Featured

“බයිල කියා පුද දෙමු අපි ස්‌වෛරී සිරි ලක.. නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ..”

කලකට ඉහත මෙරට සමාජයේ මුල් බැස තිබූ සුන්දර වදන් දෙකක්‌ විය. එකල රටේ රාජ්‍ය නායකයා කොතැනක ගියත් ජනතාව අමතද්දී හැකි වෙර යොදා බර කරමින් මේ වචන දෙක සිය කතාව අතරතුර දහ දොළොස්‌ වතාවක්‌ මතු කිරීමට අමතක නොකළේය.

ඒ දිනවල රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමේදී සහ ගුවන් විදුලියට සවන් දීමේදී මෙන්ම මුද්‍රිත මාධ්‍යයක්‌ ගෙන බැලුවද මෙකී වදන් දෙක බොහෝ තැන්වල ඉස්‌මතු වී තිබිණ. සැබැවින්ම එදා බලයේ සිටි දේශපාලනඥයන්ට මෙකී වචන දෙක ආභරණයක්‌ මෙන් විය.

එසේ වැඩි වැඩියෙන් සමාජගත වූ මෙකී වදන් දෙක වූ කලී කුමක්‌ද? එකක්‌ ස්‌වෛරීත්වය ය. දෙවැන්න වූයේ භෞමික අඛණ්‌ඩත්වය ය.

එහෙත් බලයේ සිටියෝ එදා මේවා කියමින් ඔඩ්ඩි මස්‌සිනාට මල් බුලත් තටුව පුදන්නාක්‌ සේ එකසිය අටවාරයට දහස්‌ වාරයක්‌ ස්‌වෛරීත්වය සහ භෞමික අඛණ්‌ඩත්වය කියා මතුරමින් සිටියද මේ රටේ ස්‌වෛරීත්වයක්‌ සහ භෞමික අඛණ්‌ඩත්වයක්‌ නම් නොවූහ.

එකල ආණ්‌ඩුවේ ඇත්තෝ තලුමරා රස කරමින් ඒවා අපට කීහ. එහෙත් උතුරේ රජ වී සිටියේ වේලුපිල්ලේ ප්‍රභාකරන් සහ උගේ බෙදුම්වාදයත්, ත්‍රස්‌තවාදයත් ය. එකී ත්‍රස්‌තවාදයට මුහුණ දෙන්නට ගිය අපේ රණවිරුවෝ මළ කඳන් ලෙස සතිපතා සිය ගණනින් යළි දකුණට ගෙන ආහ.

එසේ වුවද පාලකයන් සිහිනෙන් පවා දෙඩවූයේ ස්‌වෛරීත්වය සහ භෞමික අඛණ්‌ඩත්වය කියාය. අපේ අය මෙසේ කියන වාරයක්‌ පාසා ප්‍රභාකරන් මදි නොකියන්නට අපට නෙලුවේය. රට කරවූවෝ මෙහිදී ඇතැම් අවස්‌ථාවල සටන් විරාම ඇතිකරමින් ප්‍රභාකරන්ට සාමයේ හස්‌තය දිගු කළහ. එහෙත් නිරන්තරයෙන් සිදු වූයේ එල්ටීටීඊය විසින් සාමයේ පරවියාද මරාගෙන කෑමය.

අවසානයේ ස්‌වෛරීත්වය සහ භෞමික අඛණ්‌ඩත්වය යන සුන්දර වදන් දෙක කරළියට ගෙනා එවකට රාජ්‍ය නායකත්වයද වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් බිලි ගනු ලැබීය.

මේ සටහන් වූයේ එදා අපට උරුම වූ අතීත කතාවකි. ඒ අතීතය පසු කර දැන් අපි වර්තමානයට පැමිණ සිටින්නෙමු. එකී ගමන අතරමඟදී වෙලුපිල්ලේ ප්‍රභාකරන්ට තේරෙන භාෂාවෙන් කතා කර ඒ ම්ලේච්ඡයා අවීචි මහා නරකාදියට පිටත් කර හරින්නටද අපි සමත් වූයෙමු.

