ලෝකයා

කෝටි අටහමාරක් ගැහුව වී හැරිසන්

ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමති පී. හැරිසන් මහත්තයාට පහුගිය දවසක අගමැතිතුමාගෙන් කැඳවීමක් ලැබුනලු.

තවත් අමාත්‍යංශයක් බාරදෙන්න වෙන්නැති කියල හිතපු අනුරාධපුරේ හැරී, සුබ නැකතක් බලලා දකුණු පය පෙරට තියලා අගමැතිතුමා හම්බවෙන්න අරලියගහ මන්දිරේට ගියාලු.

‘මොකද්ද අයිසෙ මේ කරන්නෙ ? තමුසෙ වීවලින් විතරක් කෝටිගාණක් ගහලා තියනවා කියන්නෙ ?’

අගමැතිතුමාගෙ ප්‍රශ්නෙන් හැරිසන් ඇමතිතුමාගෙ තොලකට වේලුනාලු.

‘නෑ සර්…. සර් දන්නවා නේ. පහුගිය අවුරුදු දහය-පහළොවේම දේශපාලනය කරලා මම නැත්තටම නැතිවෙලා ඉන්නේ. ඉන්න ගේයි ඉඩමයි සින්න වෙන සයිස් එකක් තිබුණේ. ඒකනිසා තමයි සර් මං ටිකක් හම්බකරන්ඩ බැලුවේ’ කියලා තතනමින් කිව්වලු.

‘තමුසෙ කීයක් ණයයිද ?’

‘කෝටි තුනහමාරක් විතර සර්.’

‘කෝටි තුනහමාරක ණය ගෙවන්න කෝටි අටහමාරක් ගැහුවම හරියනවද ?’ කියලා අගමැතිතුමා අහද්දි හැරිසන් පුදුම වෙලා තියෙන්නේ අගමැතිතුමාට ඔත්තුව දුන්නු එකා හරි දසමෙටම ගහපු ගාන කියපු එක ගැන.

මේ දවස්වල හැරී දාගෙන හොයන්නෙ අගමැතිතුමාට ඔත්තුව දුන්න එකා කවුද කියලලු. හරි ඔත්තුව දෙන කෙනෙකුට හැරීගෙන් සත්තුන්ගෙ කෑමවලට විකුණන්න තියන වී මලු හතර පහක් අරගෙන හන්දියෙ කඩේට ඒවා වැඩි ගාණකට විකුණන්න පුලුවන්. දන්නැති දෙයක් තියනවා නං කරන විදිය හැරිසන් ඇමතිතුමාගෙන්ම අහගන්න පුලුවන්.

පී. හැරිසන් ඇමතිතුමාගෙ යාලුවො මේ දවස්වල එතුමාව අමතන්නෙ පී. හැරිසන් කියල නෙවෙයි වී. හැරිසන් කියලලු.

Top