විශේෂාංග

රටේ ජනතාව ගොනාට අන්දවා අතේ පිච්චීයටත් කෙලවන්න හදන – සයිපොගෙට් ඊසි

ලංකාවේ සිටින බහුතරයක් පල් මෝඩයන්ය. තමන්ගේ දරුවන්ට එදා වේල කන්න දී ගත නොහැකිව තැවෙමින් සිටින්නේ ඒ මෝඩ කම නිසාය. එසේත් නැතිනම් ලැඛෙන සොච්චම් පඩියට මුළු ජීවිතයම කඹුරන්නේ ඒ මෝඩකම නිසාය. රස්සා පෝලිම් වල සිටින්නේත්, රස්සා නැතිව උද්ඝෝෂණය කරන්නේත් තවත් එවැනිම මෝඩයන් පිරිසකි. දැන් ඒ මෝඩ වැඩ අත්හැරීමට කාලය පැමිණ තිබේ. රුපියල් දහසය දහස් අටසීයකින් ලෝකයේ සිටින ඉහළම කෝටිපතියන් අතරට යාමට දැන් ඕනෑම කෙනෙකුට අවස්ථාව හිමි වී තිබේ. ඒ සඳහා කළ යුත්තේ ඉතාම සුළු දෙයකි. සයිපොගෙට් ඊසි යනුවෙන් හැඳින්වෙන වෙබ් අඩවියේ හෝ එම නමින්ම ඇති ෆේස්බුක් පිටුවේ ඇති දුරකථන අංකයකට ඇමතුමක් දීමෙන් ඔබට මේ හා සම්බන්ධ විය හැකිය. එහි නියෝජිතයන් දිවයිනේ සෑම ප්‍රදේශයකම විසිරී සිටින බව එම අංක වලට ඇමතුම් ලබා දීමෙන් ඔබටම තේරුම් ගත හැකිය. එම ඇමතුම ලබා දීමෙන් පසු ජීවිතයේ කවදාවත් නොවූ පරිදි සිහින ලෝකයකට ඔවුන් ඔබව රැගෙන යනු ඇත.

ඕනෑම කෙනෙකු තම අනාගතය පිළිබඳ සිහින දැකීමේ වරදක් නැත. අප අපගේ අනාගතය යනුවෙන් සුබ සිහින දැකිය යුතු බවත්, ඒ සිහින සැබෑ කර ගැනීමට නම්, ඒවා බරපතළ ලෙස විශ්වාස කළ යුතු බවත්, ඒ වෙනුවෙන් කැප විය යුතු බවත් පිසාරේ වරෙක ලියා තිබිණි. ඔහු එසේ ලීවේ අනාගතය පිළිබඳව සුබවාදීව බැලීමෙන් සුබවාදී අනාගතය යථාර්ථයක් බවට පත් කර ගැනීමට දැඩි උත්සාහයක යෙදීම මගින් හැකි වන බව කීමටය. එහෙත් සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමට නම්, අප දැකිය යුත්තේ සුබ සිහින විනා බොල් සිහින නොවේ.

හිසේ ගාන ‘ෂැම්පු’ පැකැට්ටුවේ පටන් දිනපතා දිනුම් අදින ලොතරැයි දක්වා සියල්ලකම වාසනාව සොයනවා ඇරෙන්නට අන් කිසිදු බලාපොරොත්තුවක් ඉතිරි කර නොමැති සමාජ යථාර්ථයක් තුළ මෙරට ජනතාවට සිදු වී ඇත්තේ, කිසිදා යථාර්ථයක් කර ගත නොහැකි ජීවිතයක් පිළිබඳ සිහින දකින්නට පමණි. එවන් සමාජයක් තුළ ජනතාවට බොල් සිහින පෙන්වමින්, කනකර ද උකස් කර එම බොල් සිහින වෙනුවෙන් අතේ ඇති පිච්චිය දක්වා වියදම් කරන්නට ජනතාව පොළඹවන ජාවාරමක් නැවතත් සමාජගත වෙමින් පවතින්නේ සයිපොගෙට් ඊසි යන නමිනි.

