විශේෂාංග

රටේ ආර්ථිකය වලපල්ලටද? පොදු වැසිකිළියත් පෞද්ගලික සමාගමකට බදුදීමට තරම් ආණ්ඩුව පහල වැටිලා….. ගුවන්සේවා පාලකයන්ගේ අලුත්ම බදු තියරිය

Published on: Sep 7, 201- අපේ රටේ ගුවන් සේවා පාලනය ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙමින් විනාශ වෙමින් ලෝකයේ තවත් එක් ගුවන් සේවයක් පමණක් බවට පත්වෙමින් පවතින මොහොතකට අප එළඹ ඇත. රාජපක්ෂ පාලන කාලයේදී තම ඥාතීන් විසින් තමන්ගේ පෞද්ගලික බූදලයක් බවට පත්කරගත් ලංකාවේ ගුවන් සේවයට කර ඇති හානිය මේ වන විට රටට හෙළිදරවු වෙමින් ඇත. ඒ තත්ත්වය වෙනස් කරන්නේ යැයි කියමින් බලය ලබාගත් යහපාලන පාලකයෝ රාජපක්ෂලාගේ තැනින් වික්‍රමසිංහලාගේ තැනට මේ වන විට ගුවන් සේවය පත් කරගැනීමට කටයුතු සියල්ල සම්පාදනය කොට ගෙන ඇත.

රනිල් මෛත්‍රී ආණ්ඩුවේ ප්‍රතිපත්තියම වී ඇත්තේ රටේ සම්පත් කුණු කොල්ලයට විකිණීමයි. නොඑසේ නම් බදු දීමයි. බදුදිය හැකි, විකිණිය හැකි ඕනෑම දෙයක් වේද එය බදු දීම හෝ විකිණීම යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත්ව ඇත. අලුතෙන්ම වාර්තා වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමට අයත් සම්පත් බදු දීමයි. නොඑසේ නම් විකිණීමයි. කටුනායක ගුවන්තොටුපොළ ආශ්‍රිතව ගුවන් සමාගම යටතේ පාලනය වන රථගාල් තුනක් විය. එය පාලනය කළේ සහ එහි ආදායම ලබාගත්තේ ගුවන් සමාගම විසිනි. එය කටුනායක ගුවන්තොටුපොළට එන ජනතාවට මහත් සහනයක් බවට පත්විය. තම ඥාතියෙකු, හිතවතෙකු, ගුවන් ගමනක් සඳහා ගුවන් තොටුපොළට පැමිණි කළ හෝ විදේශයක සිට සිය රටට තම ඥාතියා හෝ හිතවතා පැමිණෙන තුරු තමන් ගුවන්තොටට පැමිණි රථය ආරක්ෂා සහිතව නවතා තැබීමට මෙම රථගාල් අතිශය වැදගත් මෙහෙවරක් කළේය. එය මෙහෙවරකටත් වඩා සේවයක් විය.

ගුවන්තොටුපොළට අදාළ රථගාල් තුන බදුදීම සඳහා ගුවන් සේවා සමාගමේ පාලානාධිකාරිය මේ වන විට කටයුතු කොට ඇත. පසුගිය ජූලි මස 31 වෙනිදා ටෙන්ඩර් කැඳවා තිබූ අතර අදාළ රථගාල් බදු ගැනීම සඳහා ටෙන්ඩර් තුනක් ඉදිරිපත්ව තිබී ඇත. මෙහිදී කාර් පාර්ක් එක ඉදිරිපත් වූ එක, දෙක, තුන ටෙන්ඩර් පත් අතරින් තුන්වෙනි ටෙන්ඩර්කරුට බදුදීමට සමාගම තීරණය කරන ලදී. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය පසුගිය පළමු වැනිදා විරුධත්වය ප්‍රකාශ කොට මෙය තාවකාලිකව නතර කරන ලදී. ඒ වන විට අදාළ ටෙන්ඩර් ගත් ආයතනය රථගාලට අදාළව යටිතල පහසුකම්ද සකස් කරන ලදී. විශේෂයෙන්ම ගේට්ටු සවිකිරීම පවා සිදු කොට තිබුණි. මේ තත්ත්වය මත ගුවන් සමාගමේ සභාපතිවරයා විසින් සියලුම සේවකයන් කැඳවා විශේෂ රැස්වීමක් පවත්වා ප්‍රකාශ කොට ඇත්තේ ගුවන් සේවා සමාගමේ අදාළ රථගාල් විකිණීමක් සිදු නොකරන බවත් සිදු කරනු ලබන්නේ බදු දීමක් පමණක් බවත් ප්‍රකාශ කොට ඇත්තේ සේවකයන්ගේ විරෝධය සමනය කිරීමටය.

