පළාත් පාලන ආයතනවලට කොට්‌ඨාස නියෝජනය සහිත නව මැතිවරණ ක්‍රමයක් සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා ඇත්තේ 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත මගිනි. එහෙත් එහිදී ඒ ඒ පළාත් පාලන ආයතන වෙනුවෙන් කොතරම් සභික සංඛ්‍යාවක් සිටිය යුතුද? සභික කොට්‌ඨාස කීයකින් සමන්විත යුතුද? යන කරුණු නිගමනය කර නැත. පළාත් පාලන වර්ෂය භාර අමාත්‍යවරයා විසින් මේ පනතේ විධිවිධාන අනුව ජාතික සීමා නිර්නය කමිටුවක් පත් කරන ලද අතර කොට්‌ඨාස සංඛ්‍යාව හා ඒ අනුව පත් කළ යුතු සභික සංඛ්‍යාව නිශ්චය කිරීමේ වගකීම ජාතික සීමා නිර්ණය කමිටුවටම පැවරුනි.
නව මැතිවරණ ක්‍රමයක් සඳහා සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුව විසින් 2003.08.22 වැනි දින විශේෂ කාරක සභාවක් පත් කරනු ලැබ ඇත. දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 19 දෙනකුගෙන් සමන්විත වූ එම කමිටුව රැස්‌වීම් වාර 27 ක් පවත්වා 2014.01.23 වැනි දින සිය නිර්දේශ වාර්තාව සභාගත කර ඇතත් ඒ ගැන විශේෂ ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
අනතුරුව මහින්ද රාජපක්‌ෂ මහතා ජනාධිපති වීමෙන් පසු 2006 අප්‍රේල් 07 දින නැවත දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්ම මන්ත්‍රීවරුන් 30 දෙනකු සමන්විත වූ විශේෂ කාරක සභාවක් පත්කොට එම කරුණු සම්බන්ධව වැඩි දුර පරීක්‌ෂා කර ගතයුතු නීතිමය සංශෝධන ද සලකා බලා යෝජනා ඉදිරිපත් කිරීම් සඳහා වූ කාර්යභාරය පවරා ඇත. 2004 ඉදිරිපත් කළ වාර්තාව මූලික පදනම ලෙස සලකමින් සභා වාර 39 ක් පවත්වා 2007.06.05 වන දින ඉදිරිපත් කළ නිර්දේශ වාර්තාව අනුව ඡන්ද විමසීම් සඳහා කොට්‌ඨාස ක්‍රමය ක්‍රියාත්මක කළ යුතු බවටත් අමතරව සුළු ජන කොටස්‌වල හා සුළු ජන පක්‌ෂවල නියෝජනයද තහවුරු වන පරිදි සමානුපාතික ක්‍රමය මත 30% වූ සභික සංඛ්‍යාවක් පත් කළ යුතු බවටත් නිර්දේශ කර ඇත. මෙම වාර්තාව පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව පිළිගන්නා ලද අතර 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත එහි ප්‍රතිඵලයකි. එය ගැසට් මගින් ප්‍රකාශ කර ඇත්තේ 2012 නොවැම්බර් මස 16 දින දීය. ඊට අනුකූලව පළාත් පාලන ආයතන කොට්‌ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුව අමාත්‍යවරයා විසින් 2012.12.07 වැනි දින පත් කරන ලද අතර සීමා නිර්ණය කාර්යභාරය, කඩිනම් වැඩපිළිවෙළක් සේ සලකා ක්‍රියා කිරීමට නියම විය. ඒ සඳහා මූලික වශයෙන් ලබාදුන් කාලය මාස 06 කි.
