විශේෂාංග

ජාත්‍යන්තර මව් භාෂා දිනය,නීතිය මව් භාෂාවෙන් ඉගෙනීමේ අයිතිය සහ රටේ සංවර්ධනය…!

රටක, ජාතියක මව් භාෂාවට හිමි අසීමිත වටිනාකම සහ වැදගත්කම කොතෙක්ද යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ (UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබයි.http://www.un.org/en/sections/observances/international-days/

මරියා ස්මිත් ජෝර්න්ස්, ඇමෙරිකාවේ අලෙස්කා (දකුණු මධ්‍යම ඇලෙස්කාවේ) ප්‍රාන්තයේජීවත් වූ 89 වියේ කාන්තාවකි. ඇය දරුවන් 9දෙනෙකුගේ මවක් විය. ආදිවාසි ගෝත්‍රයකට අයත් එම කාන්තාවගේ මරණයෙන් පිරවිය නොහැකි හිඩසක් වෙනත් කිසිම මරණයකින් සිදු නොවූ බව පෙබරවාරි 21 දිනට යෙදී ඇති ජාත්‍යන්තර මව් භාෂා දිනයේදී ලාංකිකයන් අවබෝධ කිරීම වටී. එයට හේතුව, ඇගේ මරණයත් සමගින් ලෝකයේ එයික්( Eyak ) නැමති භාෂාව කථා කළ අවසාන පුද්ගලයා ද මෙලොවින් සමුගෙන එම එයික්භාෂාව මළ භාෂා ලැයිස්තුවට එකතුවිමය.

Merryඇයගේ අවසාන කාලයේ ස්ව උත්සාහයෙන් ඇය මහගු සේවාවක් කර ඇත. එය එයික් භාෂාවෙන් ශබ්ද කෝෂයක් ලියා නිම කිරීමය.අවාසනාව වන්නේ එහි ඇති වදන් සහ අර්ථය දන්නෝ ලොව කිසිවෙකු නොමැති වීමය. ඇගේ මරණය සිදු වූයේ 2008-01-21වෙනිදාය.භාෂාවක මරණය සිදුවෙන ආකාරය මෙයින් පැහැදිලි නොවන්නේ ද?අතීතයේ ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර තත්ත්වයෙහිලා සලකනු ලැබු භාෂාවක් නොවීය. මෙම තත්ත්වය ජය ගැනීමට ඉංග්‍රීසි භාෂාවේ මුද්‍රණ කලාව හා කථන කලාව දියුණු කිරීමේ වැඩ සටහන් ආරම්භ කරන ලදී.

විලියම් ෂෙක්ෂ්පියර් (1564-1616) රචනා කළ නවකථා හා නාට්‍යවල නව ආරයේ වදන් පෙළක් භාවිතා විය. එහි ආකර්ෂණය ලොව පුරා ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. ඉංග්‍රීසි භාෂාව ජාත්‍යන්තර තලයේ ඉහළ නැංවීමට එය ඛෙහෙවින් උදව වී ඇති බව මේ වන විට පැහැදිලිය. එංගලන්ත කිරීටය විසින් පෙරදිග රටවල් යටත් කර ගැනීමෙන් ඉංග්‍රීසි බස පුලුල් ලෙස ව්‍යප්ත කර ගනු ලැබීය. එසේ වුවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආධිපත්‍යය තනිව බුක්ති විදීමට ඉංග්‍රීසි භාෂාවට හැකි වී නැති අතර රැසියාව, චීනය, සහ ස්පාඥ්ඥය සිය මව් භාෂා අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ආරක්ෂාකර ගැනීමට සමත් වී ඇත.

ලෝකයේ වැඩියෙන්ම කථා කරන භාෂාව ඉංග්‍රීසි නොවේ.ඉංග්‍රීසි භාෂාව කථාකරන ජනසංඛ්‍යාව ලෝකයේ තුන්වැනි ස්ථානයේ පසුවෙයි. ලෝකයේ වැඩියෙන්ම ජනතාවක් කථා කරන භාෂාව චීන භාෂාවයි(මැනඩරීන්).නීතිමය අධිකාරයක් නැති භාෂාව සීඝ්‍රයෙන් විනාශයට පත්වෙයි. ඉන්පසු එය මල භාෂා ලැයිස්තුවට එකතු වෙයි. දරුවෙකුගේ භාෂා කුසලතා වර්ධනය වයස අවුරුදු හතේ දී සම්පූර්ණවන බව වාග් විද්‍යාඥයෝ පවසති.