ගුවන් තොටුපොළ කළමනාකාරවරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙම රථගාල් තමන්ට පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බවයි. සභාපතිවරයාත් අධ්‍යක්ෂ මණ්ඩලයත් ළඟ තබාගෙන අදාළ කළමනාකරු ප්‍රකාශ කොට ඇත්තේ තමන්ට මෙය කිරීමට නොතේරෙන බවකි. එවිට වහාම මැදිහත් වී ඇති සේවකයෙකු මේ තත්ත්වයට රථගාල් පත්වී ඇත්තේ කළමනාකාරවරයාගේ දුර්වලකම පරිපාලනය හේතුවෙන් බව ප්‍රකාශ කොට ඇත. එහිදී අදාළ කළමනාකාරවරයා අදාළ චෝදනාවද පිළිගෙන ඇත. අදාළ බලධාරීන් නිරතුරුව පවසන්නේ මේ රථගාල් තුළ විශාල ලෙස මුදල් වංචා වන බවකි. මේ තත්ත්වයට වගකිව යුත්තේ අදාළ පාලකයන්ය. ආණ්ඩුවේ වුවමනාව ඉටු කරමින් කිසිදු සොයා බැලීමක් නොකළ අදාළ පාලකයන් මෙය බදුදීම යැයි කියමින් පෞද්ගලීකරණය කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතව ඇත. කෙසේ වුවත් කිසිදු අවස්ථාවක සිදුවන්නේ යැයි කියන මූල්‍ය වංචා හෙළිදරවු කරගැනීමට හෝ අදාළ වංචා නැවැත්වීමට මේ බලධාරීන් කිසිදු පියවරක් ගෙන නැත. කිසිදු පියවරක් නොගෙන වංචා සිදුවන්නේ යැයි කියමින් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළින් මොවුන් සිදුකොට ඇත්තේ බදුදීමට අවශ්‍ය කොන්දේසි සපුරා දීමය. ගුවන්තොටුපොළ පාලනාධිකාරිය තමන්ගේ අඩුව සම්පූර්ණ කරගැනීමට උත්සාහ ගනිමින් ඇත්තේ වසර තුනකට අදාළ රථගාල් පෞද්ගලික අංශයට බදුදීමය.

අදාළ ටෙන්ඩර් පත් අතරින් තුන්වෙනියට ඉදිරිපත් වූ ටෙන්ඩරයට අනුමැතිය හිමිව ඇත. අදාළ ටෙන්ඩරය ලබාගත් පුද්ගලයා එංගලන්තයේ පදිංචිව සිටින්නෙකි. අදාළ පුද්ගලයාට කොළඹ ප්‍රධාන පෙළේ රථගාල් කිහිපයක්ම පවතින බව කියවේ. ඔහුට මෙම ටෙන්ඩරය ලබාදීමට එරෙහිව කණ්ඩායමක් නැගී සිටියේ ඒ පිටුපස තිබූ දේශපාලන උවමනාවක් සම්පූර්ණ කිරීමට බව අමුතුවෙන් විස්තර කළ යුතුව නැත. මේ බදුදීම තුළ ටෙන්ඩර් මගඩියක් සිදුව ඇතැයි කියමින් ශ්‍රීලනිප වෘත්තීය සමිති තර්ක මතු කරද්දී හෙළි වූයේ මෙම ටෙන්ඩර් තුළ රාජපක්ෂ ආණ්ඩුවේ රැකවරණ හිමි වූ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ චණ්ඩි මල්ලීගේ බෑනා කෙනෙකුද ටෙන්ඩර් පතක් ඉදිරිපත් කොට ඇති බවයි. ඔහුට අවස්ථාව ලබාදීමට මේ පිරිස කටයුතු කරමින් සිට ඇත. කෙසේ වුවත් අවසානයේ ටෙන්ඩරය හිමි වූ පුද්ගලයාගේද ටෙන්ඩරය අත්හිටුවන ලදී.