හෝටල් පැකේජ විකුණන බව කියමින්, ඔවුන් මේ වන විට සිදු කරමින් සිටින්නේ කුමක්ද? ඔවුන් පවසන්නේ ඔවුන් විසින් ජාලගත අලෙවිකරණ ක්‍රියාවලියක යෙදෙන බවයි. මේ අනුව මෙම ආයතනයට සාමාජිකයන් බඳවා ගනු ලැබේ. ඒ සඳහා පළමුවෙන්ම රුපියල් දහසය දහස් පන්සීයක් ගෙවා සහතිකපතක් මිල දී ගත යුතු වේ. තවත් එවැන්නන් දහ හතර දෙනෙකු වෙත එවැනි හෝටල් පැකේජ අලෙවි කළ විට පහළොස් වෙනියාට අදාළ හෝටල් පැකේජය ලබා ගත හැකි වේ. එසේ ලබා ගන්නා පුද්ගලයාට සහතිකයේ සඳහන් හෝටල් පැකේජය සහ රුපියල් තිස් පන් දහසක මුදලක් හිමි වේ. එහෙත් ජාවාරම මෙහෙයවන්නන්ට පහළොස් දෙනෙකුගෙන් සමන්විත එක් පිරමිඩයක් සම්පූර්ණ වූ විට ලැඛෙන රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලකින් ආපසු ලබා දෙන්නේ රුපියල් පනස් දහසක් පමණ බව ජාවාරමේ ඉත්තන් බවට පත් වූ කිසිවෙකුට පෙනෙන්නේ නැත.

ඒ නිසා තමාගෙන් වැය වූ මුදල උපයා ගැනීම සඳහා බොරු සුරංගනා ලෝක මවා පාමින්, තමන්ගේ හොඳම යහළුවා පමණක් නොව තමන්ගේ නෑදෑයන්, දෙමව්පියන් පවා මෙම පිරමිඩයේ පුරුක් බවට පත් කරවීමට එය මිල දී ගත් තැනැත්තා උත්සුක වෙයි.

මෙම ආයතනය විසින් මුලින්ම සිදු කරනු ලබන්නේ ඉහත කී අයුරින් සිහින ලෝකයක් මවා පාමින්, තමන්ගේ උගුලට හසු කර ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු කර වැඩමුළු හා දේශන පැවැත්වීමයි. මොවුන්ගේ මූලිකම වෙළෙඳ උපක්‍රමය වී ඇත්තේ මොළ සේදීම හෙවත් බ්රේන් වොෂ් කිරීමයි. මේ සඳහා විවිධ ආකාරයේ වැඩමුළු පවත්වනු ලබන අතර, ඒ සඳහා විශාල මුදලක්ද වැය කරනු ලැබේ. එක් දින වැඩමුළු මෙන්ම දින කිහිපයක වැඩමුළු ද ඊට ඇතුළත් වන අතර, එයින් එළියට එනු ලබන්නේ මුදල් ඉපයීම වෙනුවෙන් එනම්, පිරමිඩයේ නව පුරුක් සම්පූර්ණ කිරීම සඳහා ඕනෑම පහත් ක්‍රියාවක් කිරීමට පෙළඹෙන පුද්ගලයෙකි.

බොරු කීම සහ සුරංගනා ලෝක මවා පෙන්වීම සයිපොගෙට් ඊසි වැඩමුළුවලට සහභාගී වූ අයගේ ප්‍රධානම ලක්ෂණයක් වන අතර, ළඟම හිතවතුන්ට මෙන්ම නෑදෑයන්ට ද විවිධ බොරු කතා කියමින්, සුරංගනා ලෝකවල අතරමං කරන්නේ මුදල් ඉපයිය හැකි හොඳම සහ පහසුම ක්‍රමය මෙය බව කියමිනි.

