විශේෂාංග

කිසිම ජනාධිපතිවරයෙක් ධුරය දරද්දී දෙවැනි වර පරාජය වී නැත..! කිසිම අගමැතිවරයෙක් ජනාධිපතිවරණයක් ද පරාජය වී නැත..! මහින්ද උඩ පනිනවා වැඩිය-ආණ්ඩුව බිම වැටිලා වැඩිය..!

Published on: Jul 18, 2018 – “අශ්වයකු පැද විය යුත්තේ උගේ ශක්තිය තිබෙන තුරු පමණි…උගේ ශක්තිය නැති වූ විට ඌ මරු කළ යුතුයි…” මේ 1988 ජනාධිපතිවරණයට දුවන්න දමන යූඇන්පී අශ්වයා ගැන ජේ.ආර්. දහ අතේ කල්පනා කරමින් සිටියදී ජේ.ආර් ගේ සුවච කීකරු ගෝලයා මුදල් ඇමති රොනී ද මැල් 1988 අගෝස්තු 04 වන දින ඉංග්‍රීසි පුවත්පතකට කී කතාවය.

රොනී, ජනාධිපතිවරණය සමාන කළේ අශ්ව රේස් එකකටය.ඔහු කීවා හරිය.ජනාධිපතිවරණය අශ්ව රේස් එකක් වැනිය.අද ලංකාවේ දේශපාලනයේ නොම්බර එකේ මාතෘකාව 2020 ට දමන අශ්වයා ගැනය.

මහින්දගේ අශ්වයාට ඔට්ටු අල්ලන්න කට්ටිය නම් වැඩිය.බොහොමයක් හිතන්නේ මහින්දගේ අශ්වයා කප් එක ගහන ඒක ෂුවර් කියාය.මහින්ද තවම ලත වෙන්නේ අශ්වයා තෝරා ගන්න බැරිවය.ජනාධිපතිවරණයට දමන අශ්වයා ගැන මාධ්‍යවේදියෙක් මහින්දගෙන් ඇහුවාම මහින්ද අපූරු උත්තරයක් දුන්නේය.

“අපේක්ෂකයා නම් කරන්න ඕනෑ අන්තිම මොහොතේදී” මේ මහින්ද දුන්නු අපූරු උත්තරයය.මහින්ද එහෙම කිව්වේ ඇයි ද දන්නේ නැත.හැබැයි ලංකාවේ ජනාධිපතිවරණ ඉතිහාසයේ අන්තිම මොහොතේ දමන අශ්වයන්ට දිනන්න වාසනාව තිබේ.1988 ජනාධිපතිවරණයට 1984 සිට ශ්‍රීලනිපය කීවේ තම අශ්වයා බණ්ඩාරනායක මැතිනිය කියාය.මැතිනිය ප්‍රජා අයිතිය ලද විගස ඇයගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ශ්‍රීලනිපය ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඒ වේලාවේ යූඇන්පිය හිනා වුණේ මුහුද හත් ගව්වක් තිබියදී මැතිනිය අඹුඩ ගසනවා කියාය. යූඇන්පිය එලෙස කීවේ නිකම්ම නොවේ.යූඇන්පියට අපේක්ෂකයකු සොයා ගැනීමේ ප්‍රශ්නයක් තිබිණ.

ජේ.ආර්ට 1988 ජනාධිපතිවරණය තරඟ කළ නොහැකි විය.හේතුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දෙවරක් ජනාධිපති ධූරය දරපු අයෙකුට තෙවැනි වර තරඟ කිරීමට තිබූ බාධාවය.ඒත් ජේ.ආර් ද ව්‍යවස්ථාව වෙනස් කොට යළි තරඟ කරන්න ඉව අල්ලමින් සිටියේය.ඒ සඳහා පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් කමිටුවක් ද පත් කළේය.

