LNN SPY

මිලියන 1750ත් මදි වී සේවකයන් පන්නන CIMA

කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනය හෙවත් කාටත් තේරෙන භාෂාවෙන් කියනවා නම් CIMA ආයතනය පිළිබඳ නොදන්නා කෙනෙක් සිටිය නොහැකිය. උසස් පෙළ දක්වා අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ගණකාධිකාරී ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වීමට අපේක්ෂා කරන බොහෝ පිරිස් අද වන විට කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනය වෙත යොමු වන්නේ රැකියා වෙළඳපොළ තුළ එහි පාඨමාලා සඳහා විශාල වටිනාකමක් අත්පත් කර දී ඇති නිසාය. මෙම ආයතනය ලෝකය පුරාම පැතිරී ඇති ආයතනයක් වන අතර මේ වන විට රටවල් 178ක මෙහි ශාඛා ස්ථාපිත කර තිබේ. එහෙත් කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව ලෝකයෙන්ම දෙවැනි ස්ථානය අත්පත් කරගෙන සිටින්නේ ශිෂ්‍ය සංඛ්‍යාව සහ ගුණාත්මක තත්ත්වය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර වලින් සාර්ථකත්වයන් අත්පත් කර ගනිමිනි. එය දෙවැනි වන්නේ එංගලන්තයේ පිහිටා ඇති මව් සමාගමට පමණි.

මෙම ආයතනය රාජ්‍ය ආයතනයක් නොවූවත් රටට තීරණාත්මකව වැදගත් කමක් දක්වන ආයතනයකි. ඊට හේතු දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ මේ රටෙන් ඉහළ පෙළේ රැකියා සඳහා යොමු වන බොහෝ පිරිසක් මෙම ආයතනයේ අධ්‍යාපනය ලැබීමට යොමු වීමයි. ඒ නිසා විදේශ විනිමය මෙරටට ගෙන ඒමට වැදගත් වන විදේශ රැකියා සම්බන්ධයෙන් මෙහි සෘජු සම්බන්ධයක් තිබේ. ඊට හේතුව මේ වනතෙක් කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් පවත්වාගෙන යන ගුණාත්මක භාවයයි. දෙවැනි කාරණාව වන්නේ මේ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ රටෙන් ඉවතට ඇදී යාමයි. ඒ පාඨමාලා ගාස්තු හා විභාග ගාස්තු හා සාමාජික ගාස්තු හරහාය. එම ප්‍රමාණය වසරකට රුපියල් මිලියන 1750ක් පමණ වේ. එවැනි අති විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මේ රටෙන් ඉවතට ගලා යන්නේ නම් ඉන් ලබා දෙන සේවාවන් සම්බන්ධයෙන් කතා කිරීමට මේ රටේ ඕනෑම පුරවැසියෙකුට සුජාත අයිතියක් තිඛෙන බව අමුතුවෙන් කියන්නට උවමනාවක් නැත.

කෙසේ වෙතත් මේ දක්වා යම් ගුණාත්මක මට්ටමක් කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනය විසින් පවත්වාගෙන ආවද මේ වන විට එහි සිදු වෙමින් තිඛෙන කටයුතු නිසා නුදුරු අනාගතයේදීම එම තත්ත්වය ඛෙහෙවින්ම වෙනස් තත්ත්වයකට පත් විය හැකිය. ඊට මූලික හේතුව වී ඇත්තේ ආයතනය තුළ අලුතෙන් සිදු කරගෙන යන ව්‍යුහාත්මක වෙනස්කම් නිසාය. මෙම වෙනස්කම් ජාත්‍යන්තර මට්ටමෙන් සිදු කරන්නක් වුවද එය ලංකාවේ සිදු කරමින් සිටින්නේ ලංකාවේ පොදු සාමාන්‍ය ක්‍රමය අනුවමය. එනම් නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමිනි.

කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් පසුගිය පෙබරවාරි 14 වන දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ආයතනයේ ලෝකය පුරා ශාඛා වල සේවය කරන සේවකයන් 120ක් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි. එය සිදු වන ආකාරය පිළිබඳ කලාපයේ ප්‍රධාන විධායක නිලධාරියා හරහා දැනුම්වත් කිරීම් සිදු වනු ඇති බවද එම නිවේදනයේ සඳහන් විය. එහෙත් ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනයට එහි ප්‍රධාන විධායක නිලධාරියා කියූ පරිදි එම නිවේදනයෙන් පසු ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ දැනුම්වත් කිරීමක් සිදු වී නැත. එහෙත් පෙබරවාරි 21 වන දින කලාපයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් ඊ මෙල් මගින් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශ්‍රී ලංකා ශාඛාවේ සේවකයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි. එවැන්නක් තිඛෙන බව දැනුම් දෙන විට ඒ කුමක් සඳහා දැයි දැන්වීම සාමාන්‍ය ක්‍රමය වුවද මෙම ඊ මේල් පණිවිඩයේ එවැනි කිසිදු සඳහනක් කර නොතිබීමද විශේෂයකි.

කෙසේ වෙතත් අදාළ දිනට එම සාකච්ඡාව පවත්වා ඇති අතර එහිදී සඳහන් කර ඇත්තේ ලංකාවේ ශාඛාවෙන් දස දෙනෙකු ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි. එහෙත් එසේ ඉවත් කිරීමේදී සලකා බැලු කරුණු හෝ ඉදිරිපත් කිරීමට මෙහිදී කටයුතු කර නොමැත. එසේම ඉවත් කිරීමේදී සේවකයන්ට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් ද ලබා දී නැති අතර පසු දිනම ආයතනය විසින් ලබා දුන් ලැප්ටොප් සහ ජංගම දුරකථන ඇතුළු සියලූ දේ ලබා දී පසු දිනම ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

මේ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ මේ සියල්ල සිදු වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව සියලූ නීතීන්ට අනුකූලව බවයි. එහෙත් මේ සම්බන්ධයෙන් කිසිවෙකු සමඟ හෝ කතා නොකරන ලෙස ඉවත් කරන සේවකයන්ට දැනුම් දී ඇත්තේ ඔවුන්ව නිරීක්ෂණය සඳහා වෙනත් කණ්ඩායමක්ද නොනිල වශයෙන් යොදවමිනි. ඉන් පසුව එක් එක් සේවකයා තනි තනිව රැගෙන ගොස් ලිපි වලට අත්සන් ගැනීමට උත්සාහ දරා ඇති අතර එහිදී නීත්‍යානුකූව එම සේවකයන්ට අයිති විය යුතු දීමනාවන්ගේ අවමය පමණක් ගෙවන බවද දැනුම් දී තිබේ. එහිදී සේවකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපියද ආයතනය විසින්ම සකස් කර ඇත්තේ අත්සන් කිරීම එකම කටයුත්ත පමණක් බවට සේවකයන්ට ඉතිරි කරමිනි. එම ලියවිල්ලට අත්සන් නොතබන්නේ නම් ඔවුන්ට හිමි විය යුතු සියලූ දීමනා සහ සේවා සහතිකයක් පවා ලබා නොදෙන බවට පවසා ඇත්තේ නොනිල මට්ටමේ තර්ජනයක ස්වරූපයෙනි. මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙස සේවකයන් කරන ලද ඉල්ලීමද බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. අවම වශයෙන් පවුලේ සාමාජිකයෙකු සමඟ හෝ කතා කිරීමට කිසිදු ඉඩක් ලබා දී නැත.

මෙසේ අත්සන් ගැනීමට පැමිණි නීතිඥවරුන් කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යයි තමන්ව හඳුන්වා දුන් බව එහි සේවකයන් පවසන අතරකම්කරු දෙපාර්තමේන්තුවෙන් කරන ලද විමසීමකදී එවැනි මැදිහත්වීමක් කම්කරු දෙපාර්තමේන්තුවෙන් සිදු නොකළ බව නිශ්චිත වශයෙන් පවසා තිබේ. ඔවුන් ආයතනය විසින් කුලී පදනම මත සේවය ලබා ගත් නීතිඥවරුන් බව ආයතනය විසින් පිළි ගනු ලබන්නේ මේ සියල්ල හෙළි වීමෙන් පසුවය.

මෙහි ඇති ඊළඟ ගැටලුව වන්නේ යම් ආයතනයකින් සේවකයන් ඉවත් කිරීමේදී ඒ සඳහා කම්කරු කොමසාරිස්වරයාගෙන් අනුමැතියක් ලබා ගත යුතු වුවද එවැනි අනුමැතියක් ලබාගෙන නොමැති වීමයි. ඒ සම්බන්ධයෙන් මේ වන විට ඉවත් කළ සේවකයන් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර කම්කරු කොමසාරිස්වරයා සමග සාකච්ඡාවක්ද පවත්වා තිබේ. කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනය විසින් තමන්ගෙන් එවැනි අනුමැතියක් ලබාගෙන නැති බව කම්කරු කොමසාරිස්වරයාද තහවුරු කර තිබේ.