එහෙත් ප්‍රභාකරන් එසේ පිටත් කර හැරියද ඒකා ඇදහූ ඊළාම් බෙදුම්වාදය තවමත් සක්‍රීය බව කිසිවකුටත් රහසක්‌ නොවන්නකි. පැහැදිලිව කිවහොත් “කන්න දෙනවනං.. අපිට බොන්ඩ දෙනවනං..” න්‍යායෙන් හුරේ දමන කොළ පාට, නිල් පාට සහ රතු පාට අන්ධයන්ට මෙන් නොව එය මේ පිං බිමට ආදරය කරන අපට නොරහසකි.

ඇත්ත ඇත්තේ එතැනය. එසේ වුවද මේ මොහොතේ රට තුළ සිදුවෙමින් තිබෙන්නේ කුමක්‌ද? ඇතැමුන් වත්මන් වෙනසට කීවේ දේදුනු විප්ලවය කියාය. ඇත්තෙන්ම දේදුන්න හරි ලස්‌සනය. පාට පාටය. ඊස්‌ට්‌මන් වර්ණය. එහෙත් දේදුන්නට වැඩි ආයුෂක්‌ නැත. පැය කිහිපයක අවෑමෙන් එය විශ්වයේ තිබූ තැනක්‌වත් සොයාගත නොහැකි ලෙස මැකී යන්නේය.

අපේ පැරැන්ණෝ නම් කීවේ දේදුන්නක්‌ මතුවීම හරිම මූසලකමක්‌ යෑයි කියාය. කෙසේ වෙතත් දේදුනු විප්ලවයෙන් යහපාලනය මතු විය. දැන් එසේ මතුවූ යහපාලනය සක්‍රීය දෙමළ බෙදුම්වාදය සමඟ ගමන් කරමින් සිටිනුයේ කොතැනකටද?

වළස්‌සු මී කඩන්නාහ. එසේම මිනිස්‌සුද මී කඩන්නාහ. නමුත් කිසි විටෙකත් මිනිස්‌සු වළස්‌සු සමඟ එක මඟේ මී කඩන්නට නොයන්නාහ. ඇත්ත එය වුවද අද යහපාලනය සිදු කරමින් සිටිනුයේ සහජීවනය සහ සංහිඳියාව කරට ගෙන වළසුන් සමඟ එක්‌ව මී කඩන්නට සැරසීමක්‌ නොවේද? ගැටලුව වන්නේ වලස්‌සු සමඟ මී කඩන්නට යැමෙන් යහපාගනය සමඟ මේ රටත් අපත් වැනසී යැමය.

මෙහිදී එදා ස්‌වෛරීත්වය භෞමික අඛණ්‌ඩතාව සේ අද යහපාලකයන් කරළියට ගෙනවිත් ඇත්තේ සහජීවන සහ සංහිඳියාව යන වදන්ය. ඒවාත් ස්‌වෛරීත්වය සහ භෞමික අඛණ්‌ඩත්වය වගේමය. හරිම සුන්දරය. එහෙත් ආණ්‌ඩුව සහජීවනයේ සහ සංහිඳියාවේ පදයට බෙරේ වයමින් අපට නටන්නට කියද්දී අනෙක්‌ පසින් සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද?

ඉහත කී දේදුනු විප්ලවයෙන් යහපාලනය කරළියට පැමිණීමත් සමඟ ඊනියා දෙමළ ජාතික සන්ධානයේ (ඊනියා යෑයි කියනුයේ එවන් පක්‍ෂයක්‌ තවමත් මෙරට තුළ ලියාපදිංචි වී නොමැති බව වාර්තා වන නිසාය) දේශපාලකයෝ සිරගත කොටි ත්‍රස්‌තයන් දේශපාලන සිරකරුවන් යෑයි ලෝකයට කියමින් උන්ව නිදහස්‌ කරපන් යෑයි කියා යහපාලනයට බල කළහ.

