Featured

කටු සූප්පන්න ගියාට කමක් නැහැ බුරන්න එන්න එපා….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරාජයට වගකිව යුත්තේ තමන්ගේ පක්ෂයත් පාක්ෂිකයනුත් පාවා දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් අරන් දීමේ කුමන්ත්‍රණයට දායක වූ මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පිරිස බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඇමැති කටු සූප්පු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නේ ලැගගෙන සිටින පිං ඇමැතිවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කථා කිරීමට කිසිදු අයිතියක් නොමැති බව පැවසූ රණතුංග මහතා කටමැත දොඩවන සියලු පිං ඇමැතිවරුන් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් ප්‍රතික්ෂේප වී හමාර බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් සමඟ ඊයේ (14) පැවැති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වුණේ ඒ පක්ෂය ගමන් කරන මාර්ගය ගැන පැහැදීමක් නැති නිසයි. එතුමා එ. ජා. පයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලා වසර තුනක් යන්නත් පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වමේ බලවේග එකතු කරගෙන ආණ්ඩුවක් හැදුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා සිටම කටයුතු කළේ රටත් ජාතියත් ගැන හිතලයි.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකක්ද වෙලා තියෙන්නේ? ජාතික ආණ්ඩුවක් කියලා අටවගත්ත අටමගලක් නිසා බණ්ඩාරනායක මහත්තයා ප්‍රතික්ෂේප කරපු එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලෙන්න අපේ පක්ෂයට සිද්ධ වෙලා. පක්ෂය මේ තත්ත්වයට පත් කළේ එතුමාගේම දුව සහ වත්මන් සභාපතිවරයා එකතු වෙලයි. බණ්ඩාරනායක මැතිතුමා ජීවතුන් අතර ‍හිටියා නම් තමන්ගේ ආදරණීය පක්ෂය විනාශ කරපු වර්තමාන පක්ෂ නායකයන්ට ශාප කරයි.

රටට ආරක්ෂා කරන ප්‍රතිපත්තියක හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද රට විනාශ කරන එක්සත් ජාතික පක්ෂයේ ශාඛා සමිතියක් වෙලා. රටේ කවුරු හරි එක්සත් ජාතික පක්ෂයට බැන්නොත් ඉස්සරහට පැනලා බුරන්නේ ඒ පක්ෂයේ අය නොවෙයි. අපේ පක්ෂයේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිහින් එක්සත් ජාතික පක්ෂයට මුක්කු ගහගෙන ඉන්න පිං ඇමැතිවරුන් සෙට් එකයි. කටු කන බල්ලෝ තමයි වැඩියෙන් සැර කියලා කතාවකුත් තියෙනවනේ.

එක්සත් ජාතික පක්ෂය අද රටට කරන විනාශයට එන ජනතා විරෝධය වළක්වන්න වෙලා තියෙන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි. ඒ නිසයි අපි එදා ඉඳන්ම කියන්නේ මේ දීගය හරි යන්නේ නැහැ කියලා. ඒ නිසයි අපි ඒකාබද්ධ විපක්ෂය කියලා ස්වාධීනව කටයුතු කරන්නේ. පක්ෂයේ සභාපතිවරයාට ඕනෑ නම් එක්සත් ජාතික පක්ෂයට ගියාට කමක් නැහැ. හැබැයි අපේ පක්ෂය විනාශ කරන්න දෙන්න බැහැ.

තමන්ගේ නායකයාට පිටිපස්සෙන් ඉඳලා පිහියෙන් ඇනපු මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායකලා වගේ අය නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද මේ ඉරණමට මුහුණ පාන්න වෙලා තියෙන්නේ. විධායක ජනාධිපතිවරයෙක්, තුනෙන් දෙකක ආණ්ඩුවක්, පළාත් සභා අටක් සහ පළාත් පාලන ආයතන සියල්ලම හිමිව තිබ්බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ජනවාරි මසේ 08 වැනි දා පාවා දීමෙන් පස්සේ මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ.

පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුණේ ප්‍රසන්න රණතුංග නිසා බව චන්දිම වීරක්කොඩි, ශාන්ත බණ්ඩාර වගේ අය කියලා තියෙනවා මම දැක්කා. චන්දිම වීරක්කොඩි පසුගිය මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවට ආවේ මහින්ද මහත්තයා‍ගේ ෆොටෝ එක ගහගෙන ඡන්දෙ කරපු නිසා. ශාන්ත බණ්ඩාර ඡන්දෙනුත් පැරදුණා. ඒ අය තමයි අපට අද චෝදනා කරන්නේ.

පසුගිය ජනාධිපතිවරණයේ මම ගම්පහ දිස්ත්‍රික්කයේ නායකයා වෙලා හිටියේ නැහැ. ඒ වුණාට මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක් කළා. ගෙන් ගෙට ගිහින් ජනතාව දැනුවත් කළා වගේම දැවැන්ත රැළි තියලා එතුමාගේ ජයග්‍රහණය තහවුරු කරන්න කැප වුණා. නමුත් ආප්ප කාලා පැනපු අය කියපු කතා විශ්වාස කරපු ජනතාව මහින්ද මහත්තයා පරද්දන්න කටයුතු කළා.