සියල්ල සිදු වී ඇත්තේ නීතියට පටහැණිව බව තේරුම් ගත් සේවයන් අවසානයේ නීතියේ පිහිට පතන්නට තීරණය කරන අතර මේ වන විට නාරාහේන්පිට පොලිසියේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ මේ සම්බන්ධයෙන් කරන ලද පැමිණිලි විභාග වෙමින් තිබේ.මෙවැනි මහා මෙහෙයුමක් සිදු කර සේවකයන් ඉවත් කිරීමට කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනයට තිබූ ඇත්ත උවමනාව හෙළි වන්නේ මේ සිදුවීමෙන් පසුවය.

කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනය හරහා වසරකට රුපියල් මිලියන 1750ක පමණ ප්‍රමාණයක් ලංකාවෙන් මව් සමාගම වෙත ඇදී යන අතර ඇතැම් වසර වල අගය ඊටත් වඩා වැඩි වන බව තොරතුරු අනුව පැහැදිලි වේ. ඒ සඳහා ආයතනය විසින් හතළිහකට අධික සේවක සංඛ්‍යාවකගේ සේවය ලබා ගනු ලැබීය. එහෙත් ඔවුන්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ තවත් ලාභ ඉපයීමයි. ඒ වෙනුවෙන් කාර්යාල පහසුකම් පමණක් නොව පාඨමාලාවල ඇතැම් කොටස්ද ඉවත් කර, සේවක සංඛ්‍යාව අඩු කිරීමට කටයුතු යොදා තිබේ. මේ ක්‍රියාත්මක වූයේ එහි එක් පියවරකි. මීට පෙරද ඇතැම් සේවකයන් විවිධ අවස්ථා වල ඉවත් කිරීම නිසා මේ වන විට කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනයේ සේවකයන් සංඛ්‍යාව විස්සකට ආසන්න ප්‍රමාණයක් දක්වා අඩු වී තිබේ.

මේ සඳහා ආයතනයේ වැය පාර්ශ්වය වැඩි වී ඇති බව එළිපිට කියා සිටියද ඔවුන්ගේ සැලසුම් වල කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනයේ ලංකාවේ ශාඛාව හඳුන්වන්නේ ‘කෑෂ් කව්’ කෙනෙකු වශයෙනි. හැමෝද දන්න භාෂාවෙන් කියනවා නම් සුරබිදෙනක් වශයෙනි. ලෝකයේ රටවල් 178ක සිය ශාඛා ක්‍රියාත්මක වුවද බොහෝ රටවල් වලින් එසේ මුදල් ලැඛෙන්නේ නැත. ඒ නිසා ඒ රට වල ආදායම් ලැබීමටනම් තවත් මුදල් ආයෝජනය කළ යුතු බව මෙහි පාලකයන්ගේ අදහසයි. ඒ සඳහා මුදල් ලැබෙන තැන් වල තවත් ආදායම් වැඩි කර ගත යුතුය. මේ සැලසුම ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය.

කවුරුන් කෙසේ හැඳින්වුවද කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනය තුළ ප්‍රමුඛ අරමුණ වන්නේ ව්‍යාපාරික අරමුණයි. ඒ නිසා ලාභය පිළිබඳ අවධානයක් යොමු කිරීම ඔවුන්ගේ අයිතියකි. එහෙත් මේ වන විට වසර පනස් එකක කාලයක් පුරා ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරි වරලත් ආයතනය ක්‍රියාත්මක වේ. ඒ තුළින් රටේ දැනුමට ඔවුන් විසින් කළ සේවයක්ද තිබේ. ඒ සඳහා මේ රටේ ජාතික ධනයෙන් මුදල් ගෙවා තිබේ. ආයතය සම්බන්ධයෙන් වන ප්‍රතිරූපය කඩා වැටීම දැනට අධ්‍යාපනය ලබන්නන්ගේ පමණක් නොව මේ වන විට අධ්‍යාපනය ලබා, ආයතනයේ සාමාජිකත්වය ලබා සිටින සියල්ලන්ටම එක සේ බලපාන්නකි. ඒ පිළිබඳ අවධානය යොමු කිරීම කාගේත් වගකීමකි.

චතුර දිසානායක

Top