LNN SPY

අමරවීර මහත්තයලාගේ ඇමැති පට්ටම් තියෙන්නේ තව දවස් කිහිපයයි….මුන්ගේ අනාගතය රැඳිලා තියෙන්නේ රනිල්ගේ අතෙයි

සිරිකොතේ පිළිකන්නට වී රනිල්ගේ ඇමැති කටු ලොවමින් සිටින ඇමැතිවරුන් විශ්වාසභංගයට ඡන්දය නොදී ඇඳන් යට රිංගා සැඟවී සිටීම එතරම් පුදුම වන්නට දෙයක් නොව බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් රනිල්ගේ උදහසට ලක්වෙතැයි බියෙන් මොවුන් ඇඳන් යට රිංගා සැඟවුණු බව පැවසූ රණතුංග මහතා රනිල්ගේ උදහසට ලක් නොවී මීළඟ වතාවේ එක්සත් ජාතික පක්ෂයෙන් හෝ පාර්ලිමේන්තුවට රිංගා ගැනීම එම පිරිසේ එකම අරමුණ බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ මිනුවන්ගොඩ ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (10) පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

සමහරු අපෙන් අහනවා විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ ඇයි කියලා. අපි මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ පරදින්න නෙමෙයි. මේක දිනන්න තිබුණු විශ්වාෂභංගයක්. බුලත් කොළෙන් පාර්ලිමේන්තු ආපු මන්ත්‍රිවරුන් 96 දෙනා එකට හිටියා නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුගේ සහයෝගයත් අරගෙන මේ විශ්වාසභංග යොජනාව දිනන්න අපට පුළුවන්කම තිබුණා.

හැබැයි ඒකාබද්ධ විපක්ෂය මේ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරනවාට නිදහස් පක්ෂයේම සමහර පිරිස් කැමැති වුණේ නැහැ. සිරිකොතේ ලැ‍ගගෙන රනිල්ගේ කටු ලෙවකන ඒ පිරිස අන්තිම මොහොතෙදි රනිල්ව ආරක්ෂා කරන්න ඉදිරිපත් වුණා. එතැනින් කොන්ද පණ තිබුණු ඇමැතිවරුන් 16 දෙනෙක් අපිත් එක්ක විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරා.

හැබැයි තමන්ගේ කැමැත්ත අකමැත්ත ප්‍රසිද්ධියේ කියන්නවත් කොන්දක් නැති නිවටයෝ රැලක් ‍කාගෙද ගෙදර හැංගිලා ඡන්දෙ ඉවරවෙනකම් හිටියා. දැන් විරයෝ වගේ කියනවා විශ්වාසභංගයට ඡන්දය දුන්නේ නැත්තේ වැඩක් නැහැ කියලා දන්න නිසාලු. ඒක නෙමේ ඇත්ත. මේ අය ඡන්දය නොදුන්නේ රනිල් පරදිනවාට තියන බයටයි. මේ අයගේ අනාගතය රැඳිලා තියෙන්නේ රනිල්ගේ අතෙයි.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය නොදුන් සියලුම මන්ත්‍රීවරුන්ගේ අරමුණ එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට ටිකට් එක ඉල්ලා ගැනීමයි. ඒ අය හොඳාකාරවම දන්නවා ඊළඟ පාර මහ මැතිවරණයේ දී පොහොට්ටුව එක්ක හැරෙන්නවත් නිදහස් පක්ෂයට බැරි බව. ඒ වගෙම පොහොට්ටුවට කතිරය ගහන කවුරුත් රනිල්ගේ බත්බැලයන්ට ඡන්දය නොදෙන බවත් ඒ අය දන්නවා.

ඒ හින්දා දැන් හදන්නේ රනිල්ගේ නැට්ටේ එල්ලිලා කොහොම හරි පාර්ලිමේන්තුවට රිංග ගන්නයි. එතැනදි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වගේම පාක්ෂිකයන්ටත් මොළයක් තියෙනවා නම් මේ උන්දලාට ඉලපත් පාර දීලා එලවා ගන්නවාට කිසිම සැකයක් නැහැ. දුමින්දලාගේ, අමරවීරලාගේ බබා දේශපාලනය මේ පාර්ලිමේන්තුවෙන් පස්සේ අවසානයි කියලා ලියලා තියා ගන්න.