ජේ.ආර්ට පසු ඉදිරියෙන්ම සිටි අපේක්ෂකයා වූයේ අගමැති ප්‍රේමදාසය.ලලිත් සහ ගාමිණීත් ප්‍රේමදාස සමග කරට කර සිටියේය.රොනී අශ්ව කතාව කීවේ යූඇන්පී අශ්වයා තෝරන සටන පක්ෂය තුළම උග්‍ර වෙද්දීය.රොනී කීවේ යූඇන්පියට දිනන්න බැහැ කියාය.අශ්වයා කවුරු වුණත් ඌ කකුල් කැඩිච්ච නොන්ඩි ගහන අශ්වයෙක් යැයි රොනී කීවේය.එහෙම කියලා රොනී දිනන අශ්වයා වූ මැතිනියගේ පිට උඩ නැග්ගේය.යූඇන්පීයේ අශ්වයා ලෙස ප්‍රේමදාස එළියට ආවේ අන්තිම මොහොතේදීය.ජනාධිපත්වරණය කට ළඟ තිබියදීය.අන්තිම මොහොතේ දමපු අශ්වයා වූ ප්‍රේමදාස දින්නේය.ඔහු පිම්මේ ගියේය.

1994 ජනාධිපතිවරණයට චන්ද්‍රිකා අපේක්ෂිකාව ලෙස නම් කළේ 1994 මහ මැතිවරණය දිනා අගමැති වූ පසුවය.එහෙත් 1989 සිට 1994 මහ මැතිවරණය තෙක් ශ්‍රීලනිපය කීවේ අපේක්ෂිකාව මැතිනිය කියාය.හැබැයි අන්තිම මොහොතේ ආ චන්ද්‍රිකා දින්නාය.2005 ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද ආවේත් අන්තිම මොහොතේය.එජාපය කලින්ම අපේක්ෂකයා නම් කර තිබුණේය.සන්ධානය සිටියේ අපේක්ෂකයෙක් නම් කර ගත නොහැකිවය.

1988 ජේ.ආර්ට තිබූ ව්‍යවස්ථා බධාවම චන්ද්‍රිකාටත් බලපා තිබිණි.අපේක්ෂකයා අනුර ද මහින්ද ද කියා පක්ෂය තුළම විවාදයක් තිබිණි.චන්ද්‍රිකා මහින්දට අපේක්ෂකත්වය නොදෙනු ඇතැයි ප්‍රබල මතයක් විය.ඒත් අන්තිම මොහොතේ චන්ද්‍රකා මහින්දව නම් කළාය.අන්තිම මොහොතේ සටනට ආ මහින්ද දින්නේය.

මහින්ද පරාජය වූ 2015 ජනාධිපතිවරණයේ සිද්ධ වුයේත් ඒකමය.ව්‍යවස්ථාව වෙනස් කොට 2015 ජනාධිපතිවරණයට මහින්දම එනවා යැයි සන්ධානය කලින් සිටම ප්‍රකාශ කොට තිබිණි.යූඇන්පිය සිටියේ අශ්වයා කවුද කියා තෝරා ගත නොහැකිවය.

රනිල් පේක්ෂකයා ලෙස පත් වීමට කැමැත්තෙන් සිටියත් පක්ෂයේ ප්‍රබලයෝ පොදු අපේක්ෂකයකු සෙවූහ.මහින්ද ජනාධිපතිවරණයට දින නියම කරද්දී මහින්දගේ ආණ්ඩුව කඩා ගෙන මෛත්‍රීපාල ආවේ කවුරුත් නොහිතපු විදිහටය.මෛත්‍රීපාලට සටනට ඉතිරිව තිබුණේ දින කිහිපයකි.හැබැයි ඔහුත් පිම්මේ ගියේය.මෛත්‍රී දින්නේ මහින්දව අන්දමන්ද කරවමිනි.

අපේක්ෂකයා නම් කරන්න ඕනෑ අන්තිම මොහොතේ යැයි මහින්ද කියන්නේ 2015 දී කාපු පරිප්පුව මතක තිබෙන නිසා ද කියන්න දන්නේ නැත.හැබැයි මහින්දගේ අශ්වයා ගෝඨා කියලා මහින්දගේ රේස් බුකිය එනවුන්ස් කරලා බොහෝ කල්ය.