මහ මැතිවරණයේ දී මහින්ද මහත්තයා හිටියේ නැත්නම් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලැබෙන්නෙත් නැති තත්ත්වයක් තමයි තිබුණේ. ප්‍රසන්න රණතුංගව ලිස්ට් එකෙන් කපන්න මෛත්‍රීලා, චන්ද්‍රිකාලා බොහොම මහන්සි වුණා. නමුත් ප්‍රසන්න නැත්නම් මමත් නැහැ කියලා මහින්ද මහත්තයා කියපු නිසා අන්තිමේ දී මට නාමයෝජනා ලැබුණා.

මට නාමයෝජනා ලැබුණාම මහින්ද මහත්තයා හිතුවේ මාව දිස්ත්‍රික් නායකයා කරන්න ඕනේ කියලයි. නමුත් පක්ෂයේ සභාපතිවරයා දිස්ත්‍රික් නායකයා බවට පත් කළේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ ෆීලික්ස් පෙරේරාව. අන්තිමේ දී ෆීලික්ස් පෙරේරා විතරක් නෙමෙයි පක්ෂයත් දිස්ත්‍රික්කය පැරදුණා. ඒ විතරක් නෙමෙයි පක්ෂයේ ජනතා කැමැත්ත තිබුණු අයට නාමයෝජනා දෙනවට සභාපතිවරයා කැමැති වුණේ නැහැ.

සමන්මලී සකලසූරිය, මෙරිල් පෙරේරා, සහන් ප්‍රදීප් වගේ ආකර්ශණීය තරුණ නායකයන්ට නාමයෝජනා නොදී මිනීමරුම් චෝදනා පවා තියෙන සංජය සිරිවර්ධන වගේ චරිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළේ පක්ෂයේ සභාපතිවරයාගේ වුවමනාවට. සභාපතිවරයාට ඕනෑ වුණේ මහින්ද පරද්දන්න මිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න නෙමෙයි.

මෛත්‍රීපාල, චන්ද්‍රිකා එකතු වෙලා කරපු කුමන්ත්‍රණය නිසයි ගම්පහ අපි පැරදුණේ. ඒ වුණත් දැන් ජනතාව ඇත්ත තේරුම් අරන් ඉන්නවා. එන ඕනෑම මැතිවරණයක දී මහින්ද මහත්තයාගේ පාර්ශවය උඩින් දිනවන්න ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව දැන් සූදානමින් ඉන්නවා. මම මේ ආණ්ඩුවට අභියෝග කරනවා පුළුවන් නම් මැතිවරණයක් තියලා බලන්න කියලා.

ගම්පහ විතරක් නෙමෙයි පසුගිය මහ මැතිවරණයේ දී අපේ පක්ෂයට පරදින්න සිද්ධ වුණේ පක්ෂ සභාපතිවරයාගේ අත්තනෝමතික වැඩ හින්දයි. මහින්ද මහත්තයා දිනයි කියලා බයට පක්ෂයෙත් සන්ධානයෙත් ලේකම්වරුන් ඉවත් කළා. දිනුවත් අගමැතිකම මහින්ද මහත්තයාට දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියෙම කිව්වා. අන්තිමේ දී අපේ පාක්ෂිකයන් අතරමං කරලා එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දුන්නා.

අපේ පක්ෂ මේ තරමින් හරි දිනුවේ මහින්ද මහත්තයා සහ එතුමා වටා හිටපු සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් නිසා මිසක් ඔය පිං ඇමැතිලා නිසා නෙමෙයි. හොඳට බලන්න මහින්ද මහත්තයා පාවා දීලා මෛත්‍රී සරණ ගිය එක අපේක්ෂකයෙක්වත් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒ නිසා තමයි ජාතික ලයිස්තුවට පැරදුණ මන්ත්‍රීන් දාලා තමන්ට කණ්ඩායමක් හදාගන්න ‍සිරිසේන මහත්තයට සිද්ධ වුණේ.

මහින්ද මහත්තයා එක්ක ඉන්නවා කියලා ජනතාවට පෙන්නලා යටින් ඩීල් දාලා පාර්ලිමේන්තු ආපු කීපදෙනෙක් නම් ඉන්නවා. ඒ අය හිතන් ඉන්නේ ජනතා ඡන්දෙන් ආවා කියලා. හැබැයි ඕවා මහින්ද මහත්තයට ලැබුණු ඡන්ද මිසක් තමුන්නාන්සේලාට ලැබුණු ඡන්ද නෙමෙයි. ඒ හින්දා තමුන්නාන්සේලා දිනුවත් පරාද වෙච්ච කණ්ඩායමක්. ඒක ඊළඟ මැතිවරණයේ දී හොඳින් බලා ගන්න පුළුවන් වෙයි.

අද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට එන්න තියෙන එකම තැන ඒකාබද්ධ විපක්ෂය විතරයි. පක්ෂය සහ පාක්ෂිකය්න පාවා දෙන අයගේ හෙවණට ගියොත් වෙන දේ ජනතාව අද හොඳින් දන්නවා. ඒ නිසා නැවත වරක් රැවටෙන්න ජනතාව සූදානම් නැහැ. ඒ නිසා අපි පිං ඇමැතිලාට, කොන්ද පණ නැති උන්නැහෙලාට කියන්න කැමැතියි කටු සූප්පන්න ගියාට කමක් නැහැ බුරන්න එන්න එපා කියලා. එහෙම වුණොත් ගෙදර යන්න ‍වෙන දවස වැඩි ඈතක නෙමෙයි කියලා මතක තියා ගන්න.

Top