මොවුන් විසින් මේ සුරංගනා ලෝක මැවීම සඳහා වැඩමුළු තුළ දී යොදා ගනු ලබන තවත් උපක්‍රමයක් වන්නේ මීට පෙර ආයතනය හා සම්බන්ධ වූ අනුගාමිකයන් කිහිප දෙනෙකු ලවා අදහස් ප්‍රකාශ කරවීමයි. තමන් මෙම ආයතනය හා සම්බන්ධ වන විට පා පැදියක්වත් නොතිබුණු බවත්, වසර දෙකක් වැනි කෙටි කාලයක දී තමන් ෆෙරාරි මෝටර් රථයක් මිල දී ගත් බවත් එක් අයෙකු පවසයි. මීට පෙර ටකරං සෙවිලි කළ නිවසක ජීවත් වූ තමන් දැන් ජීවත් වන්නේ ලක්ෂ 180ක නිවෙසක බවත්, දැන් තමන්ගේ ආදායම මසකට රුපියල් ලක්ෂ දහයක් බවත් කියන තවත් අයෙකු තම බිරිඳට දරුවා ලැබීමට නවලෝක රෝහලට ඇතුළත් කළ බවත්, ඒ සඳහා වියදම් වූ ලක්ෂ හතරක මුදල තමාට දැනුණේවත් නැති බවත් කියමින් පුරසාරම් දොඩවයි.
රට පුරා මෙම ජාවාරම ගෙන යන්නන් අතර පෙරමුණේ සිටින්නන් ලෙස පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විට අනාවරණය වී තිබේ. ඉන් එක් අයෙකු වන්නේ අනිල් බණ්ඩාරය. ඔහු මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. දෙවැන්නා සුදේශ් ඩිල්ෂාන්ය. මොහු උපන්ගෙයිම පිරමිඩ්කාරයෙකි. පදිංචිය කුරුණෑගල යන්තම්පලාවයි. සයිපොගෙට් ඊසි නමින් වෙබ් අඩවිය පවත්වාගෙන යන්නන් අතරින් මූලිකයන් මොවුන්ය. එම වෙබ් අඩවිය සඳහා යොදාගෙන ඇති සමාගම් වල නිල ලාංඡන ව්‍යාජ ඒවාය. ඒ අතරන් ගෙට් ඊසි නම් සමාගමේ නිල ලාංඡනය ද වෙයි. යොදාගෙන ඇති ලිපිනයන් ද ව්‍යාජ ලිපිනයන් වන අතර විදේශීය නියෝජිතයන් ලෙස කුලියට ගත් විදේශිකයන් ඉදිරිපත් කරන බවටද මේ වන විට තොරතුරු හෙළි වී තිබේ.

කෙසේ වුවද මොවුන් පවසන ආකාරය අදාළ හෝටල් පැකේජය ලබා ගැනීමටනම් පිරමීඩයේ හතර වන මට්ටම දක්වා යා යුතු වේ. ඒ අනුව පිරමිඩයේ 10 වන මට්ටමට ළඟා වීමට නම් තමන්ට යටින් පිරමිඩයේ සාමාජිකයන් 1032ක් අවශ්‍ය වන අතර, 20 වැනි අදියර වන විට එය 1048576ක් වෙයි. 25 වැනි අදියරේ දී 3,35,54,432 ක් සාමාජිකයන් අවශ්‍ය වන අතර, එය ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය ද ඉක්ම වූ අගයකි. ඒ අනුව සියල්ල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වුවද පිරමිඩයේ 24 වැනි අදියරේ සිටින සාමාජිකයන් 1,67,77.216කට තමන් වියදම් කළ රුපියල් 16,500.00ක මුදල හෝ සොයා ගැනීමට නොහැකි වන අතර, පිරමීඩය ද එතනින් නතර වේ. එසේම මෙහි 30 වැනි අදියර සඳහා සාමාජිකයන් බිලියන 5.36ක් අවශ්‍ය වන අතර, 31 වැනි අදියර සඳහා එය බිලියන 10.72කි. ලෝක ජනගහනය ද ආසන්න වශයෙන් බිලියන 10.4කි. ඒ අනුව පිරමිඩයේ 31 වැනි පියවරේ දී එය ලෝක ජනගහනය ද ඉක්මවා යයි.

