේ එදා සන්ධාන ආණ්ඩුවය. පොලිසියේ වර්තමාන ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කොමිසමේ අදහස වී ඇත්තේ ‘පොලිසිය මගෙ සකි, යහපත් ළමයෙකි, නුවණත් ඇත්තෙකි, වැඩටත් සමතෙකි’ යන සිරිමත්ගේ තියරිය දැයි සැක සිතේ. ඇඳ ගැනීම සහ ඇන්ඳවීම මල් හතය.

පනහේ දශකයේදී සර් ජෝන් අගමැතිධූරය දරණ වකවානුවේ පොලිසියේ සහ හමුදාවේ අමානුෂික පහරදීම් වලට එරෙහිව නැගුණ විරෝධතාව කොතෙක්ද යත් ඒ පිළිබදව එච්.ඒ.ද සිල්වාගේ සභාපතිත්වයෙන් කොමිසමක්ද පත්කරන ලදී. ඉන්පසු 1978 එජාප ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු නීතිය සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකාරකම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා විවේචනයට ලක්විය. සමසමාජයේ විවියන් ගුණවර්ධන ඇතුළු පිරිසකට 1983 මාර්තු 8වැනිදා පහර දුන්නේ කොල්ලුපිටිය පොලිසිය තුළදීමය. පහරදුන් අය වැරදිකරුවන්වූ විට ශ්‍රේෂ්ඨාධිකරණය නියමකල රුපියල් 2,500 වන්දි මුදල රජයෙන් ගෙවා චූදිත පොලිස් නිලධාරියාට උසස් වීමක්ද ලබාදෙන ලදී. තීන්දුන් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ට එරෙහිව මැරයින් පිරිසක් ඔවුන්ගේ නිවෙස් ඉදිරිපිට උද්ඝෝෂණද කලහ. එයට නායකත්වය දුන්නේ ගෝනවල සුනිල්ගේ මිත්‍රයකු සහ 71 කැරැල්ලේ 29වැනි විත්තිකරුවූ ඇඹුල්දෙණියේ ලක්ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු නොහොත් කළු ලකීය.

ජනපතිවරණය පැවති 1982දී පැවිදි හඬ සංවිධානය ආචාර්ය දරමිටිපොල රතනසාර හිමිගේ නායකත්වයෙන් ගම්පහ සිනමා ශාලාවක රැස්විමක් පැවැත්වීමට තිබියදී එය විසුරුවා හැරි පොලිසිය පත්‍රිකා පැහැර ගෙන ගියහ. එය මූලික අයිතින් උල්ලංඝනයක් කළේයැයි තීරණය කල ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 12,500ක් ගෙවන ලෙස පොලිස් අධිකාරිවරයාට නියම කළේය. එම මුදල් රජයෙන් ගෙවා අදාළ පොලිස් නිලධාරියාට උසස් වීමක්ද පිරිනැමුවේය.

බලවත් දූෂිත පුද්ගලයන් ඉදිරියේ පොලිසිය ක්‍රියා කල අයුරු රටට රහසක් නොවේ. බලයක් සහ හඬක් නොමැති මිනිසුන්ට එළව එළවා ගුටි බැට දීම දැන් එන්ට එන්ටම වැඩිය. මෙවැනි පොලිස් මර්ධනකාරි තත්ත්වයක් 70 දශකයේ අග භාගයේදී විද්‍යාමාන වූ අතර අවසානයේදී එය 80 දශකය ආරම්භයේදී අභිෂේක ලැබීය. ඩිමොක්‍රසි, හියුමන් රයිට්ස්, ගුඩ් ගවනන්ස් එන්.ජී.ඕවලට නම් මේවා හොද ඩොලර්, පවුම් ඇදෙන ප්‍රොජෙක්ට්ස්ය.

