Anonymous Reporter

පුස්‌ කන හමුදා අරමුදල් සහ විඳවන රණවිරුවෝ

දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින යුද හමුදා රණවිරුවන් පිරිසක්‌ ඊයේ (07 දා) අප වෙත එක්‌තරා කාලෝචිත මාතෘකාවකට අදාළ ලිපියක්‌ යොමු කර තිබිණි. ඔවුන්ගේ ලිපියෙන් කියෑවෙන්නේ යුද හමුදාවේ සියයට 90 ක පමණ සෙබළුන් අකමැත්ත පළ කළද එය නොතකා ඔවුන්ගේ පඩිපතෙන් වාර්ෂිකව රුපියල් 6000 ක පමණ මුදලක්‌ කපා ගන්නා යුද හමුදා “සුව සහන” අරමුදල පිළිබඳවය.

මේ කතාව කාලෝචිත යෑයි අප කියන්නේ කුමක්‌ නිසාද යන්න දැන් යුද හමුදාවේ ඇතැම් ලොකු මහත්වරුන්ට ගැටලුවක්‌ වීමටද පුළුවන. ඒ ගැටලුවට පිළිතුර අපි පසුව ලබා දෙන්නෙමු. ඊට පෙර අපට ලිපිය යොමු කළ සක්‍රීය සේවයේ සිටින රණවිරුවන් කියන කතාවට මුල් තැනක්‌ දිය යුතුය.

ඔවුන් කියන පරිදි කාලයක සිට යුද හමුදාව මගින් ඔවුන්ගේ වැටුපෙන් මෙකී අරමුදලට මුදල් කපා ගන්නේය. එහෙත් ඒ කපා ගන්නා මුදල අදාළ රණවිරුවන් යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා විට ඔවුන්ට ලැබෙන්නේ නැත. එය ලබා ගැනීමට නම් වයස අවුරුදු 70 වනතුරු බලා සිටිය යුතුය.

එය නම් පුදුම කතාවකි. යුද හමුදා බලධරයනි, අප මෙසේ කල්පනා කරමු. යම් සෙබළෙකු යුද හමුදාවට එක්‌වීමෙන් පසුව ඔහුගේ වැටුපෙන් වාර්ෂිකව රුපියල් 6000 බැගින් වසර 12 ක්‌ කපා ගත් විට එකතුව රුපියල් 72000 කි (හැත්තෑදෙදෙහසකි).

සෙබළාගේ සේවය වසර 22 ක්‌ දක්‌වා වුවහොත් එකී එකතුව වන්නේ රුපියල් 132000 කි. එහෙත් වයස අවුරුදු විස්‌සේදී යුද හමුදාවට එක්‌ වන සෙබළෙකු වසර 22 ක්‌ හමුදා සේවයේ යෙදී රුපියල් 132000 ක මුදලක්‌ සුවසහන අරමුදලේ එකතු කොට වයස අවුරුදු 42 දී විශ්‍රාම ගොස්‌ ඒ මුදල ගැනීමට වයස අවුරුදු 70 වනතුරු තවත් වසර 28 ක්‌ බලා සිටිය යුතුය යන්න අපූරු විහිළුවක්‌ නොවන්නේද?

අපට ලිපිය යොමු කළ සෙබළුන් පෙන්වා දෙන පරිදි වර්තමානයේ සාමාන්‍යයෙන් මිනිසකුගේ ආයු කාලය වයස අවුරුදු 60 – 65 අතර පවතින්නකි. එය අද සාමාන්‍යයෙන් ලෝකයාද පිළිගෙන තිබෙන්නකි.

සාමාන්‍යයෙන් යුද හමුදා සේවයේ යෙදෙන සෙබළෙකු එකී කාලසීමාවෙන් එපිටට ගොස්‌ සෙන්චරිය හෙවත් වයස අවුරුදු සීයේ කඩඉම කෙසේ වෙතත් අඩුම තරමේ වයස අවුරුදු අසූවක්‌ දක්‌වා ජීවත් වීම යනු ද විරල වාසනාවක්‌ වන්නේය.

යුද්ධයකට මුහුණ දුන් හමුදාවක සෙබළුන් අරබයා බැලීමේදී එකී තත්ත්වය තවත් කල්පනා කළ යුතු තැනකට එන්නේය. ඒ හමුවේ සුවසහන අරමුදලට යුද හමුදා සෙබළාගේ වැටුපෙන් කපා ගන්නා මුදල දෙන්නට අවුරුදු හැතෑවක්‌ (70) වනතුරු සිටින්නට යෑයි කීම සැබෑ ලෙසම අසාධාරණයක්‌ බව අපේද හැඟීම වන්නේය. ඔවුන් කියා සිටින්නේ අදාළ මුදල තමන් හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමේදී හෝ අඩුම තරමේ වයස අවුරුදු 55 පිරීමේදී ලබා දීමට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාදැයි යන්නය. එයට පිළිතුරු දිය යුත්තේ යුද හමුදාවම ය.