දුමින්ද දිසානායක මහත්තයා කියනවා නිදහස් පක්ෂය විනාශ කළේ මහින්ද මහත්තයලු. 2015 ජනවාරි මාසේ අට වෙනි දා වෙනකොටත් නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක ආණ්ඩුවක් තිබුණා. පළාත් සභා සවයෙන් අටක් තිබුණා. පළාත් පාලන ආයතන බහුතරයක් තිබුණා. ඒ සියල්ල විනාශ කළේ කවුද කියලා දුමින්ද නොදන්නවාට මුළු රටම දන්නවා.

නිදහස් පක්ෂය විනාශ කරලා වැලේ වැල් නැතුව හිටපු රනිල් බලයට ගෙනාවේ සිරිසේන ජනාධිපතිතුමා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. 2015 මහ මැතිවරණයේ දී නිදහස් පක්සයට ලැබෙන්න තිබුණු ජයග්‍රහණයත් උදුරා ගත්තේ සිරිසේන මහත්තයයි. පළාත් පාලන මැතිවරණයෙදිත් ඒ ගේමම ගහන්න හැදුවත් අපි පොහොට්ටුවෙන් ඉල්ලපු නිසා සිරිසේන මහත්තයලාගේ කුමන්ත්‍රණය හරි ගියේ නැහැ.

පක්ෂය විනාශ වුණේ දුමින්දලාගේ අමරවීරලාගේ බබා දේශපාලනය නිසා කියන එක දැන් නිදහස් පාක්ෂිකයන්ට රහසක් නෙමෙයි.  ඒ නිසයි සියලු නිදහස් පාක්ෂිකයන් මහින්ද මහත්තයත් එක්ක අත්වැල් බැඳගෙන පොහොට්ටුව වටේ එක්රැස් වෙලා ඉන්නේ. දැන් ඒ ගමන ආපහු හරවන්න බැහැ. ඊළඟ දුමින්දලාට පාර්ලිමේන්තු තියා තිරප්පනේ ප්‍රාදේශීය සභාවටවත් පත් වෙන්න බැහැ.

මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි දැන් ගමේ බලය අල්ලලා ඉවරයි. දැන් තියෙන්නේ රටේ බලය අල්ලන්න පමණයි. අපේ බස් එක දැන් නිවැරැදි මාර්ගයේ ඉදිරියටම යනවා. යන්න කැමැති කෙනෙක් ඉන්නවා නම් මේ උදාවෙලා තියෙන්නේ අන්තිම මොහොතයි. අපි විශ්වාස කරනවා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන්න ඇමැතිවරුන් 16 දෙනාත් නිවැරැදි තීන්දුවක් ගනියි කියලා.

එහෙම නොවුණහොත් ඒ අයටත් දේශපාලනයට ආයුබෝවන් කියලා කුඹුරක් කොටගෙන ඉන්න පුළුවන්. ශ්‍රී ලාංකේය දේශපාලනය දැන් තීරණාත්මක මංසන්ධියකට ඇවිත් තියෙනවා. ඉදිරියේ දී උදාවෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් නව යුගයක්. එහි කොටස්කරුවන් වන්නට ලැබීම අපටත් ලොකු සතුටක්.

මම දැක්කා අමරවීර මහත්තයා කියලා තියෙනවා පොහොට්ටුවෙන් දිනපු පළාත් පාලන ආයතනවලට පාරවල් හදන්න මුදල් වෙන් කරන්නේ නැහැ කියලා. අමරවීර මහත්තයෝ ඕවා තමුන්නැහෙගේ ගෙදරින් ගෙනාපු සල්ලි නෙමෙයි. ඕවා ජනතා මුදල්. ජනතාව කැමැති පොහොට්ටුවට නම් අමරවීර මහත්තයාගේ කැමැත්තෙන් අකමැත්තෙන් පලක් නැහැ.

කොහොම වුණත් අමරවීර මහත්තයලාගේ ඇමැති පට්ටම් තියෙන්නේ තව දවස් කිහිපයයි. රනිල්ගේ පිහිට ආරක්ෂාව නැත්නම් උන්නැහේ දැනටමත් නිකම් නිකම් මන්ත්‍රී කෙනෙක් විතරයි. ඒ හින්දා ජනතා කැමැත්තට උසුළු විසුළු කරන්නේ නැතුව ඇමැති කටුව සූප්පගෙන ඉන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජනතාව ඊළඟ පාර තමුන්නැහේ ගැන තීන්දුව ගනියි.

Top