උපුටා ගැනීම

http://sanhindha.blogspot.com/2008/02/blog-post_22.html

අද දවසේ මිහිපිටින් භාෂා තුරන්වී යාමේ අවදානම අපට අදාළ නොවන නොවැදගත් කරුණ කැයි ඉවතලිය හැක්කක් නොවේ. මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා පවසන පරිදි තිස්සමහාරාමයේ වට්ටක්කා විකුණන පියදාස ගොයියාලා සිටින තුරු සිංහලය වඳ නොවෙතැයි නිහඬව සිටින්නට ද කාලය නොවේ. වාග් විද්‍යාවට අනුව සියලු ආකාරයේ භාෂා පරිහානි ද භාෂා පරිණාමයට බැර කෙරෙන විකෘති විග්‍රහ සඳහා කාලය නාස්ති කළ යුතු ද නොවේ. කළ යුතු එක ම දෙය ගෝලීයකරණය හමුවේ සිංහල බස මුහුණ දී ඇති අභියෝගය හදුනා ගැනීම ය.

ආසියාවේ ඉහල සාක්ෂරතා ප්‍රතිශතයක් අපට හිමි බව නොයෙක් වාර්තාවලින් කියවේ. එහෙත් එකී සාක්ෂරතා නිර්ණායකයේ පදනම කුමක් ද? යාන්තමට සිය අත්සන තැබිය හැකි පුද්ගලයා ද ඊට අයත් ය. අනෙක් අතට සමාජයේ වාග් කෝෂය වේගයෙන් පටු වෙයි. භාෂාව සතුව විශාල වචන මාලාවක් තිබුණ ද දිනෙන් දින එම වචන භාවිතයෙන් ඉවත් වෙයි. සිතීමේ උපකරණය භාෂාව යයි ඇරිස්ටෝටල් පඬිවරයා වරක් ප්‍රකාශ කළේ ය. යමෙක් සිතන්නේ ද සිය සංස්කෘතිය අවශෝෂණය කර ගන්නේ ද මව් බසින් බව පැවසෙයි. මේ අනුව යමෙකුට සිය මව් භාෂාව අහිමි වීම සමග සංස්කෘතිය ද අහිමි වෙයි. සිතීමේ උපකරණය ද අහිමි වෙයි. එවිට බිහි වන්නේ මිනිස් යන්ත්‍ර මිස මිනිසුන් නොවේ. ඔවුන්ට කළ හැකි එක ම දෙය පුනරුච්චාරණය සහ අනුකරණය පමණි. ඒ ටික නම් ගිරවුන්ට සහ වදුරන්ට ද කළ හැකි ය.

මේ වන විට ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගෙන විශ්වවිද්‍යාලවලින් පිටවන බොහෝ දෙනාට නිවැරදිව සිය බසින් අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තියක් නොමැත. මෙහි දී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව 10%ක් බව ද සෙසු අය කතා කරන්නේ සිංහල බව ද පවසා ඇඟ බේරා ගත නොහැකි ය. එම 10% ට මෙරට බුද්ධිමතුන් උගතුන් බහුතරය අයිති ය. රටේ දැනුම බෙදා හැරීමේ ආධිපත්‍යය දරන්නේ මේ අය ය. නව දැනුම සමග ගනුදෙනු කරන්නේ මේ අයය. එකී දැනුමට සිංහල භාෂාව විවෘත නොවීම නිසා භාෂාවේ ශක්‍යතාව උපයෝගීතාව හීන වෙයි. අලුත් සංකල්ප ඒ හා ස්පර්ශ නොවන නිසා නව වදන් බිහි නොවේ. කලක් යන විට සිංහලය කටු ගෙයි තැබිය යුතු එකකැයි ඊළඟ පරපුරට හැඟී යනු නොඅනුමාන ය. එහෙයින් සිංහලය නූගතුන්ට පවරා උගත් අප ඉංගිරිසියෙන් ම ක්‍රියා කරම්හයි සිතීම සුබදායි නොවනු ඇත.

උපුටා ගැනීම අවසන්

නීති අධ්‍යාපනය, මව් භාෂාවෙන් ලැබීමේ අයිතියජනතාවගේ මූලික අයිතිවාසිකමකි

නීතිය නොදැනීම සමාවට කරුණක් නොවන බව (Ignorantiajuris non excusat)පිළිගත් නීති මූලධර්මයකි. වෙනත් වෘත්තීන්ට මෙන් නීතියේ පාලනයට ආදේශක නොමැති හෙයින්, විදේශිය රටවලනෛතික බලපෑම් වලින් ආරක්ෂා වීමේදී සහ ශ්‍රීලාංකිකයන්ගේනීතිමය කටයුතු වලදී මව්බස යොදා ගැනිම මගින් පුරවැසියකුගේආරක්ෂාව තහවුරු කිරිමසිදුවන හෙයින් මේ වෙනුවෙන් මැදිහත්වීම සහ ක්‍රියාත්මක වීම මෙ රට උපන්, මෙ රට අධ්‍යාපනය ලත් නිදහස් මතධාරීන්ගේ වගකිමක් වෙයි.

