Featured

” මමත් හොඳට තෙම්පරාදු වෙච්ච පොලිස්‌කාරයෙක්‌ ” මාව තම්බන්න CID එකට බෑ

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින බස්‌නාහිර පළාත භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූ අනුර සේනානායක මහතා තම චෝදනා සම්බන්ධයෙන් පසුගියදා අධිකරණයට ගෙනා අවස්ථාවේදී මාධ්‍යවේදියෙකුට අදහස් දක්වා තිබෙනවා.

සමන් ගමගේ සමග ඔහු පළ කළ අදහස් පහතින් දැක්වෙනවා.

“අද සීඅයිඩී එක මට චෝදනා එල්ල කරන්නේ තාජුඩීන්ගේ මරණය ඝාතනයක්‌ බව දැන දැනම එය වසන් කර රිය අනතුරක්‌ ලෙස පෙන්වීමට කටයුතු කළා කියලා..

“මට මුලින්ම කියන්න තියෙන්නේ මේක අමූලික බොරුවක්‌.. විකාරයක්‌.. සීඅයිඩී එක මගෙන් ප්‍රශ්න කරනකොට මතු කරපු තවත් චෝදනාවක්‌ තමයි තාජුඩීන්ගේ මරණය සිද්ධවුණු 2012 මැයි මාසේ 16 වැනිදා අලුයම මම කොට කලිසමක්‌ ඇඳගෙන සිද්ධිය වුණු නාරාහේන්පිට පාර්ක්‌ පාරට ඇවිත් පරීක්‍ෂණ කරපු පොලිස්‌ නිලධාරින්ට උපදෙස්‌ දෙමින් බලපෑම් කළා කියන එක..

“ඒකත් රහස්‌ පොලිසිය හිතාමතාම ගොතන කතාවක්‌.. සමහරවිට මෙතනදී ඔවුන්ගේ යම් යටි අරමුණක්‌ තිබෙනවා වෙන්න පුළුවන්.. ඔවුන් හිතනවා ඇති අනුර සේනානායකව හිර කරලා තමන්ගේ අරමුණට යන්න.. ඒත් මට කියන්න තියෙන්නේ මමත් හොඳට තෙම්පරාදු වෙච්ච පොලිස්‌කාරයෙක්‌ කියන එක විතරයි..

“මම විශ්‍රාම යනකොට බස්‌නාහිර පළාත භාරව හිටිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා.. එහෙමත් නැත්නම් බස්‌නාහිර පළාතට හිටිය පොලිස්‌පතිවරයාගේ නියෝජිතයා.. යම් අනතුරක්‌ වෙලා වාහනයක්‌ ගිනි ගන්නවා වගේ සිද්ධියකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරු, නියෝජ්‍ය පොලිස්‌පතිවරු මහ පාන්දර සිද්ධිය වෙච්ච තැනට ඇවිත් පරීක්‍ෂණ කරන විදිහ පොලිස්‌ නිලධාරින්ට උගන්වන ක්‍රමයක්‌ පොලිසියේ නැහැ.

“එහෙම ගිහින් වැඩ උගන්වන්න පොලිසියේ ඉන්නේ බබාලා නෙමෙයිනේ.. පුහුණු වුණු නිලධාරින්.. තාජුඩීන් මියගිය තැනට මම ගියයි කියලා චෝදනා කරනකොට මම රහස්‌ පොලිසියේ විමර්ශන නිලධාරින්ට කිව්වා එදා දවස තුළ මම ගිය ගමන් බිමන් පිළිබඳ මගේ පෞද්ගලික සහකාර වශයෙන් සිටින නිලධාරියා තබා ඇති සටහන් පරීක්‍ෂා කර බලන්න කියලා.

“ඒත් ඔවුන් ඒක කළේ නැහැ.. විමර්ශන නිලධාරින්ට ඕන වුණේ ඔවුන් කියනදේ අනුර සේනානායක පිළිගන්නවා දකින්න.. මම ඔය සිද්ධිය වුණු දවසේ උදේ මුලින්ම ආවේ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයට.. පසුව දේශනයක්‌ සඳහා පිටව ගියා.. ඉන් අනතුරුව ගියේ පොලිස්‌ මූලස්‌ථානයේ තිබෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයට.. එදින සවස නැවතත් මම නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයට ආවා.. ඉන්පසුව ගියේ නුගේගොඩ පිහිටි කාර්යාලයටත් එතනින් රාත්‍රියේ නිවසටත් ගියා..

