විශේෂාංග

“ආණ්ඩුව ගම්දෝ..? නොගන්දෝ..? කියලා සිතුනි මට..”… “ රනිල්ට වගේ මහින්දටත් බස් එක මිස් වෙයිද..?”

Published on: Oct 9, 2018- 89-90 කාලයේ ඉන්දියාවේ පී.සිං.ගේ ආණ්ඩුව බහුතරය අහිමිව කඩා ගෙන වැටුණාම එවකට විපක්ෂ නායක වූ රජිව් ගාන්ධිට හැමෝම කීවේ ආණ්ඩුව ගන්න කියලාය. එත් රජිව් හිතුවේ අති විශාල ජන වරමකින් තමන් බලයට එනවා මිස කුණුවූ ආණ්ඩුවට කර ගහන්නේ නෑ කියාය. ඒ වෙනුවට රජිව් තමාට පාලනය කළ හැකි අගමැතිවරයෙක් පත් කොට තම මන්ත්‍රීවරුන්ගේ බහුතර බලයෙන් ඒ ආණ්ඩුව පවත්වා ගෙන යමින් තමන්ට අවශ්‍ය දේවල් අගමැති ලවා කරවා ගන්න කැමැත්තක් දැක්විය. එලෙස පත්වූ චන්ද්‍රසේකර්ගේ ආණ්ඩුව හැඳින්වුයේ රජීව් ගාන්ධිගේ රූකඩයක් ලෙසය. රජිව්ට ඕනෑ වේලාවේ ඒ රූකඩ ආණ්ඩුව වැටුණි. මහ මැතිවරණය කැඳවිය.මහා ජන බලයකින් යළි අගමැති වෙන්න හීන බැලූ රජිව්ට ඒ හීනය සැබෑ කර ගන්න බැරි විය. රජිව් ඒ මහා මැතිවරණයේදී ප්‍රභාකරන් අතින් ඝාතනය විය.

2004 මහ මැතිවරණය පරාජය වී විපක්ෂ නායක වූ රනිල්ද කොයි මොහොතේ හෝ චන්ද්‍රිකා ජවීපෙ සමග එක්ව හදපු ආණ්ඩුව වැටෙන බව දැන සිටියේය. රනිල් තම සමීපතමයන්ගෙන් ඇසුවේ ජවීපෙ. ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් මොකද කරන්නේ කියාය. ඔවුන් හැමෝම කිවේ අගමැති වී ආණ්ඩුව අතට ගෙන ජනාධිපතිවරණයට යමු කියාය. එත් රනිල් පෙරළා ඇහුවේ රජිව් ගාන්ධි රූකඩ ආණ්ඩුවක් හැදුවා වගේ ජනාධිපතිවරණයට යන තෙක් රූකඩ ආණ්ඩුවක් හැදුවොත් නරකද කියාය. රනිල්ගේ ඔලුවේ වැඩ කළේ රජිව්ගේ රූකඩ ආණ්ඩුවය.

රනිල් හිතුවා වගේම 2005 මැද ජවීපෙ චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් ඉවත් විය. ඒ, එල්ටීටීඊය සමග අත්සන් කරන්න ගිය සුනාමි සහන මණ්ඩලයට විරෝධය පළ කරමින්ය. ඒ වේලාවේ චන්ද්‍රිකා අසරණ විය. රනිල්ට පණිවුඩ එව්වාය. එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනෙක් චන්ද්‍රිකාගේ ආරාධනය පිළි ගන්න යැයි රනිල්ට බල කළහ. එකල මෙරට සාම ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ ඇමරිකාව, නොර්වේ,යුරෝපා සංගමයද රනිල්ට කීවේ ජාතික ආණ්ඩුවක් හදා සාම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න කියාය. එත් රනිල්ගේ ඔළුවේ වැඩ කළේ රජිව්ගේ ගේම් එකය. චන්ද්‍රිකාගේ කුණුවූ ආණ්ඩුවට මුක්කු ගහන්නේ නැතිව ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයක් ලබා ආණ්ඩුවක් පිහිටු වන්න රනිල් හීන දැක්කේය.

ජාතික ආණ්ඩුවට යන්න යැයි ජාත්‍යන්තර ප්‍රජාව බල කළ විට රනිල් කිවේ තමන් ආණ්ඩුව වට්ටන්නේ නැහැ කියාය. රනිල් ඒ සහතිකය චන්ද්‍රිකාට දුන්නේය. 2005 ජනාධිපතිවරණය පැවැත්විය. රනිල්ගේ හීනය බොඳ විය. රනිල්ගේ පිහිටෙන් අගමැති ධූරය ආරක්ෂා කර ගත් මහින්ද ජනාධිපති විය.

