LNN SPY

ජනාධිපති මාධ්‍ය ඒකකය ඉල්ලන් කයි…. ජාතිවාදයේ පියා නොහොත් නානසාර ජනාධිපතිගේ ජපන් සංචාරයට එක්වුයේ පරිවාර දූත මණ්ඩලයෙන්?

ජනාධිපතිවරයා ජපානවාසී ශ්‍රී ලාංකිකයන් හමුවූ ටෝකියෝ සමුළුවට බොදුබල සේනා නායකයා සහභාගි වූ බව ජනාධිපති කාර්යාංශය විසින් තහවුරු කර තිබේ.

ජපාන රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද “සුහද හමුවක්” සඳහා ගලබොඩඅත්තේ ඥානසාර හිමි ද සහභාගි වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

“ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපතිතුමාගේ සංචාරයට පෙර පෞද්ගලික සංචාරයක් සඳහා ජපානයට වැඩම කර තිබූ අතර, ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සංවිධානය කළ ජනාධිපතිතුමා සහ එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහද හමුව සඳහා ජපාන විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සමගින් උන්වහන්සේ ද සහභාගී වී ඇත,” යි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ සිංහල නිවේදනයේ සඳහන් වෙයි.

මිට අමතරව බොදු බල සේනා මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කරමින් ඥානසාර හිමිගේ සහභාගිත්වය තහවුරු කර තිබේ.

උපුටා ගැන්ම බොදු බල සේනා මාධ්‍ය අංශ නිවේදනය 

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ආගමික කටයුත්තක් සඳහා ජපානයට වැඩම කර සිටින අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ජපාන සංචාරයක නියැලෙමින් සිටියි.

ජනාධිපතිවරයා, එරට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් සහ භික්ෂුන් වහන්සේලා හමුවූ අවස්ථාවකට ඥානසාර හිමි ජපානයේ වැඩ වාසය කරන විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීමක් මත, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිද සහභාගී වී ඇති අතර එම අවස්ථාවේ ලබාගත් චායාරූප බාවිතා කරමින් ජනාධිපතිවරයා සමග ජපානයට ගිය ශ‍්‍රී ලංකා දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර හිමි ද එක්ව සිටි බව හුවාදක්වමින් මඩ ව්‍යාපාරයක් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ද පිරිසක් විසින් අන්තර්ජාල මාධ්‍ය තුල දියත් කරමින් ඇත.

උපුටා ගැන්ම අවසන් 

මෙවැනි මඩ ප්‍රචාර බොදු බල සේනා සංවිධානය විසින් දැඩිව හෙලා දකින අතර එවැනි නොමග යවන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

කෙසේවෙතත්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් පළ කොට ඇති නිවේදන වල දැක්වෙන පරිදි බොදුබල සේනානායකයා සහභාගි වී ඇත්තේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව සලසන රැස්වීමකටය.ජනාධිපතිවරයා විසින් ලාංකික ප්‍රජාව අමතන රැස්වීමෙන් අනතුරුව සුහද හමුවක්ද සංවිධානය කර තිබූ බව තානාපති ධම්මික ගංගානාත් දිසානායක මහාචාර්ය වරයාගේ ආරාධනයෙන් එහි ගිය මුල් පෙලේ ව්‍යාපාරිකයකු ගගන හා ප්‍රකාශ කර තිබේ.

ඊට පෙර ජනාධිපතිවරයා බෞද්ධ භික්ෂුන් වහන්සේ සමග පමණක් විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ “ගිය සතියේ ජනාධිපතිතුමාට බැන්න කෙනෙක් එක්ක දැන් එකට ඉන්නේ කොහොමදැ,” යි සැම දෙනාම පාහේ විමසූ බව පවසමිනි.

ටෝකියෝවේ ඉම්පීරියල් හෝටලයේ දී දෙවැනි මාලයේ පිහිටි බෝටන් ශාලාවේ මාර්තු 13 අඟහරුවාදා රැස්වීමට කැඳවමින් ශ්‍රී ලංකා තානාපති වරයා විසින් පෙබරවාරි 24 දින යවන ලද ආරාධනා පත්‍රයේ සඳහන් පරිදි සහභාගිවන්නන් පූර්ව ලියාපදිංචිය සඳහා තම විස්තර ලබා දිය යුතුය.

සය දින රාජ්‍ය සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපතිවරයා ලාංකික ප්‍රජාව හමුවන අවස්ථාවට ආරාධනා ලද පිරිස අතර උඩරට මුස්ලිම් විරෝධී කැරැල්ලට සම්බන්ධ බවට චෝදනා ලබන ගලබොඩඅත්තේ ඥානසාර ද සිටිනු දැකීමෙන් ශ්‍රී ලංකික ව්‍යාපාරික ප්‍රජාවේ පිරිස් කම්පාවට පත්වූ අයුරු මීට ඉහත ගගන විසින් වාර්තා කර තිබුනි.

“එම අවස්ථාවේ දී ලබාගෙන ඇති ඡායාරූප කිහිපයක් භාවිතා කරමින්, ජනාධිපතිතුමාගේ දූත පිරිස අතරට ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එක් වූ බව පවසමින් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවිවල පළවන ප‍්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව දන්වා සිටිමු,” යි ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටී.

ජනාධිපතිගේ ජපන් සංචාරයේ පරිවාර දූත මණ්ඩලයට ඇතුලත් වන්නේ කවුදැයි එම නිවේදනයේ සඳහන් නොවේ.

Top