“මගේ පෞද්ගලික සහකාර නිලධාරියා ඒවා ඒ විදිහටම සටහන් කරලා තිබෙනවා.. එතනදී යම් දෙයක්‌ සඟවා තිබෙනවා කියලා කවුරුහරි කියනවා නම් මට ඔවුන්ගෙන් අහන්න තියෙන්නේ අනාගතයේ අනුර සේනානායකට ප්‍රශ්නයක්‌ වෙයි කියලා මීට අවුරුදු හතරකට පෙර දැනෙන්න මගේ පෞද්ගලිsක සහකාරවරයාට දිවැස්‌ තිබුණද කියන එක විතරයි..”

“දැන් ඔවුන් චෝදනා කරන්නේ මම තාජුඩීන් සිද්ධිය වුණු තැනට මහ පාන්දර ගියා කියලනේ.. නමුත් එහෙම දෙයක්‌ සිද්ධ වුණේ නැහැ කියලා එදා කොළඹ ප්‍රදේශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වගේම කොළඹ අපරාධ කොට්‌ඨාසය භාරව සිටි අධ්‍යක්‍ෂවරයා, නාරාහේන්පිට සහකාර පොලිස්‌ අධිකාරිවරයා, නාරාහේන්පිට පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු උසස්‌ නිලධාරින් ගණනාවක්‌ ප්‍රකාශ කරද්දියි ඔවුන් අනුර සේනානායකට මේ චෝදනාව එල්ල කරන්නේ.

“තාජුඩීන් පරීක්‍ෂණවලට කිසිසේත්ම සම්බන්ධ නොවුණු නාරාහේන්පිටපොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපතිවරයා කරන ප්‍රකාශයක්‌ පදනම් කරගෙනයි එසේ කරන්නේ.. නාරාහේන්පිට රථවාහන ඕඅයිසී විමර්ශනවල නොසිටියේ ඇයි කියන එක මම පස්‌සේ කියන්නම්.. මමත් පොලිසියේ හිටපු නිලධාරියෙක්‌.. ඒත් මට තේරුම් ගන්න බැහැ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගණනාවක්‌ කියන කතාව පිළි නොගෙන රහස්‌ පොලිසිය ඇයි මේ රථවාහන ඕඅයිසීගේ කතාවට අනුර සේනානායකට චෝදනා කරන්නේ කියලා.. ඒක තුළ තිබෙන සාධාරණය මොකක්‌ද කියන එකත් ප්‍රශ්නයක්‌..

කවුරු මොන චෝදනාව කළත් මේ රටේ ජනතාවට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. තාජුඩීන්ගේ මරණය සිද්ධවුණු තැනට අනුර සේනානායක ගියෙත් නැහැ.. ඒ විමර්ශන නොමඟ යවන්න කොතනකදීවත් කටයුතු කළෙත් නැහැ..”

“මම මොකටද තාජුඩීන්ගේ තාත්තව මගේ කාර්යාලයට ගෙන්නලා ඒ වගේ දෙයක්‌ කියන්නේ.. පොලිස්‌ නිලධාරින්ට යමක්‌ කියන්න ඕනේ නම් එතන්ට තාජුඩීන්ගේ තාත්තා අවශ්‍ය වෙන්නේ නැහැනේ.. මට කාවවත් ගෙන්නලා ඒ විදිහට එක එක උපදෙස්‌ දෙන්න කිසිම අවශ්‍යතාවයක්‌ තිබුණේ නැහැ.

“හැබැයි තාජුඩීන්ගේ මරණෙන් පස්‌සේ මම එක උපදෙසක්‌ පොලිසියට දුන්නා.. අන්න ඒ නිසා තමයි නාරාහේන්පිට රථවාහන ඕඅයිසී මේ විමර්ශනයේ කොටස්‌කාරයෙක්‌ නොවුණේ.. මම ඒක කළේ පළපුරුදු පොලිස්‌ නිලධාරියෙක්‌ විදිහට ඇතිවුණු බරපතළ සැකයක්‌ නිසා..

“එදා තාජුඩීන්ගේ මරණය සිද්ධ වෙලා පැය ගණනාවකට පස්‌සේ සිද්ධිය වුණු තැනට හුඟාක්‌ දුරින් පිහිටි කිරුළපන රොබට්‌ ගුණවර්ධන මාවතේ තිබිලා වසීම් තාජුඩීන්ගේ මුදල් පසුම්බිය පොලිසිය සොයාගෙන තිබුණා.. පසුව ඒ බව මට වාර්තා වුණා.. ඒ වෙලාවේ මට දැඩි සැකයක්‌ මතුවුණා තාජුඩීන්ගේ සිද්ධිය ඝාතනයක්‌ද කියලා.. ඒ නිසා මම විමර්ශන නිලධාරින්ට උපදෙස්‌ දුන්නා ඒ පිළිබඳ ඉතා සූක්‍ෂමව විමර්ශනයක්‌ කරන්න කියලා..