කොට්‌ඨාස සීමා නිර්ණයේදී සලකා බැලිය යුතු කරුණු පනත මගින් ප්‍රකාශයට පත් වුවද ඒ ඒ පළාත් පාලන ආයතන වල කොට්‌ඨාස සංඛ්‍යාව හෝ සභික සංඛ්‍යාව නිශ්චය කර නොතිබුණු හෙයින් එය නිගමනය කිරීමේ වගකීම ජාතික කමිටුවේ කාර්යභාරයක් විය. ඒ අනුව ජාතික කමිටුවේ මූලික වැඩ සැලැස්‌ම සැකසුනු අතර, 2012.12.24 සිට 2012.12.14 දක්‌වා මාස 02 ක කාලයක් මහජන නියෝජිතයන්, දේශපාලනය පක්‌ෂ, සිවිල් සංවිධාන හා විද්වතුන් ආදී විවිධ පිරිස්‌වලට නියෝජනයන් ඉදිරිපත් කිරීම සඳහා අවස්‌ථාව සලසා දෙනු ලැබිණ. ලිත නියෝජනයන්ට අමතරව වාචික නියෝජනයන්ද ඉදිරිපත් කිරීමට අවකාශ ඉල්ලු සියලු දෙනාට ඒ සඳහා ද අවස්‌ථාව සලසා ඇත. පක්‌ෂ විපක්‌ෂ සියලුම සභා නියෝජිතයන්ට ද තම යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ කාලය වෙන් කරදී තිබුණි. මේ සම්බන්ධව උනන්දුවක් දැක්‌වූ කවුරුන් හෝ මඟහැරුනේ නම් එය සන්නිවේදනයේ අඩුවක් මිස කමිටුවේ වරදක් නොවේ. දේශපාලන පක්‌ෂ 09 ක නියෝජිතයන් වාචිකව කරුණු දක්‌වා ඇති අතර මේ සම්බන්ධව පත් කර තිබූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ප්‍රධානියා වූ දිනේෂ් ගුණවර්ධන මහතාද පෞද්ගලිකවම සහභාගි වී කරුණු දක්‌වා ඇත.
ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගැනීමෙන් පසු කොට්‌ඨාස සංඛ්‍යාව නිර්ණය කිරීම සඳහා වූ යෝජනා 05 ක් විමර්ශනයට ලක් කර ඇත.
(1) වත්මන් සභික සංඛාවට සමාන සභික සංඛ්‍යාවක් (30% සමානුපාතික නියෝජනය සමග) (4486)
(2) වත්මන් සභික සංඛාව මෙන් දෙගුණයක සංඛ්‍යාවක් (8972)
(3) වත්මන් සභික සංඛ්‍යාවට හා සමාන කොට්‌ඨාස සභික සංඛ්‍යාවක් සහ 30% සමානුපාතික නියෝජනය (5832)
(4) 1981 අහෝසි කළ ගම් සභා ප්‍රමුඛ පළාත් පාලන ආයතනවල සිටි සංඛ්‍යාවට සමාන සභික සංඛ්‍යාවක් (8800)
(5) කොට්‌ඨාස සභික සංඛ්‍යාව දශක 03 ක පමණ ජනගහන වර්ධනයද සලකා බලා අතරමැදි ප්‍රමාණයකට එනම් 4486 ක ප්‍රමාණය 5000 ක ආසන්න අගයකට ගෙන ඒම සහ 30% සමානුපාතික නියෝජනය (6500)
ඉහත යෝජනා එකිනෙක ගෙන විග්‍රහ කිරීමේදී ඉදිරිපත් වූ දත්ත තොරතුරු හා සක්‍යතා වාර්තා පදනම් කරගෙන 03 වැනි හා 05 වැනි යෝජනා විශේෂයෙන් සලකා බැලීමට කමිටුව තීරණය කරන ලදී.