සංවර්ධනය වූ රටවල පාසල් විෂය නිර්දේශ අධ්‍යයනය කිරීමේදී පැසල් අධ්‍යාපනයේ සිටම සිය මව් භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දෙනු ලබයි. සංවර්ධනය වූ රටවල උසස් පෙළ සහ සමාන්‍ය පෙළ විෂය නිර්දේශය යටතේ නීතිය විෂයයක් ලෙස උගන්වනු ලැබේ. පරිසර නීතිය, මූලික අයිතිවාසිකම්, අපරාධ නීතිය, සිවිල් නීතිය, පොලීසිය, ව්‍යවස්ථාදායකය, අධිකරණය, විධායකය සම්බන්ධව මූලික අවබෝධයක් සහ නීති කෙටුම්පත් කිරීම,  අපරාධ සම්බන්ධව ඇති දඩුවම් සහ අයිතිවාසිකම් උල්ලංඝණය සම්බන්ධව ලබා ගත හැකි ප්‍රතිකර්ම සම්බන්ධව පාසල් අධ්‍යාපනය තුළදීම සිසුන්ට ඉගෙන ගැනීමට අවස්ථා එම රටවල අධ්‍යාපනය බලධාරීන් සපුරා දී ඇත.

තොරතුරු තාක්ෂණය සම්බන්ධව විශාල දියුණුවක් ඇති වීම සාකච්ඡා කරන වර්තමානයේ  පාසල් අධයාපනයේදී විෂය නිර්දේශයට තොරතුරු තාක්ෂණය ඇතුළත් කිරීම එහි දියුණුවට කොතරම් පිටුවහලක් වීද යන්න විමසීම මෙහිදී සුදුසුය.

නීතියේ පාලනය සහ යහපාලනය සම්බන්ධව කටයුතු කරන වර්තමාන රජය පාසල් විෂය නිර්දේශයට නීතිය විෂය ඇතුළත් කළ යුත්තේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම ජනතාවගේ අයිතිවාසිකමක් සපුරාලන හෙයිනි.

නීතිය පිළිබද අධ්‍යාපනය පාසල් අධ්‍යාපනය තුළදී ලැබීමේ හේතුවෙන් නීතිය පිළිබද මූලික අවබෝධයක් ශිෂ්‍යයන් පාසල තුළදීම ලබා ගනී.  සමාජයේ සියලු දෙය නීතිය සමග තදින් බැදී ඇති හෙයින් රටක සෑම රටවැසියෙකුම නීතිය පිළිබද අවබෝධය ලබා තීබීම අනිවාර්‍යය වෙයි. වැරදි කිරීමේ බිය සහ වැරදි කිරීමේ දී අපරාධයට දෙන දඩුවම සම්බන්ධ අවබෝධය ලැබීමෙන් අපරාධ සිදුකිරීමේ ප්‍රවණතාවයද සැළකිය යුතු මට්ටමෙන් අඩුවෙයි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ සිටින සිරකරුවන්ගේ නීතිය පිළිබද මූලික අධ්‍යාපනය සම්බන්ධව විමසීමේදී නීතිය පිළිබද මූලික අවබෝධයක් ලබා වැරදි සිදුකර බන්ධනාගාර ගත වූ වන්ගේ සංඛ්‍යාවේ පැහැදිලි අඩුවක් දක්නට ඇත. නීතිය පිළිබද මූලික අවබෝධයක් ඇති අය අල්ලස දූෂණය(සුදුකරපටි අපරාධ) සම්බන්ධ වැරදි සිදුකිරීමට සම්බන්ධ වුවත් සොරකම, මිනීමැරීම, කොල්ලකෑම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි වලට යොමුවන්නේ ඉතා කලාතුරකින් වෙයි.

නීති අධ්‍යාපනය මව් භාෂාවෙන් ලැබීමේ අයිතිය ජනතාවගෙන් අහිමි කිරීම

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යුනෙස්කෝ (UNESCO) විසින් වර්ෂ 2000 සිට සෑම වර්ෂයකම පෙබරවාරි 21වන දින මව් භාෂා දිනය වශයෙන් පිළිගෙන එය සැමරීම සිදු කරනු ලබද්දී ලංකාවේ නීති අධ්‍යාපන ආයතන සහ නීති බලධාරීන් නීතිය මව් භාෂාවෙන් ඉගෙනීමට තිබූ අවස්ථාවඅහිමි කරමින් තීබීම රටේ සහ නිදහස් අධ්‍යාපනයේ අවාසනාවක් වී ඇත.