“ගෝඨා දැම්මොත් ගොඩ”… “ගෝඨා නෙමේ…මහින්ද මහත්තයා පඹයෙක් දැම්මත් ගොඩ” මේ මහින්දගේ රේස් බුකිය හිතන විදිහයය.කතාව ඇත්තය.පසු ගිය පුංචි ඡන්දයට මහින්දගේ නම විකුණලා බැසිල් දැම්මේ වැස්සකටවත් නගර සභාවකට ගොඩ වුණේ නැති අයය.හැබැයි දින්නේය.ඒ මහින්ද නිසාය.ඉතින් මහින්ද පඹයකු දැම්මත් දිනයි කියා බුකිය හිතන එක පුදුමයක් නොවේ.

“හැබැයි මේ ජනාධිපතිවරණ අශ්ව රේස් එක දිනනවා කියලා ඔට්ටු අල්ලන අශ්වයෝ කප් එක ගහනවා ද..?උත්තරය නම් නැත කියන එකය.1988 ජනාධිපතිවරණයේ දී ජේ.ආර් හිතුවේත් මැතිනිය දිනයි කියාය.1998 ජනාධිපතිවරණයට ව්‍යාපාරිකයන් සල්ලි විසි කළේ ප්‍රේමදාසට නොව මතිනියටය.ජේ.ආර් චරිතාපදනයේ ඒ බව සඳහන් වන්නේ මෙලෙසය.

“ජනාධිපතිවරණයේ එකම උත්ප්‍රාසය එය නොවීය.බණ්ඩාරනායක මැතිනියට දිනන්නට ඉඩ තිබුණු හා ඈ දිනන්නට සිතූ ඡන්දයකින් ඈ පරාජය වූවා යැයි කිව හැක්කේ ඇගේ වාසියට කාරණා ගණනාවක්ම තිබුණු හෙයිනි.

බලයේ සිටී රජය වසර 11ක් ම රට පාලනය කර තිබිණි.රට තුළ තිබුණු දේශපාලන අර්බුදය අතිශය විශාල විය.ඒ අනුව බලයේ සිටින්නන්ගේ සහ දේශපාලන ක්‍රමයේ වෙනසක් කවුරුත් අපේක්ෂා කරන බව පෙනුණේය.

ඇත්ත වශයෙන්ම ඡන්දයක් දිනීම සඳහා මේ තරම් උචිත අවස්ථාවක් තිබුණේ නැත.එදින ඇගේ නොපැමිණීමට හේතු දක් වන විවිධ අදහස් පළ විය.ඈ ජයග්‍රහණය ගැන කෙතරම් විශ්වාසයෙන් සිටියා ද යත් පරාජය ගැන හිත හදා ගැනීමට ඇයට කිසිසේත් හැකි නොවූ බැවින් පරාජය පිළි ගන්නා කතාවක් ඈ සූදානම් කර ගෙන පවා සිටියේ නැත.තව ද තමා තරගයෙන් ඉවත් වන අවස්ථාවේ ජේ.ආර් අනාවැකි පැවසූ පරිදි ඇයට ප්‍රේමදාස අතින් පරාජය වීම පිළි ගන්නට අසීරු වුයේය.

මේ අනුස්මරණීය අවස්ථාවේදී ජයග්‍රහණයේ හා පරාජයේ තීරුව කෙතරම් පටු වූයේ ද යත් ප්‍රේමදාසගේ වාසියට තරාදිය බර වූයේ එජාපයේ මැතිවරණ යන්ත්‍රයෙහි වඩා සංවිධානාත්මක ගුණය නිසාම බව කිව හැකිය. ඒ නිසා ජවිපෙ මරණිය ප්‍රචණ්ඩත්වයක් එල්ල කර තිබියදී වුවද ඡන්දදායකයන් ඡන්ද පොළ වෙත ගෙන්වා ගැනීමට එජාපය සමත් විය. ඒ අතින් බලන විට මේ අවස්ථාවේ ජයග්‍රහණයේ ගෞරවය ප්‍රේමදාසට මෙන්ම රන්ජන් විජේරත්නටත් ජේ.ආර්ටත් දිය යුතු වුයේය.