අවසානයේදී නීත්‍යානුකූල ලෙස ටෙන්ඩරය හිමි වූ පුද්ගලයාට අධිකරණයේ පිහිට පතන්නට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් සමාගමට අධිකරණය විසින් නියෝග කොට ඇත්තේ අදාළ පුද්ගලයාටම ටෙන්ඩරයට අනුව රථගාල් ලබාදීමට කටයුතු කළ යුතු බවයි. නමුත්, සැලසුම වී තිබී ඇත්තේ පාතාල නායකයෙකුගේ බෑනනුවකුට ටෙන්ඩරය ලබාදීමටයි. කෙසේ වුවත් අධිකරණයේ මැදිහත් වීමෙන් එය වැළකී ගොස් ඇත. එබැවින් බදුදීම දක්වා මේ රථගාල් පරිහානියට පත්කරන ලද්දේ ගුවන් තොටුපොළ පාලනාධිකාරිය විසිනි. ඔවුන්ගේ පාපයට අවසානයේ වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සේවකයන්ට සහ පොදු මහජනතාවටය.

ගුවන් සේවා සමාගම විසින් පාලනය කරන ලද කාලයේදී රථගාල්වල මාසික ආදායම රුපියල් ලක්ෂ හතළිස් පහක් පමණ වන බව කියවේ. මෙම රථගාලේ නවත්වනු ලබන ඕනෑම රථයකින් අයකරනු ලබන්නේ රුපියල් දෙසීයක් පමණි. ඒ අනුව නිශ්චිත වේලාවක් නැතිව අදාළ රුපියල් දෙසීයයට ඕනෑම වෙලාවක් නවත්වා තබාගත හැකිය. මේ වන විට බදු ලබාගෙන ඇති ආයතනය මාසික ආදායම ලෙස ගණන් බලා ඇත්තේ රුපියල් මිලියන 21 කි. (රුපියල් දෙකෝටි දස ලක්ෂයක්) ඉන් ඔවුන් මිලියන නමය හමාරක් හෙවත් ලක්ෂ 95ක් ගුවන් සමාගමට ගෙවීමට එකඟ වී ඇත. මෙම සමාගම මුදල් උපයා ගන්නා මාර්ගයද පැහැදිලි කොට ඇත. ඔවුන් රථයක් නැවැත්වීමේදී අය කරන මුදල ලෙස සඳහන් කර ඇත්තේ රුපියල් දෙසීයකි. අමතර සෑම පැයකටම රුපියල් සියය බැගින් අය කිරීමට තීරණය කොට ඇත. සමාගම සතුව පවතිද්දී දළ වශයෙන් පැය දහයක් වාහනයක් නවතා තැබීමට වැය වන්නේ රුපියල් දෙසීයකි. එහෙත් නව තත්ත්වය යටතේ දළ වශයෙන් පැය දහයක් එක් වාහනයක් නවත්වා තැබීමට රුපියල් එක්දහස් එකසියයක් ගෙවිය යුතුව ඇත. සාමාන්‍ය ජනතාව මෙතෙක් කල් ගුවන්තොටුපොළට පැමිණ වාහනය නවතා තැබීමට අයය කළ රුපියල් දෙසීය වෙනුවට දැන් ජනතාවට දහස් ගණනින් ගෙවීමට සිදුව ඇත. මේ තත්ත්වයට ජනතාව ඇද දමා ඇත්තේ ගුවන් තොටුපොළ පාලනාධිකාරියයි.

මේ බදුදීමට එරෙහිව සැබෑ ලෙස පෙනී සිට ඇත්තේ අන්තර් සමාගම් සේවක සංගමය පමණකි. ශ්‍රීලනිප කණ්ඩායම විරෝධය දක්වා ඇත්තේ බදුදීමට නොව තම හිතවතුන්ගෙන් පිට බදුදීමට එරෙහිවය. ජනතාවගේ යහපත වෙනුවෙන් පැවති රථගාල් තුනක් විකුණන් කන මට්ටමේ පහත් තැනකට මේ පාලකයන් පත්ව ඇත්තේ කෙසේද යන්න ගැන පුදුම විය යුතු නැත. තමන්ගේ දේශපාලන නොහැකියාව පමණක් නොව ආර්ථික නොහැකියාවද මේ වන විට මේ පාලකයන් ප්‍රදර්ශනය කොට ඇත. පොදු වැසිකිළියක් වුවද පෞද්ගලික සමාගමකට බදුදීමට තරම් මානසික මට්ටමකට මේ පාලකයන් පත්ව ඇති බව කටුනායක රථගාල් සිද්ධියෙන් මානව පැහැදිලිවේ.

එස්. කේ. ගමගේ

Top