මේ පරණ කතාන්තර මතක් වෙන්නේ මේ දවස්වල “ආණ්ඩුව ගම්දෝ..? නොගන්දෝ..? කියලා සිතුනි මට..” කියමින් නොනිදා රෑ පහන් කරන මහින්දව දකින කොටය. මෛත්‍රී එක්ක ඩීල් එකක් දමා ආණ්ඩුව ගන්න යැයි මහින්දට එන බලපෑම් එන්න එන්නම වැඩි වෙමින් තිබේ. ශක්‍ර දෙවියා පඬුපුල් ආසනය රත්වූ විට දුවන්නේ ප්‍රශ්නය සොයා ගෙනය. මහින්ද පඬුපුල් ආසනය රත් වේගෙන එන විට දුවන්නේ බැසිල් ගාවටය. හදිසියේම බැසිල් ලංකාවට දුවගෙන ආවේ මහින්ද ආණ්ඩුව ගන්නවා ද? නැද්ද? කියන ගැටය ලිහා ගන්න බැරිව දඟලද්දිය. මහින්දට ආණ්ඩුව ගන්න කියා බලපෑම් කරන ඒකාබද්ධ විපක්ෂයේ බොහොමයකට නඩු තිබේ. ඔවුන් බය නඩු අහල ඉවර වෙලා ඔවුන්ට හිරේ යන්න වේය කියාය. ඊට පෙර ආණ්ඩුව අරගෙන අපිව බේරා දෙන්න යැයි ඔවුන් මහින්දට බලපෑම් කරමින් සිටි. එත් බැසිල් කියන්නේ මෛත්‍රීව විශ්වාස කරන්න බෑ කියාය. මෛත්‍රී රනිල්ව ඉවත් කරන්න ඒකාබද්ධ විපක්ෂයේ සහය ගෙන අන්තිම මොහොතේ මහින්ද වෙනුවට වෙනත් අගමැතිවරයෙක් පත් කරයි කියා බැසිල්ට සැකයක් තිබේ. අනෙක මහින්දව අගමැති කොට මාස හයකට පසු මෛත්‍රී රනිල්ගේ ආණ්ඩුවට වගේ මහින්දගේ ආණ්ඩුවට ගහන්න ගනිද කියල බැසිල්ට සැකයක් තිබේ. බැසිල් කියන්නේ මහජන බලයකින් ජනාධිපතිවරණය ජය ගමු කියාය. නැතහොත් පළාත්සභා මැතිවරණය ගෙන ආණ්ඩුව අන්ත පරාජයට පත්කොට මහ මැතිවරණයකට තල්ලු කර ගමු කියාය. ඔහු කියන්නෙත් රජීව් සහ රනිල් එදා කී කතාවමය. කුණු වූ ආණ්ඩුවකට කර ගහල කුණුවෙන්න බැහැ කියන කතාවය.

“ රනිල්ට වගේ මහින්දටත් බස් එක මිස් වෙයිද..?”

ඒක කියන්න දන්නේ නැත. බැසිල්ගේ තියරියට අනුව වැටිලා තියන ආර්ථිකය ජනාධිපතිවරණය තෙක් ගොඩ යන්නේ නැත. දවසින් දවස ආර්ථිකය වැටෙයි. මෙහෙම ගියොත් ලබන වසර වන විට මිනිස්සු පාරට බහින තැනට ආර්ථිකය වැටෙයි. එවිට කුණුවූ අඹ ගෙඩියක් වැටෙන්නා සේ වැටෙන ආණ්ඩුව අතට ගමු කියා ඔහු හිතන බව පෙනෙන්න තිබේ.

“හැබැයි මෛත්‍රී විප්ලවීය වෙනසක් කොට ආර්ථිකයට ජනතාවාදී මානුෂිය මුහුණක් දුන්නොත්..”

“තෙල් මිල අඩු වුණොත් ..”

“කොහෙන් හරි ආණ්ඩුවට සල්ලි පිරෙන්න ගත්තොත් ..”

එහෙම වුණොත් මහින්දට සොරිම තමයි. ආණ්ඩුව ආණ්ඩුව විසින්ම අලුත් කරගෙන ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න තීරණය කළොත් මහින්දට වෙන්නේ මිස් වූ බස් එක ඈත දැක බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන හුල්ලන්නටය.

රජීව් රූකඩ ආණ්ඩු හදන්නේ නැතිව අගමැති වුවා නම් කවදාවත් ප්‍රභාකරන්ට රජිව්ව ඝාතනය කරන්න ලැබෙන්නේ නැත. හේතුව රජීව් යන්නේ අගමැති ලෙස පූර්ණ ආරක්ෂාව සහිතවය. එහෙම වුවා නම් ප්‍රභාකරන් ඒ ගැන හිතන්නේවත් නැත.

2005 මැද රනිල් අගමැති වුවා නම් මහින්දට විපක්ෂනායක ධුරයවත් චන්ද්‍රිකා දෙන්නේ නැත. එහෙම නම් මහින්ද ඇමතිවරයෙක් පමණි. අගමැති ධූරයේ සිට රනිල්ට ජනාධිපතිවරණය ජය ගැනීම මහ ලොකු කජ්ජක් නොවේ.

හැබැයි දේශපාලනය කියන්නේ මහා පුදුම දෙයකි. දේශපාලනය ගණන් හදන්න බැරි සාස්තරයකි. එහෙම වුණා නම් මෙහෙම වෙන්න තිබුණා කියලා දේශපාලන පණ්ඩිතයන්ට තර්ක කරන්න පුළුවන. හැබැයි අවසානයේ සියල්ල තීන්දු කරන්නේ දෛවයය.ජේ.ආර්ගේ වචනවලින් කිවහොත් වාසනා ගුණයය. ප්‍රශ්නය මහින්දට යළිත් රට කරන්න වාසනාව තියෙනවාද, නැද්ද කියන එක විතරය..!

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

Top