1970 ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මව් භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අයිතිය නිදහස් අධ්‍යාපනයේ දරුවන්ට විවෘත කර දී තිබුණි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් මූලික අධයාපනය ලත් එක් අගවිනිසුරුවරයෙක් වර්ෂ 2010 දී එකී අයිතිය ලාංකීය නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් උදුරාගත් අතර 2010 සිට මේ දක්වා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මව් භාෂාවෙන් නීතිය ඉගැන්වීම තහනම් කර ඇත. ඒ අකාරයටම නාවල පිහිටි ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යලයේද නීති උපාධි පාඨමාලාවේ අවසන් වසර 3 මව් භාෂාවෙන් නීතිය ඉගෙන ගැනීමේඅයිතිය ඉදිරි වසර දෙකේදී ඉවත් කිරීමට කටයුතු කරමින් සිටී.

සියලු පාසල් සිසුන්ට සිය පාසල් විෂය නිර්දේශයට නීතිය විෂය මව් භාෂවෙන් හදුන්වා දී තිබය යුතු තත්ත්වයකදී නීතී උපාධි හෝ නීතීඥ සුදුසු කම් ලබා දෙන ආයතන මව් භාෂාවට කුඩම්මාගේ සැළකිලි දැක්වීම රටේ සංවර්ධනයට කිසිසේත් සුදුසු නොවේ.

ජනතාවගේ පරමාධිපත්‍ය1978 ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවමගින් ජනතාව මත පිහිටුවා ඇති හෙයින් අගවිනිසුරුතුමාහෝ සංස්ථාපිත නීති අධ්‍යාපන ආයතනයේ අසුන්ගෙන සිටින නීති බලධාරීන් තම තම නැණ පමණින් අවබෝධ කර ගෙන ඇති දැනුම මතශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය සම්බන්ධව ජනතාවගේ මව් භාෂා අයිතිය උල්ලංඝණය කරන තීන්දු තීරණ ගන්නා තත්ත්වය ජනතාව විසින් ම පාලනය කළ යුතු තත්ත්වය අප ඉදිරියේ ඇත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ තත්ත්වය මෙහිදී උද්ගත වී ඇත.

වත්මන් යහපාලන සංහිදියා ආණ්ඩුව , අධ්‍යාපන ඇමතිතුමා සහ  ජනාධිපතිතුමා මේ සම්බන්ධව සාධනීය පියවර ගැනීම  රටේ නීතිය ස්ථාපිත කිරීමේදී සහ සමානත්මතාවය සුරැකීමේදී අනිවාර්‍ය අංගයන්වෙයි.

සමාප්තිය

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ මව් භාෂාවෙන් නීතිය ඉගෙනීමේ අවස්ථාව යළි ලබා ගැනීමත්, නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට සිය මව් භාෂවෙන් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට පෙනී සිටීමේ අයිතිය යළි ලබා ගැනීමත්, පාසල් විෂය නිර්දේශයට මූලික නීතිය පිළිබද විෂයය ඇතුළත් කර ගැනීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මව් භාෂා අයිතිය ආරක්ෂාකර දී ඇති ව්‍යවස්ථා බලාත්මක කර ගැනීමත් පෙබරවාරි මස 21 දිනට නියමිත ජාත්‍යන්තර මව් භාෂා දිනයේදී ලාංකිකයන් අරමුණු කර ගැනීම රටේ සංවර්ධනයට ඉතා යෝග්‍ය වෙයි.

“ලක්දිවට ඉතා බිහිසුණු කාලයකි.පිට රටින් සාල නැවතිණි නම් අපට කෑම නැත.පිට රටින් එන රෙදි නැවතිණි නම් අපට විළි වැස්ම නැත.පිට රටින් එන යාන නැතිනම් අපට ගමන නැත.කොටින් මැ පිට රට පිහිට නැත්නම් අපට කළහැකි කිසිවක් නැත.”

(ලක් මිණි පහන් කතු වැකි_කුමාරතංග මුනිදාස)

වැඩි දුර කියවීමට යොමු වන්න http://www.sinhala.lnwtoday.com/archives/15268

 නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි

B.Sc(Col),PGDC(Col)

arunaunawatuna@gmail.com

2017.02.08

Top