ඔවුන්ගේ කතාව එසේ වෙද්දී අද ආබාධිත රණවිරුවන් තම අයිතිය ඉල්ලා පාරට ඒම හමුවේ අප සිහියට එන තවත් යුද හමුදා අරමුදලක්‌ ද තිබේ. ඒ තිස්‌වසරක යුද සමයේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්‌ වූ රණවිරුවන් රාජකාරි කළ ඒ ඒ හමුදා ඒකකයන්ට අයත් අරමුදලය.

මෙහිදී මුලින්ම කිවයුතු එක්‌ වැදගත් කාරණයක්‌ ද ඇත. අදටත් යුද හමුදාවෙන් වැටුප් ලබන ආබාධිත රණවිරුවාට දූරදර්ෂී ලෙස කල්පනා කරමින් මේ දක්‌වා එකී ඒකක අරමුදල්හි සාමාජිකත්වය ලබා දී තිබුණේ නම් මේ වන විට රජය අපහසුතාවට පත්ව තිබෙන ආකාරයේ ගැටලු නිර්මාණය වීමට ඉඩ නොතිබූ බවය.

යුද හමුදාවේ සියලුම ඒකකයන්ට අදාළව මහා පරිමාණයෙන් ගිනුම්ගත මුදල් සහිත ඒකක අරමුදල් ඇත. එම ඒකකවල සිටියදී රණවිරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් සහන පොලියට ණය ලබා දීම ඇතුළු බොහෝ කටයුතු සඳහා එකී මුදල් යෙදවෙන්නේය. රණවිරුවන් ඒකකයේ සිය හමුදාවෙන් විශ්‍රාම යන දිනයේ ඒකක අරමුදල සඳහා ඔවුන්ගේ වැටුපෙන් කපා ගත් මුදල් ලබා දීම සිදු වන්නේය.

එසේ මෙකී ඒකක අරමුදල් තර වන තවත් ව්‍යාපෘති රැසක්‌ම ඒ ඒ හමුදා ඒකක මගින් ක්‍රියාත්මක කරන්නේය. එය අදටත් සිදු වන්නකි. ගොවිපළවල්, බ්ලොක්‌ ගල් නිෂ්පාදනය කිරීම්, ආපනා ශාලා, ලොතරැයි, තේ වතු, ගව සහ කුකුළ් පාලනය, විනෝද කානිවල් ආදී ලෙසින් මෙසේ ඒකක අරමුදල් නිරතුරුවම තරවෙන හමුදා ව්‍යාපෘති ලෙස පෙන්වා දිය හැකිය.

පසුගිය යුද සමයේදී සතුරා සමඟ සටන් වැදී ආබාධිත වූ රණවිරුවන් පසුව ක්‍රියාන්විත සේවයෙන් ඉවත්ව මෙකී ඒකක අරමුදල්වලට මුදල් ගලා එන නොයෙකුත් ව්‍යාපෘතිවල කටයුතු කළේය. පැහැදිලිවම කිවහොත් ඒකක අරමුදල් ශක්‌තිමත් කිරීම සඳහා විවිධ ව්‍යාපෘතිවල සක්‍රීය කොටස්‌කරුවන් සේ ආබාධිත රණවිරුවන් විශාල දායකත්වයක්‌ ලබා දුන්නේය.

යුද හමුදාවේ සියලු ප්‍රධානීන් මෙය දැන සිටින්නකි. එසේ නම් ආබාධිත රණවිරුවා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගත්තද ඔහුව ඉදිරියටත් ඒකක අරමුදල්හි සාමාජිකත්වය යටතේ තබාගෙන ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ඒ ඒ හමුදා ඒකකයන්ට නොහැකි වූයේ කුමක්‌ නිසාද?

එසේ සිදු කෙරුණේ නම් අද පවතින ගැටලු මතු නොවන්නට බොහෝ ඉඩ තිබිණි. එහෙත් සිදුව ඇත්තේ සිදු විය යුතු දේ නොවන්නේය. ආබාධිත රණවිරුවා හමුදා සේවයෙන් විශ්‍රාම ගැන්වෙද්දී ඔහුට වයස අවුරුදු 55 සම්පූර්ණ වනතුරු වැටුප් ගෙවීම ඉදිරියටත් සිදු වුවද ඔවුන් සතු ඒකක අරමුදල්හි මුදල් ලබා දී සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණ.

ආබාධිත රණවිරුවාගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කිරීමට හොඳටම අවස්‌ථාව තිබියදී සහ ඒකක අරමුදල්හි කෝටි ගණනින් මුදල් තැන්පත්ව තිබියදීත් ආබාධිත රණවිරුවාට අත්වූ ඉරණම එය විය. කලාතුරකින් ආබාධිත රණවිරුවකුට ඒකක අරමුදලකින් යමක්‌ සිදු වුවද අද දවසේ යුද හමුදා ඒකක අරමුදල්හි ඇති අති විශාල මුදල් කන්දරාවන් පුස්‌කමින් බැංකු ගතව නොතිබෙන්නේද?

