බණ්ඩාරවෙල දී බස් රථයක බෝම්බයක් පුපුරා බස් රථයම ගිනි ගෙන 19 දෙනෙක් තුවාල ලැබුවා. එක් හමුදා භටයකු ගේ පාදයෙන් කොටසක් සැත්කමක් මගින් ඉවත් කිරීමට ද සිදුවුණා. මේ පිළිබද ආණ්ඩුවේ පුර්ව නිගමණය වී තිබෙන්නේ යුධ හමුදා භටයෙකු ගෙන ගිය අත් බෝම්බයක් පිපිරීමෙන් මේ මහා විනාශය සිදුවුණා කියායි. මාධ්‍යවේදීන් ඉතාමත්ම නිවැරදිව ප්‍රශ්න කලා මේ ත්‍රස්තවාදී ක්‍රියාවක් විය හැකියි නේද කියලා. හමුදා මාධ්‍ය ප්‍රකාශක දුන්නේ අපූරු පිිලිතුරක්. මේක ත්‍රස්තවාදි ක්‍රියාවක් කිව්වොත් ජනතාව බය වෙනවානෙ. හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ ඒ ආකාරයෙනුයි. එහෙමනම් මෙය ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් යැයි ප්‍රකාශ නොකර සිටීමට හේතුව තමයි ජනතාව ජනතාව බියවීම වැලැක්වීම.
ඇත්තෙන්ම ජනතාව බිය වෙන්නේ ඇත්ත සැඟවීමෙන් මිස ඇත්ත හෙලි කිරීමෙන් නොවේ. එදා බෝම්බ පත්තු කිරීමෙන් පසු මෙන්ම පිපිර වීමට පෙර ද බෝම්බකරුවන් අල්ලා ගැනීමට ජනතාවගෙන් විශාල සේවයක් වුණා. මේ යුද ජයග්‍රහණය ලැබීමට සාමාන්‍ය ජනතාවගෙන් ලැබුණු දායකත්වය අමතක කරන්න එපා. බුද්ධි අංශ වල ඇස් සහ කන් බවට සමස්ත ජාතියම පත් වුණා. සාමාන්‍ය ජනතාවට ඇත්ත පැවසුවොත් ජනතාව වඩාත් විමසිලිමත් වේවි. වඩාත් පරිස්සම් වේවි. එවිට බණ්ඩාරවෙල සිද්ධිය වැනි අවාසනාවන්ත සිදුවීම් යළි නොවේවි.
හමුදා භටයෙකු පාතාලයට විකිණීම සඳහා අත් බෝම්බයක් සොරකම් කර ගෙන පැමිණි බවටත් ඔහු බස් රථයේ ඉන්ධන ටැංකිය අසළ වාඩි වී සිටිය දී බෝම්බය පුපුරා යෑමෙන් මේ අනතුර සිදු වුණු බවටත් කතාවක් ගොතා හමුදා භටයාට දඬුවම් කර මේ ප්‍රශ්නය අවසන් කිරීමට කටයුතු කරන බවට හමුදා ආරංචි මාර්ග පවසනවා.
අත්බෝම්බ ප්‍රහාර අපිට අළුත් අත්දැකීමක් නොවේ. යුද සමයේ ත්‍රස්තවාදින් ද යුද්ධය ඇතත් නැතත් පාතාලය ද අත්බෝම්බ පුපුරුවනවා. ජනතා විමුක්ති පෙරමුණ 71 කැරැල්ල සදහා විශාල වශයෙන් අත්බෝම්බ යොදා ගත්තා. අත් බෝම්බයකින් මෙතරම් විනාශයක් සිදුවෙන්න බෑ කියන එක අපි වගකීමෙන් කියනවා. මේ සදහන් කරන ආකාරයටනම් මේ බෝම්බය බස්රතයේ තෙල් ටැංකිය ගාවම තියන් යන්න ඕනෑ. එසේ ටෙල් ටැංකිය අසල තබාගෙන යන මොහොතේ ම පුපුරන්නත් ඕනෑ. උතුරේ යුධ සමයේ නම් අත්බෝම්බ ආරක්ෂක අගුල ගලවා පින් එක අදින මට්ටමින් අරන් යනවා කොයි වෙලේ මෙය භාවිතා කරන්න වෙයිද නොදන්න නිසා. නමුත් අපි මදකට සිතමු හමුදා භටයෙක් මෙය යාපනයේ සිට හොරකම් කරගෙන ආවා කියලා පාතාලයට විකුණන්න. ඔහුට මොකක්ද තියෙන