එය අදටත් සිදු වෙමින් තිබෙන්නාහ. ඒ ඇතැම් වුවමනා ආණ්‌ඩුව විසින් ඉටු කර දීමටද කටයුතු කළේය. මේ අතරේ උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් ඇතුළු දෙමළ ජාතික සන්ධාන දේශපාලනය උතුරේ ස්‌වයං පාලනයක්‌ හෙවත් වෙනම රාජ්‍යයක්‌ ඉල්ලා පළාත් සභාව තුළ යෝජනාද සම්මත කරගනු ලැබීය. ඉන් නොනැවතී එකී යෝජනා සම්මතයන් ජාත්‍යන්තරයටද රැගෙන ගියේය.

එහෙත් යහපාලනය දකුණේ ජනතාවට කියන්නට වූයේ සද්ද නොකර ඉඳපල්ලා සහජීවනයයි, සංහිඳියාවයි කුඩුපට්‌ටම් වෙයි කියාය.

ආණ්‌ඩුව එසේ අනුන්ගේ වැයික්‌කියට ගිය සිව්පාවාගේ භූමිකාව රඟද්දී (අනුන්ගේ වැයික්‌කියට ගිය සිව්පාවා කරනුයේ එහේ එකා හපා කන්නට පන්නද්දී නගුට දෙපරංශයේ ඔබාගෙන හතරට පහට නැමීමය) විග්නේශ්වරන් සහ සම්බන්ධන් ඇතුළු බෙදුම්වාදී දෙමළ දේශපාලනඥයෝ තව තවත් දේද කියන්නට වූහ.

ඒ අතරේ මළ ප්‍රභාකරන්ට ඉටි පහන් දල්වමින් මහවිරු දින සමරන්නටද ඔවුහු කටයුතු කළහ. ශිවජිලිංගම්ලා වැනි දේශපාලනඥයෝ ප්‍රභාකරන්ට යුද්ධයෙන් ජයගත නොහැකි වූ දෙමළ ඊළම ගැන ප්‍රසිද්ධියේම මත පළ කරන්නට වූහ.

මෙහිදීත් ආණ්‌ඩුව හෙවත් යහපාලනය සිටියේ සංහිඳියාව සහ සහජීවනය හමුවේ මුකවාඩම් දමාගෙනය. මේ අන්දමින් බෙදුම්වාදී දෙමළ දේශපාලනය දේදුනු විප්ලවයෙන් බිහිවූ යහපාලනයට පෙනෙන්නට බොහෝ දේ කරනු ලැබීය. එහෙත් කිසිවකුත් කිසිවක්‌ම නොදැක්‌කේය.

යාපනය විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ උත්සවයකදී ඊළාම් විෂ පොවා සිටි දෙමළ සිසුන් ලවා සිංහල සිසුන්ට පහර දීමට සැළැස්‌වීය. එකී පහර දීම සිදු කෙරුණේද සිංහල සංස්‌කෘතික අංගයක්‌ යාපනය විශ්වවිද්‍යාලය තුළ පැවත්වීමේ වරදටය.

එහෙත් එම සිද්ධියත් සමඟ කුකුළා අතින් ගෙන උතුරට ගිය ආණ්‌ඩුවේ දේශපාලනඥයන් කළේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කර සංහිඳියාව රැක ගැනීමට හෙවත් බෙදුම්වාදයේ යළි හිස එසැවීම නොදැක්‌කා සේ සිටීමට වෙර දැරීමය.

කවුරු කවුරුත් එක්‌වී සංහිඳියාව සහ සහජීවනය තලුමරන්නට වූහ. එහිදී යහපාලනය සමඟ ඉකුත් කාලයේ මේ රටට එරෙහි වූ එන්ජීඕ කාරයෝද සිටියහ. සියල්ලන් එක්‌ව සිදු කළේ සංහිඳියා සීනි බෝලය සූප්පු කරන අතරේ එය අහුරු පිටින් ගෙන “ඉ¹ උඹලත් සූප්පු කරපල්ලා. එසේ කර නිහඬ වෙයල්ලා කියමින් අප දෙසටද වීසි කිරීමය.