1989 පෙබරවාරි 4 වැනි දින රන්ජන් විජේරත්න පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාර මධ්‍යයේදී ප්‍රකාශ කළ පරිදි 1988 ජනාධිපතිවරණයේදී පළමු වරට ශ්‍රීලනිපය එජාපයට වඩා මැතිවරණ අරමුදල් අතින් ශක්තිමත්ව තිබුණේය.

එයට හේතුව රොනී ද මැල් ශ්‍රීලනිපයට ආපසු යෑමේ බලපෑම යැයි ඔහුගේ අදහස විය. ශ්‍රීලනිප ජයග්‍රහණයක් බලාපොරොත්තු වූ ව්‍යාපාරික ප්‍රජාව, රොනී ද මැල් ශ්‍රීලනිපයේ සිටීම නිසා වඩාත් විශ්වාසවන්ත වුවෝය.

එජාපයේ ආර්ථික ප්‍රතිපත්ති දිගින් දිගට පැවතෙමින් යන බවට එය සහතිකයක් ලෙස සැලකු ඔවුහු ශ්‍රීලනිප ඡන්ද ව්‍යාපාරයට නොමසුරුව මුදල් පරිත්‍යාග කළෝය. එය ඇතැම් විට රහසේත් ඇතැම් විට එළිපිටත් සිදු වුණි.

ඍජුව පවසනවා නම් ව්‍යාපාරික ප්‍රජාව 1977දි හෝ 1982 දී මෙන් එජාප මැතිවරණ ව්‍යාපාරයට ආධාර කිරීමට ඉදිරිපත් වුණේ නැත. පක්ෂයේ සභපති හා ලේකම් වූ විජේරත්න විසින් විවිධ ව්‍යාපාරික සමාගම් 1500කට ආධාර ඉල්ලා ලියුම් යවා තිබිණි.ඉන් යහපත් ප්‍රතිචාර ලැබුණේ 30කින් පමණකි.

පරාජය වන්නට සිටින පක්ෂයකට ආධාර කරන්නට ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය වුණේ නැත. ජේ.ආර් විසින් එකතු කරන අරමුදල් නොතිබිණි නම් එජාපයේ මැතිවරණ ව්‍යාපාරය එහි පැවැත්මට අත්‍යවශ්‍ය ඉන්ධනයෙන් තොර යන්ත්‍රයක් සේ යම් යම් අවස්ථාවල නැවතෙන්නට ඉඩ තිබුණු බව රන්ජන් විජේරත්න ප්‍රකශ කළ තවත් කරුණකි.”

1999 ජනාධිපතිවරණයේත් හැමෝම හිතුවේ රනිල් දිනයි කියාය. 1999 ජනාධිපතිවරණය වන විට රට පුරා තිබුණේ චන්ද්‍රිකාත් පොදු පෙරමුණු ආණ්ඩුව ගැනත් මහා කලකිරීමකි.ඒ කලකිරීම් අද මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගැන මිනිසුන්ට තිබෙන කලකිරීමට සමානය. හැමෝම කයිවාරු ගැහුවේ 1994ට පෙර තිබූ යූඇන්පී ආණ්ඩුවේ කෙරුවාව ගැනය.

“යූඇන්පීය ලස්සනට ආර්ථිකය කළා…” “මේ ගෑනි ආර්ථිකය කෑවා…යුද්ධයත් කාලා තියෙන්නේ…”

මේ ඒ කාලේ මිනිස්සු කී කතාය.එකල මාධ්‍ය සියල්ල සහය දුන්නේ රනිල්ටය. චන්ද්‍රිකාට රාජ්‍ය මාධ්‍ය ඇරෙන්න එකදු මාධ්‍යක්වත් තිබුණේ නැත. ව්‍යාපාරිකයන් සල්ලි විසි කළේ රනිල්ටය.රනිල් උඩින්ම දිනන බව “ඒෂියා වීක්” සඟරාවද අනාවැකි පළ කළේය.එත් අන්තිම මොහොතේ පත්තු වූ බෝම්බයකින් දින්නේ චන්ද්‍රිකාය.