ඇඹිලිපිටියේ එදා තිබුණේ වැඩිවියට පත් ගැහැණු ලමයෙකු පිළිබඳව සාදයකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථ දැක්වීම අනුව එය අයුතු ජන රාශියකි. කොටහලු මගුලටත් ඒ අනුව අවසර ගත යුතුය. මේවා අන්දරේගේ ෆැට් න්‍යායෙන් පිළිතුරු දෙන කොමඩි කථාය. ඇත්ත පත්තරේ කතුවරයාව සිටි ප්‍රවීණ දෙටු පුවත්පත් කලාවේදී බී.ඒ සිරිවර්ධනයන් අද සිටියේ නම් මේවාට හෙඩිමක් දමනු ඇත්තේ එදා මෙන් ‘ගොනා උනාට උම්බෑ නොකියනු’ කියාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන අපට දුකක් නැත. එය ඇමතිවරයෙකුගේ ප්‍රෙස් ඔෆිසර් වාගේ කලාවට සහ ලතාවට කෙප්ප ගැසීමේ තනතුරකි. එවැනි තනතුරකදී ගල් පැලෙන බොරුද, අතේ පැලවන බොරුද, කැටයම් දැමූ බොරුද කීවාට ‘පව්’ නැත. එය කුණු රෙදි හෝදන චොෂින් මැෂිමක් වාගේ වැඩකි. මන්ද තනතුර දරන්නේ රුකියාවට පින්සිදු වන්නටය. රුකියාව කරන්නේ අඹු දරුවන් ජීවත් කරන්නටය. සකල ලෝක වැසියෝ මේවා දන්නා බව සත්‍යයකි. නොබෙල් සම්මානය වෙනුවෙන් ලොක්කා රඟන රැඟිල්ල සොක්කෝ කලොත් සිදුවනු ඇත්තේ නෝ බෙල්ලය. එබැවින් කලින් සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මෙන් පොත පෙරලා සිනාසී කෙප්ප කෙලීමේ කලාව හැදෑරිම කල යුතුය. අජිත් රෝහණ සමුගන්නා විට බුකියේ ටොයියෝ සහ බයියෝ තරඟයට දුක්වූවෝය. අසූව දශකයේ මුල් භාගයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෙකු නොසිටියද ජේෂ්ඨ පොලිස් අධිකාරි එස්. ඩී. සේනාරත්න එම කාරිය හොදින් සිදු කළේය.

පොලිසිය ජනතාවගේ උපහාසයට හෝ සමච්චලයට ලක්විය යුතු නැත. එදා වෝඩ් පෙදෙසේදී බිම ඇද වැටුණු සිසුවියට බැටන් පොල්ලෙන් පොලිස් නිලධාරියා පහර දුන්නා නොව නැගිටීමට අත දුන් බව පොලිසිය ප්‍රකාශ කළේය. අවසානයේදී පොලිස් කොමිසම කියා සිටියේ සිදුවූ පහරදීමට සිසුවියට වන්දියක් ගෙවිය යුතු බවය. පොලිස් නිළධාරියාට මාරුවක් දුන්නේය. ඔහු දැන් ඇතැම් විට පරණ තැනම වැඩ ඇත. වන්දිය ආණ්ඩුවේ මුදලින් ගෙවනු ඇත. නීතිය රකින්නට සුද්දාගේ පොලිසිය ගෙනත් දැමීමෙන් සිදුවූ දෙය උපහාසයට ලක්කරමින් පොලිස් කෝලම එදා රඟ දැක්විණි. එය වර්තමානයේ පොලිසිය සහ පොලිස් කොමිසම විසින්ම රඟදැක්වීම හාස්‍යයට කරුණකි. තමන් බක බ්‍රහ්මයාටත් වඩා කෙරුමෙකැයි කිසිවෙකු සිතිය යුතු නොවේ. පොලිසිය ඇත්තේ පාලකයාගේ බොඩිය සහ චැසිය ආරක්ෂා කිරීමට නොව මහජනයා රකින්නටය. එසේ නොවුනහොත් මහජනතාවගේ ආරක්ෂාවට ඇත්තේ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් පමණි.

(The writer is a senior journalist who could be reached at ejournalists@gmail.com OR 011-5234384)

ධර්මන් වික්‍රමරත්න

Top