අද දවසේ නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ එසේ සිදු නොවන්නේය. ඔවුන් නිවැරදි ක්‍රියාදාමය සිදුකරමින් ඇත. එසේ නම් ඒ අන්දමට නිවැරදි වන්නට යුද හමුදාවට නොහැකි වූයේ කාගේ වරදින්ද? යුද හමුදාවේ පිරිස්‌ බලය වැඩි නිසා එසේ කළ නොහැකියෑයි ලෙසින් දැන් ඇතැම් නිලධාරියකු කෙස්‌ පැලෙන කතාවක්‌ කියන්නට බැරි නැත.

එහෙත් වර්තමානය වන විට යුද හමුදාවේ ඇති ඒකක ගණන 24 කි. යුද්ධය නිසා ආබාධිත සහ පූර්ණ ආබාධිත වශයෙන් සියලුම ආබාධිත සෙබළුන් ගත්තද ක්‍ෂය වී යන තත්ත්වයක්‌ තුළ රට තුළ ජීවත් වන්නේ 60000 ක්‌ පමණ පිරිසකි.

එම තත්වය හමුවේ මේ දක්‌වා එකී ආබාධිත සියලු රණවිරුවන් ඔවුන් සේවය කළ යුද හමුදා ඒකකය යටතේ ඇති අරමුදලේ සාමාජිකත්වය දරමින් එහි සුබසාධනයට යටත්ව සිටියේ නම් එක්‌ ඒකකයකට බර පැටවෙන්නේ රණවිරුවන් 2400 කගේ පමණි. නැවතත් මතක්‌ කර දුනහොත් එසේ වන්නේද ඔවුන් ආබාධිත රණවිරුවන් වන බැවින් දිනෙන් දින ක්‍ෂය වීමේ තත්ත්වයක්‌ තුළ වේ. (ඔවුනට අපෙත් ආයුෂ ලැබ චිරජීවනයක්‌ උරුම වේවායි යන්න අපේ එකම පැතුම බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ කතා කරන්නේ යථාර්ථය ය.)

ඇත්ත එය නම් එල්ටීටීඊය පරදා රටට සාමය දිනා දුන් සටනේදී ශ්‍රී ලංකා යුද හමුදාව ලෙස විශාල බරකට උර දුන් යුද හමුදාවේ එක්‌ ඒකකයකට ආබාධිත රණවිරුවන් 2400 කගේ බර දරන්නට තරම් වීර්යයක්‌ නොතිබුණේ මොන අවාසනාවක්‌ හමුවේද?

රට වෙනුවෙන් සටනට ගොස්‌ අප වෙනුවෙන් අත්, පා, ඇස්‌ ඇතුළු සිරුරේ කොටස්‌ අහිමි කර ගනිමින් අද ආබාධිතව සිටින රණවිරුවාට අප යමක්‌ කරන්නේ නම් එය සිදු කළ යුත්තේ ඔවුන්ට දැනෙන ලෙසය. එසේ කිරීමේදී රාජ්‍ය සේවයේ යම් චක්‍රලේඛයක්‌ හෝ පනතක්‌ වේවා වෙනස්‌ කිරීමට ලක්‌ කළ යුතුව තිබේ නම් රණවිරුවා යන විශේෂණය යටතේ එය සිදු කළ යුතුමය.

එහිදී “අනේ රණවිරුවන්ට දෙනවා නම් අපිත් රජයේ සේවකයෝ අපිටත් දීපියව්” කියමින් කිසිදු රාජ්‍ය සේවකයකු පාරට නොඑනු ඇත. මන්ද අප සහ රට වෙනුවෙන් රණවිරුවන් කළ කැප කිරීම් එදා මර බියේ ජීවත් වූ මේ රටේ මිනිස්‌සු හොඳින්ම දන්නාහ.

ප්‍රභාකරන්ගේ බෝම්බයට බයේ බස්‌ රියේ ගිය, පාසල් මුර කළ, දුම්රියේ ගිය, රටේ උතුර මොන වගේදැයි නොදැන සිටි සහ උදේ කොළඹට ගිය සැමියා, දුවා දරුවන්, දෙමාපියන් යළි හවසට නිවසට එන තුරු අවිනිශ්චිතව සිටි මේ රටේ ජනතාව රණවිරුවන්ගේ යහපත වෙනුවෙන් ආණ්‌ඩුව යම් තීරණයක්‌ ගතහොත් කිසි විටෙකත් එයට විරුද්ධ නොවන්නේමය. කාලකණ්‌ණියකුට හැර එසේ කරන්නට සිහි බුද්ධිය ඇති කිසිවකුටත් නොහැකිය.

එසේ නම් ආරක්‍ෂක අමාත්‍යංශයේ සහ යුද හමුදාවේ සිටින රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බලධරයනි, හැන්ද අතේ තිබියදීත් ආබාධිත රණවිරුවන්ගේ සහ මියගිය රණවිරුවන්ගේ දරු පවුල් වෙනුවෙන් චක්‍රලේඛ මානසිකත්වයෙන් මිදී සහ ඒ ඒ හමුදා මට්‌ටමින් කළ යුතු දේ සිදු කිරීමට නොහැකිව ඇත්තේ මොන කරුමයක්‌ නිසාද?

සමන් ගමගේ

Top