2005 ජනාධිපතිවරණයේ වුණෙත්ඒකමය.හැමෝම හිතුවේ රනිල් දිනයි කියලාය. මහින්දට සල්ලි දෙන්න ව්‍යාපාරිකයෙකුවත් සොයා ගත නොහැකි විය. ජනාධිපති චන්ද්‍රිකාත් හිතුවේ රනිල් දිනයි කියාය. හැබැයි අන්තිම මොහොතේ ප්‍රභාකරන් අශ්වයා මරු කළේය.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද කලින්ම සටන පටන් ගෙන ලයිට් කණුවක් ගාණේ කටවුට්, පෝස්ටර් ගහද්දි මෛත්‍රීපාල සිටියේ ඡන්ද සටනට සල්ලි හිඟමින්ය.මෛත්‍රීට සල්ලි දෙන්න ව්‍යාපාරිකයෝ බය වුහ. මෛත්‍රී දිනනවා කියන්න මාධ්‍ය බය විය. රාජ්‍ය මාධ්‍ය වගේම පෞද්ගලික මාධ්‍යත් ඔට්ටු ඇල්ලුවේ මහින්දටය. හැබැයි දින්නේ මෛත්‍රිපාලය.මහින්දගේ බුකියට තේරුම් ගන්න බරි තිත්ත ඇත්ත එකය. විස්සයි විස්සට ආණ්ඩුවෙන් දමන අශ්වයා මෛත්‍රීපාල නම් මහින්දගේ බුකිය මේ ගැන දත යුතු වේ.

ලංකාවේ කිසිදු ජනාධිපතිවරයෙක් ජනාධිපති ධූරයේ සිට දෙවැනි වර තරග කොට පරාජය වී නැත. විස්සයි විස්සට ආණ්ඩුව දමන අශ්වයා රනිල් නම් ලංකාවේ කිසිදු අගමැතිවරයෙක් ජනාධිපතිවරණයක් තරග කොට පරාජය වී නැති බව මහින්දගේ බුකිය දත යුතුය. මේ තර්කය වලංගු වන්නේ ආණ්ඩුවක් රාජ්‍ය බලය සියතට ගෙන ජනාධිපතිවරණයට දමන අශ්වයා දුවවන විටදීය.82 ජේ.ආර්..,88 ප්‍රේමදාස..,94 සහ 2010.., මහින්ද රාජ්‍ය බලය පාවිච්චි කොට දින්නා වගේ මෛත්‍රී හෝ රනිල් රාජ්‍ය බලය පාවිච්චි කොට විස්සයි විස්සේ සටනට එනවා නම් දිනන ඒක හිතන තරම් මහා අමාරුවක් නැත.

1982 ජේ.ආර්. දින්නේ රාජ්‍ය බලයෙන් හදපු වික්‍රම වීරසුරියගේ ප්‍රචාරක මැෂිමෙනි.88 ප්‍රේමදාස දින්නේ රාජ්‍ය බලයෙන් හදපු කුරේගේ ඡන්ද මැෂිමෙනි.99 චන්ද්‍රික දින්නේ රාජ්‍ය බලයෙන් හදපු එස්.බි.ගේ ඡන්ද මැෂිමෙනි. 2005 මහින්ද දින්නේ රාජ්‍ය බලය යොදවා මංගල-ශ්‍රීපති හදපු ප්‍රචාරක මැෂිමෙනි. 2010 මහින්ද දින්නේ බැසිල් රාජ්‍ය බලය පාවිච්චි කොට හදපු ඡන්ද මැෂිමෙනි.

මෛත්‍රී හෝ රනිල් රාජ්‍ය බලය පාවිච්චි කොට එවැනි ඡන්ද මැෂිමක් හදා ගත්තොත් වැඩේ ගොඩය. මේ ටික නොදැන මහින්දගේ බුකිය උඩ පනිනවා වැඩිය. ඒ වගේම ආණ්ඩුවේ බුකිය බය බිරාන්ත වෙලා බිම වැටිලා වැඩිය.

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

-ගුරුදා විග්‍රහය-

Top