“එහෙම උපදෙස්‌ දුන්නේ ඒක බරපතල සැකයක්‌ මතු කළ කාරණයක්‌ වුණ නිසා.. සිද්ධිය වුණු දවසේ රාත්‍රියේ සාදයකට සහභාග වුණු වසීම් තාජුඩීන් ඔහු සමඟ සිටි මිතුරන් දෙතුන් දෙනකු නිවෙස්‌වලටද ඇරලවා එන අතරතුරයි මේ මරණය සිදුවී තිබුණේ.. එනිසා මම විමර්ශන නිලධාරින්ට කිව්වා ගිහින් ඒ මිතුරන් හමුවී තාජුඩීන් අවසන්වරට ගමන් කළ මාර්ග ඔස්‌සේ යමින් පුළුල් ලෙස විමර්ශනයක්‌ කරන්න කියලා..

“ඒක මම පළපුරුදු ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ විදිහට ගත්ත තීරණයක්‌.. තාජුඩීන්ගේ සිද්ධිය වසන් කරන්න හැදුවනම් මම ඒ වගේ උපදෙසක්‌ පොලිසියට දෙන්නේ මොකටද? එදා ඒ කටයුතු භාර දුන්නේ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයාට.. ඒ නිසයි රථවාහන අංශයේ ස්‌ථානාධිපතිවරයා තාජුඩීන් සිද්ධිය පිළිබඳ විමර්ශනවලට සම්බන්ධ නොවුණේ.. සිද්ධිය අනතුරක්‌ ලෙස පෙනුනත් ඝාතනයක්‌ බවට සැක මතුවුණු නිසා එදා මම ඒ විමර්ශන අපරාධ අංශයට භාර කළා..”

“එදා බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වූ අනුර සේනානායක මහතාටත් තාජුඩීන්ගේ මරණය පිළිබඳ ඒ අන්දමින් බරපතළ සැකයක්‌ මතු වූයේ නම් අද මීනිමැරුමක්‌ යෑයි රහස්‌ පොලිසිය කියන තාජුඩීන්ගේ මරණය රිය අනතුරක්‌ ලෙස තහවුරු වූයේ කෙසේද? එයට දෙන්නට පිළිතුරක්‌ද අනුර සේනානායක මහතා ළඟ විය. ඒ මෙසේය.

“තාජුඩීන්ගේ මුදල් පසුම්බිය වෙන තැනක වැටී තිබීම නිසාම ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ විදිහට මට ඒ වගේ සැකයක්‌ මතුවුණු එක ඇත්ත. නමුත් යම්කිසි අභිරහස්‌ මරණයකදී මොනතරම් සැක මතුවුණත් ඇසින් දුටු සාක්‍ෂියක්‌ වැනි දෙයක්‌ නොමැති වුණොත් අවසන් නිගමනයකට පැමිණීමේ හැකියාවක්‌ පොලිසියට නැහැ.. ඇසින් දුටු සාක්‍ෂියක්‌ තිබුණත් පොලිසියට බැහැ අවසන් නිගමනයකට එන්න..

“නමුත් එතනදී පොලිසියට පුළුවන් යම් සැකකරුවකු හෝ පිරිසක්‌ සිටිනවා නම් ඔවුන් අත්අඩංගුවට ගෙන සාක්‍ෂි රැස්‌ කරමින් මූලික විමර්ශන කටයුතු සිදු කරගෙන යන්න.. යම් අභිරහස්‌ මරණයකදී සිදුව ඇත්තේ මිනී මැරුමක්‌ද එහෙමත් නැතිනම් රිය අනතුරක්‌ද එසේත් නැතිනම් සිය දිවි නසා ගැනීමක්‌ද යන්න නිශ්චිතව තීරණය කරන්නේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකරන විශේෂඥවරයා.. ඒ විශේෂඥ සාක්‍ෂිය තමයි අධිකරණයේදී වැදගත්ම සාක්‍ෂිය වෙන්නෙත්..

තාජුඩීන්ගේ මරණය පිළිබඳ එදා පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළේ මේ රටේ ප්‍රවීණතම අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා.. මහාචාර්ය ආනන්ද සමරසේකර කියන්නේ එක්‌සත් ජාතීන්ගේ විමර්ශනවලදී අධිකරණ වෛද්‍ය විශේෂඥවරයකු ලෙස පරීක්‍ෂණවලට සම්බන්ධ වී ජාත්‍යන්තර අධිකරණයන්හිදී පවා සාක්‍ෂි ලබා දුන් ප්‍රවීණයෙක්‌..