ඒ අතරේ සම්බන්ධන්ලා, සුමන්තිරන්ලා සහ විග්නේශ්වරන්ලා ප්‍රධාන බෙදුම්වාදී දෙමළ දේශපාලනය මේ රට ත්‍රස්‌තවාදයෙන් බේරාගත් රණවිරුවනට එරෙහිව යුද ප්‍රකාශ කරමින් විදේශීය අධිකරණ ඉල්ලා ජාත්‍යන්තරයටද බලපෑම් කළේය. අද ඒවාද ඉටු වෙමින් තිබෙන බවක්‌ පෙනෙන්නට ඇත. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත යනු එහි මූලික අධියර විය නොහැකිද?

ඇතැම් අවස්‌ථාවල යහපාලනය එවන් අධිකරණ ක්‍රියාදාමයකට නොයන්නේ යෑයි ඇත්තට හෝ බොරුවට කියද්දීත් “එහෙම කොහොමදැයි” අසමින් චොප්පේ භූමිකාව රඟන්නට වූ බෙදුම්වාදී දෙමළ දේශපාලනය ආණ්‌ඩුවටද දබරඟිල්ල දිගු කළේය. එහෙත් අපරාදේ කියන්නට බැරිය. ආණ්‌ඩුව හරි අපූරුවට අපට පෙනෙන්නට සංහිඳියාවයි සහජීවනයයි කබල් ගෑවේය.

මේ අතරේ දැන් අලුත්ම කතා දෙකක්‌ කරළියට පැමිණ ඇත. ඉන් එකක්‌ වන්නේ ඉකුත් සතියේ සමාජයේ කතාබහට ලක්‌වූ මුලතිව් කෝකිලායි සිංහල ගම්මානයේ විහාරස්‌ථානයට එල්ල වූ දෙමළ බෙදුම්වාදයේ තර්ජනය ය.

උතුරු පළාත් සභාවේ ඉඩම් ඇමැති තුරෙයිරාසා රවිහරන්ට අනුව කෝකිලායි පන්සල එහි නොතිබිය යුත්තකි. කෝකිලායි යනු කිතුණු ධීවර ගම්මානයක්‌ය යන්න ඔහුගේ එකී ගොන් බූරු තර්කයට හේතු වී තිබේ.

එහෙත් මේ රටේ කිතුණු දහමේ ප්‍රධාන පූජක ප්‍රසාදීන් වහන්සේ වූ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ට අනුව නම් බුදු දහම යනු ශ්‍රී ලංකාව තුළ සුරැකිය යුතු අතිශය වටිනා දහමකි. එතුමාණන් වහන්සේ ඉකුත් දිනක එය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන්නටද වූහ.

එසේ වුවද ඒ උත්තම වදන වටහා ගන්නට රවිහරන්ගේ ටිකිරි මොළය තවමත් පොඩි වැඩි සේය. ඉතින් ඒකට “කොහොමද ටිකිරි මොළේ” කියනු හැර වෙන කියන්නට දෙයක්‌ අපට නැත. එහෙත් ඒ අපට පෙනෙන හැටිය. රවිහරන්ට ඇත්තේ බෙදුම්වායේ තෙම්පරාදු වූ මොළගෙඩියක්‌ බවද අප වටහාගත යුතුය.

කෙසේ වෙතත් රවිහරන් ඇතුළු දෙමළ බෙදුම්වාදය අද කෝකිලායි පන්සල ඉවත් කරන්නට වෙර දරද්දී ඉකුත් සතියේ අපට මුණ ගැසුණු කෝකිලායි විහාරයේ නායක හිමිපාණන් වහන්සේ හරි අපූරු කතාවක්‌ කීවේය.

“මහත්තයෝ අපේ දේශපාලක උත්තමයන්ට කියන්න දෙමළ දේශපාලනඥයනුයි, මුස්‌ලිම් දේශපාලඥයනුයි තමන්ගේ ජාතියට වැඩ කරන හැටි සහ ජාතිය වෙනුවෙන් පෙනී සිටින හැටි බලාගෙන ඉඳලා ඉගෙන ගන්න කියලා..” ඒ උන්වහන්සේ කළ ප්‍රකාශය වූහ.