පළමු යෝජනාව මූල්‍යම අතින් යෝග්‍ය වුවද ක්‍රියාත්මක කිරීමේදී උග්‍ර දේශපාලන අර්බුදයක් පැනනගිනු ඇත. එනම් එවකට සක්‍රියව සිටි සභික සංඛ්‍යාවටවත් සරිලන කොට්‌ඨාස ප්‍රමාණයක් නිර්මාණය නොවුණහොත් එම නියෝජිතයන්ගේ දැඩි විරෝධතාවකට එය හේතුවනු ඇත. සභා විසුරුවා හැර තිබෙන අවස්‌ථාවකදී මිස මෙබඳු යෝජනාවක් ක්‍රියාත්මක කිරීම අර්බුධකාරී තත්ත්වයකට තුඩුදේ. එමෙන්ම දශක 03 කට පෙර ඇති කළ සභික සංඛ්‍යාව වර්තමාන අවශ්‍යතා හා සංවර්ධන ක්‍රියාවලින් සමඟ ගැලපීමේදී ප්‍රමාණවත් නොවන බව නිරීක්‌ෂණය වේ.
දෙවැනි යෝජනාව කිසිසේත් ඵලදායී නොවේ. හතරවැනි යෝජනාවද එබඳුම තත්ත්වයක් දරයි. සභා රැස්‌වීම් පැවැත්වීම කාර්යාල පහසුකම් ආදී අවශ්‍යතාවන් සපුරාලීමේදී අධික වැය බරක් දැරීමටත් විවිධ පරිපාලනමය දුෂ්කරතාවයන්ට මුහුණ දීමටත් සිදුවනු ඇත. එමෙන්ම මෙම යෝජනා දෙක අනුව සභික සංඛ්‍යාව අටදහස ඉක්‌මවා යයි.
අනතුරුව තුන්වැනි හා පස්‌වැනි යෝජනා ගැන දැඩි ලෙස අවධානය යොමුකරමින් තුලනාත්මකව බලා පස්‌වැනි යෝජනාව අනුව සභික සංඛ්‍යාව නිශ්චය කරනු ලැබිණ. තුන්වැනි යෝජනාව අනුව සභික සංඛ්‍යාව කොට්‌ඨාස 4486 ක් හා 30% සමානුපාතික නියෝජනය සමඟ ගත්විට 5832 වේ. ප්‍රමාණාත්මකව එය සතුටුදායක සංඛ්‍යාවකි. එහෙත් පස්‌වැනි යෝජනාව පරිදි පවත්නා සභික සංඛ්‍යාව වසර 30 කට පමණ නිගමන කර තිබූ සංඛ්‍යාවක් බැවින්ද පසුකාලීන ජන ගහන වර්ධනයද ප්‍රාදේශීය සංවර්ධනය හා සංවර්ධන ඒකකයක් ලෙස කොට්‌ඨාසය ඵලදායී ලෙස වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවද සැලකිල්ලට ගනිමින් කොට්‌ඨාස සභික සංඛ්‍යාව 5000 වූ ආසන්න අගයකට ගැනීමට තීරණය කරන ලදී. මෙය අනිකුත් සියලු යෝජනා අතර වූ අතරමැදි තත්ත්වයකි. මේ සම්බන්ධයෙන් දිස්‌ත්‍රික් කමිටුවලද අවධානය යොමු කරනු ලැබූ අතර යම් දිස්‌ත්‍රික්‌ක වල ජනගහන වර්ධනයේ ප්‍රතිශතයට අනුව කොට්‌ඨාස කිහිපයක් වැඩි කිරීම සඳහා ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා සමස්‌ත කොට්‌ඨාස සභික සංඛ්‍යාව 5140 දක්‌වා වූ උපරිමයකට යටත්ව ක්‍රියා කිරීමට අවකාශ සලසන ලදී. මෙම තීරණය ගන්නා ලද්දේ මහජන නියෝජිතයන්ගේ හා දිස්‌ත්‍රික් කමිටුවල අදහස් සැලකිල්ලට ගනිමිනි. එසේ නොමැතිව අනවබෝධයකින් හෝ කරුණු විමර්ශනයකට ලක්‌කිරීමකින් තොරව හෝ නොවේ.