අවශ්‍යතාවය බණ්ඩාරවෙලදී මේ ආරක්ෂක අගුල අරින්න. මේක බෑගයක් ඇතුලේ තිබුනානම් ආරක්ෂක අගුල ඉවත්කර තිබුනොත් තමයි හෙල වීමෙන් තෙරපීමකින් තදවීමෙන් ඇතැම් විට පින් එක ඇරෙන්න පුලුවන් වෙන්නේ. යම් කිසි ආයාසයක් පින් එක අදින්නට ඕනෑ. මේක පීඩන බෝම්බයක් නොවෙයි. ඉතාම පැහැදිළිව හදුනාගෙන තියෙනවා ග්‍රෙනේඩ් එකක් ලෙස. එහෙමනම් අපි අභියෝග කරනවා ආණ්ඩුවට අපිට කියන්න කවදා කොතැනද ග්‍රෙනේඩ් එකකින් 19 දෙනෙක් තුවාල වෙලා බස් එකක් ගිණි ගත්තේ. යුධ සමයේදීවත් එහෙම වෙලා නෑ. යුද්ධය අවසන් වී ගෙවුණු වසර 9 පුරාවට කිසිම තැනක බස් එකක බෝම්බයක් පුපුරා නෑ. නිසා මේක සුළු පටු සිද්ධියක් නොවේ.
ආණ්ඩුව කියන්න උත්සහ දරන කතන්දරය මොකක් ද? යුධ හමුදා භටයෙකු ගේ ගමන් මල්ලේ සොරකම් කරගෙන ආ අත්බෝම්බයක් තිබුණා. එය ඔහු රැගෙන ආවේ පාතාලයට විකුණා දමන්නයි. ඔහු හරියටම බස් රථයේ තෙල් ටැංකිය ගාව වාඩි වී ආවා. බෝම්බය පිපිරුණා. තෙල් ටැංකිය ගිනිගත්තා. එහි ප්‍රථිපලයක් ලෙස බස්රථය ගිනිගත්තා. බෝම්බයක් සොරකම් කිරීම, පාතාලය සමග සබදතා පැවැත්වීම.
මහජනතාවට අනතුරක් සිදුකර මිනීමැරුමට තැත්කිරීම යනාදී චෝදනා මත මේ හමුදා භටයා කෝට් මාෂල් කරයි. සාමාන්‍ය අධිකරණයකින් දඩුවම් කරල සිරගත කරලා මේ ප්‍රශ්නය අවසන් කරයි. හැබැයි එහෙම කලොත් ත්‍රස්තවාදියා මේ මුළු රටම අල්ලාගන්නා තුරු අප දරන සිටින එකක් නම් නෑ
මතක තියා ගන්න. වසර දෙකක් තුල මරා ගෙන මැරෙන බෝම්බ කට්ටල දස දහසකට වඩා උතුරින් ලැබුණු බව හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කිව්වා. වල දැමූ ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය නිරතුරුව උතුරින් ලැබුණා. පුපුරණ ද්‍රව්‍ය පිලිබද විශේෂඥයන් නම් කියන්නේ .වසර නවයක් සුරක්ෂිතව පුපුරණ ද්‍රව්‍ය තබාගත නොහැකි බවයි. කොටින්ගේ මහ වීර දිනය ලංකාවේත් ලෝකය පුරාත් ඉහළින්ම සැමරුවා. අපි අතු ගා දැමූ කොටි සංවිධානය යළි නැගිටිලා නම් ඒ බව රටට ඇත්ත කියන්න. රටට ඇත්ත කිව්වොත් මුළු සමස්ථ ජාතියටම සුදානම් වෙලා එදා වගේම අදත් හමුදාව පිටුපසින් ආණ්ඩුව පිටුපසින් එක මිටියට හිටගෙන මතුවෙන ත්‍රස්තවාදය දල්ලෙන් කඩන්න පුළුවන්. නමුත් පැස්බරා ඔළුව වැල්ලේ ගහ ගෙන මම ආරක්ෂිතයි කියලා හිතුවා වගේ හැසිරෙන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මොකද එවිට මෙය කැපිය නොහැකි රූස්ස ගසක් වීම නම් කාටවත් වලක්වන්න බෑ
2018 පෙබරවාරි 22 දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්….