කෝකිලායි යනු ඉකුත් යුද සමයේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට බයේ ගම හැරදා නොගිය සිංහල මිනිසුන් ජීවත් වූ කොටි කටේ තිබූ පළමු සිංහල ගම්මානය ය. ඒ මිනිස්‌සු එදා එය රැක්‌කාහ. එසේ නොවුණේ නම් ඉකුත් මානුෂීය මෙහෙයුම අනුරාධපුරයෙන් ආරම්භ කිරීමටද අපට සිදු වනු නියතය.

අද රවිහරන්ලා පැමිණ ප්‍රසිද්ධියේම අන්චි අදින්නේ ඒ සිංහල ගමේ තිබෙන සිංහල බෞද්ධත්වයටය. එසේ වෙද්දී ආණ්‌ඩුවේ නිලධාරියකු වූ බෞද්ධ කටයුතු සහකාර ලේකම්වරයකු පවසා ඇත්තේ කෝකිලායි පන්සල නීති විරෝධී බැවින් එය ඉවත් කළ යුතු බවකි. ඔහු අද ඒ බව පවසමින් කෝකිලායි පන්සලේ නායක හිමියන් වෙත ලිත දැනුම්දීමක්‌ කරන්නටද පියවර ගෙන තිබේ.

ඔහු කෝකිලායි පන්සලේ කතාව අසා එසේ කීවේ කටින්දැයි නැතිනම් වෙනත් කටකින්දැයි යන්න දන්නේ ඔහුය. එහෙත් මේ රටේ මිනිස්‌සුන්ට එකී සිද්ධිය හමුවේ අද අපට කියන්නට සිදුව තිබෙන්නේ “කටවහ ගනිල්ලා පරිස්‌සමෙන් සංහිඳියාවයි, සහජීවනයයි කැඩෙයි” කියාය. අනේ ඉතින් වෙන මක්‌ක කියන්නද?

මේ අතරේ දැන් බෙදුම්වාදී දෙමළ දේශපාලනයේ අලුත්ම කතාව වී තිබෙන්නේ පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්‌තයන් පුනරුත්ථාපනය කරද්දී ඔවුන්ට විෂ එන්නත් ලබා දී ඇතැයි යන්නය.

දෙමළ දේශපාලනය මේ කතා කියන්නට පෙර ඉකුත් කාලයේ කී කතාවක්‌ද තිබිණ. ඒ ශ්‍රී ලංකා හමුදා යුද්ධයේදී විෂ රසායන භාවිත කළේ යෑයි යන්නය. මේ කතාව ඉකුත් කාලයේ ප්‍රගීත් එක්‌නැලිගොඩගේ බිරිඳ විසින්ද කියා තිබිණ. එහෙත් එකී ප්‍රකාශයන්හි බරපතළකම කොතෙක්‌ වුවද ආණ්‌ඩුව ඒ පිළිබඳ නිකමටවත් හඬක්‌ මතු නොකළේය. මුකවාඩම් න්‍යායෙන් සියල්ල සිදු විය.

එහිදී කටයුතු සිදු වූයේ එසේ නම් අද බෙදුම්වාදී දෙමළ දේශපාලනය දැන් තවත් වටයකින් මතු කරනු ලබන විෂ රසායන එන්නත් කතාවටද මුඛවාඩම් න්‍යාය ආණ්‌ඩුවේ ප්‍රතිචාරය බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

එසේ නොමැතිව යමක්‌ කියන්නේ කෙසේද? හත්ඉළව්වයි බොලව් එවන් දේ කරන්නට ගොස්‌ දේදුනු විප්ලවයෙන් මතුවූ යහපාලනයේ සහජීවනය සහ සංහිඳියාව රැක ගන්නේ කෙසේද?

එහෙත් මේවා දකිද්දී අපේ සිහියට නැගෙන්නේ නම් අපේ ජාතික වස්‌තුවක්‌ බඳු ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනියගේ ඒ මියුරු සහ ගාම්භීර හඬය.

අනේ, ඇය කියූ නිදහස්‌ බයිලා ගීතයේ එන පරිදි “බයිල කියා පුද දෙමු අපි ස්‌වෛරී සිරි ලක.. නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ..” යන්න මොනතරම් වටිනා පද පේලි දෙකක්‌ද?

සමන් ගමගේ

Top