මෙම නිර්දේශ පූර්ව රජයේ අමාත්‍යවරයා විසින් පමණක් නොව 2015 බලයට පත්වූ අතරමැදි ආණ්‌ඩුවේ පළාත් පාලන විෂය භාර අමත්‍යවරයා විසින්ද සමාලෝචනය කිරීමෙන් අනතුරුවද අවසන් වාර්තාව වශයෙන් පිළිගෙන 2015 අගෝස්‌තු 21 වැනි දින ජනාධිපතිවරයා විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත්කරනු ලැබිණ. එසේ වුවද වර්තමාන සභාග රජය බලයට පත්වීමෙන් පසුව එහි දෝෂ දකිමින් නැවත සමාලෝචන කමිටුවක් පත්කිරීම තේරුම් ගත නොහැකි අපභ්‍රංශයක් සේ පෙනේ. සියලු අවුල් පැන නැඟුණේ එම ක්‍රියාමාර්ගය හේතුවෙනි. අවසන් වශයෙන් කාන්තා නියෝජනයක් පෙරට ගෙන නැවත ඡන්ද විමසීම් පනතට ගෙනා සංශෝධනයන් මගින් සිදුවී ඇත්තේ පසුගියදා දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට එක්‌වූ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා විසින් පෙන්වා දී ඇති පරිදි සියලු සභාවල පාලන අධිකාරිය අවිනිශ්චිත තත්ත්වයකට පත්වීමකි. අනාගතයේදී පළාත් පාලන අමාත්‍යවරයාට හා රජයට සිදුවනු ඇත්තේ පාළාත් පාලන ආයතනවල පාලන අධිකාරිය පවත්වාගෙන යැමේදී ඇතිවන අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දීමටය. බහුතර බලය අවිනිශ්චිතව සභාවේ තත්ත්වය අවුල වන විට කොට්‌ඨාසවල සංවර්ධන කටයුතු හා මහජන අපේක්‌ෂාවන්ද බිඳ වැටේ. කොට්‌ඨාස නියෝජනය හා කාන්තා නියෝජනය නොව මොනයම් ආකාරයක නියෝජනයක් තිබුණත් ජනතාවට ඉන් වැඩක් නොවේනම් එම ආයතනයෙන් ඵලක් නොවේ.
වර්තමාන සභාග රජය ඇතැම්විට අපේකෂා කරන්නට ඇත්තේ මධ්‍ය ආණුඩවේ මෙන් පළාත් පාලන හා පළාත් සභාවලද හවුල් ආණ්‌ඩු සංකල්පය මත ඉදිරියට ක්‍රියාකිරීම විය හැකිය. එහෙත් දැනට පෙනී යන පරිදි එය අවුල් සංකල්පයක් වී ඇත. සභිකයන්ගේ ලන්සුව වැඩිවීම ඔවුන්ට වාසිදායක වුවත් ජනතාවට ලැබෙන්නේ පසුතැවීම පමණි. මේ තත්ත්වයන් යටතේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙක අභිභවා තුන්වැනි බලවේගයක් ඉස්‌මතු විය හැකි යෑයි. මෙම ක්‍රමයට උපදෙස් සැපයූ වන්දිභට්‌ටයන් කිසිවිටෙකත් නොසිතුවා විය හැකිය. එසේ නොමැතිවී බලය පක්‌ෂ තුන හතරකට බෙදී ගියහොත් සිදුවන්නේ සභාව පවත්වාගෙන යාමට නොහැකි වීමය. සභිකයන් කෙසේ හෝ වරදාන වරප්‍රසාද ලබාදී බිලිබා ගැනීම සිදුවන්නේ එවිටය. එසේ හෙයින් පක්‌ෂ මාරු වැලැක්‌වා ගැනිම සඳහා ද කිසියම් දැඩි ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීමට පක්‌ෂ විසින් හෝ යම් උපක්‍රමයක් යොදා ගැනීමට අවධානය යොමු කළ යුතුව ඇත.
ජයලත් දිසානායක
පළාත් පාලන ආයතන සීමා නිර්ණ
ජාතික කමිටුවේ හිටපු සභාපති