එතුමා තමයි එදා තාජුඩීන්ගේ මළ සිරුර පිළිබඳ පරීක්‍ෂණ පවත්වා වසරකට පමණ පසුව එය රිය අනතුරකින් සිදුවූ මරණයක්‌ බවට අධිකරණයට තහවුරු කළේ.. එතනින් එහාට “නැහැ එහෙම වෙන්න බැහැ.. ඒ මරණය සැකයි” කියලා කියන්න පොලිසියට හැකියාවක්‌ නැහැ.. පොලිසිය කොහොමද විශේෂඥ සාක්‍ෂියට අභියෝග කරන්නේ.. එහෙම කරන්න පොලිසියට බැහැ..

“වසර හතරකට පසු මියගිය තාජුඩීන්ගේ අස්‌ථී කොටස්‌ ගොඩගෙන නැවත සිදු කළ වෛද්‍ය පරීක්‍ෂණයකින් පසු අද පොලිසිය අධිකරණයට කියනවා මහාචාර්ය ආනන්ද සමරසේකර තාජුඩීන්ගේ සිරුර පිළිබඳ සිදුකළ පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය නිවැරදි නැහැ.. එය ඝාතනයක්‌ කියලා..

“මෙතනදී මට මතුවෙන ගැටලුව තමයි මහාචාර්ය ආනන්ද සමරසේකර ඒ පරීක්‍ෂණය නිවැරදිව සිදු කර නැති නම් ඩීඅයිජී අනුර සේනානායකට ඉස්‌සර වෙලා සීඅයිඩී එක මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට නොගන්නේ ඇයි කියන එකයි.

“තාජුඩීන්ගේ මරණය රිය අනතුරක්‌ කියලා අධිකරණයට තහවුරු කළේ අනුර සේනානායකවත් පොලිසියවත් නෙමෙයි.. මහචාර්ය ආනන්ද සමරසේකරගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව මගින් එය සිදු කළේ.. තාජුඩීන්ගේ මරණය අභිරහස්‌ මරණයක්‌..

“ඒ නිසා ඒක මිනී මැරුමක්‌ද, අනතුරක්‌ද නැතිනම් දිවි නසා ගැනීමක්‌ද කියලා මටවත් පොලිසියටවත් කියන්න බැහැ.. පොලිසිය කළේ විමර්ශන සිදු කරන එක විතරයි.. එහෙම නම් මම මොකක්‌ද දැන් සීඅයිඩී එක කියන විදිහට තාජුඩීන්ගේ මරුණය ගැන වසන් කරලා තියෙන්නේ..

“මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගේ වෛද්‍ය පරීක්‍ෂණයත් අනුර සේනානායක නොමඟ යෑව්වා කියලද පොලිsසිය මේ කියන්නේ.. රහස්‌ පොලිසිය කියන විදිහට අනුර සේනානායකට එදා තැන් තැන්වල වෙන අනතුරු බලන්න ගිහින් පරීක්‍ෂණ කරන පොලිස්‌ නිලධාරින්ට උපදෙස්‌ දෙන්න වෙලාවක්‌ තිබුණේ නැහැ.. මම ගත කළේ බොහෝම කාර්ය බහුල රාජකාරි ජීවිතයක්‌..

“මෙතනදී මට කියන්න තවත් වැදගත් දෙයක්‌ තිබෙනවා.. මොන විදිහකින් හරි අද අසත්‍යයක්‌ වෙලා තිබෙන්නේ මේ රටේ ප්‍රවීණ අධිකරණ වෛද්‍ය විශේෂඥයකු වන මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ විශේෂඥ සාක්‍ෂිය.. ඒ අනුව මහාචාර්ය සමරසේකර මහතා මෙතෙක්‌ ලබා දුන් විශේෂඥ සාක්‍ෂි පිළිබඳ රටේ ජනතාව තුළ යම් සැකයක්‌ මතුවීමේ තත්ත්වයක්‌ නිර්මාණය වෙනවා..

“ඒ අනුව දැන් මේ රටේ නීතියටවත් සීඅයිඩී එකටවත් පුළුවන්ද තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ලබා දුන් වාර්තාව වැරදියි කියලා අනුර සේනානායක හිර කරන්න සැරසෙනවා වගේම මීට පෙර මහාචාර්යවරයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා අනුව හිරේ ගිය කෙනෙක්‌ ඉන්නවා නම් එළියට දාන්න..?”

Top