සයිපොගෙට් ඊසි ජාවාරම ආරම්භ කර මේ වන විට වසර කිහිපයක් ගත වී ඇතැයි කියනු ලැබේ. ඔවුන් හා සම්බන්ධ වන සෑම නව සාමාජිකයකුම මාසයකට අලෙවිකරණයන් දෙකක් අවම වශයෙන් සිදු කළේ නම්, මාස 24ක් ඇතුළත එනම්, වසර දෙකක් ඇතුළත ලංකාවේ සමස්ත ජනගහනයටම ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර අවසන් වේ. එහෙත්, එය එසේ සිදු වී නොමැත. ඒ අනුව ඔවුන් පවසන සිහිනවල පරිද්දෙන් නව සාමාජිකයන් එක් වීමද සිදු නොවේ.

කෙසේ වුවද, මොවුන්ගේ මේ සිහින ලෝකයන් බැලීමේ උගුලට හසු වූවන්ද ඇති තරම් සොයා ගත හැකිය. ඔවුන් විසින් ජනතාව ගොනාට අන්දවා ලබා ගත් මුදල්වලින් යම් යම් සමාජ සත්කාර වැඩසටහන් සංවිධානය කරනු ලබන්නේ කප්රුක් පූජාවන් වැනි ආගමික වැඩසටහන් වලට මුවා වෙමිනි.
සමාගම් මැඳුරේ පීවී 121128 අංකය යටතේ මෙම ආයතනය ලියාපදිංචි කර ඇති අතර, මොවුන් නීතියෙන් රිංගා යාමට එම ලියාපදිංචිය උපයෝගී කර ගනී. එම ලියාපදිංචිය ලබා දී ඇත්තේ, ව්‍යාපාර කිරීමට මිස පිරමිිඩ ආකාර මුදල් ජාවාරම් කිරීමට නොවේ. සාමාජිකත්වය ගැනීම සඳහා මුදල් අය කිරීම් පමණක් සිදු කිරීම පිරමීඩ ජාවාරම බවට හඳුන්වන නිසා සුළු වටිනාකමක් ඇති භාණ්ඩයක් නාමමාත්‍රිකව ලබා දී එය අභ්‍යන්තරයේ පිරමීඩය ක්‍රියාත්මක වන නිසා කිිසිවෙකුටත් මෙය බැලු බැල්මට එවැන්නක් බව පෙනෙන්නේ නැත.

මුදල් යනු වර්තමාන ලෝකයේ වැදගත්ම සාධකයකි. සියල්ලටම මිලක් නියම වී ඇත. එහෙත්, අද රටේ සිටින්නේ ඉතා අමාරුවෙන් ජීවිතය ගැට ගසා ගැනීමට උත්සාහ දරන බහුතරයකි. ඔවුන් සියල්ලන්ටම ජීවිතයේ අහිංසක සිහින

රැසක් ඇත. එහෙත්, ඒවා සිිහින බවට පමණක්ම පත්ව තිබෙන්නේ පවතින සමාජ ආර්ථීක යථාර්ථය නිසාය. ඉතිහාසයේ දඩුවම් මුදලාලිලා ඇතුළු දහසකුත් එකක් ජාවාරම්කරුවන්ගේ උගුල්වලට හසු වූයේ ඒ අහිංසක ජනතාවගේ අහිංසක සිහිනයන්ය.

වර්තමානය වන විට ලංකාව තුළ පිරමීඩාකාර මුදල් ජාවාරම් නතර කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සකස් කර ඇත. 1988 අංක 30 දරන බැංකු පනත තුළ මේ සඳහා විධිවිධාන ඇතත්, මහ බැංකුව විසින් පිරමීඩාකාර ජාවාරම්වලට සම්බන්ධ නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් කරමින්, දැන්වීම් පළ කිරීමෙන් ඔබ්බට ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු කරනු මේ වන තෙක් දක්නට නොලැබේ. මෙය අතිශය ඛේදජනක තත්ත්වයකි. මෙම තත්ත්වය හමුවේ මෙවැනි ජාවාරම්කරුවන් බඩපිනුම් ගසමින්, ජනතාව තව තවත් ගොනාට ඇන්දවීමට උත්සුක වෙති. තමන් බලයට පත්ව ජනතාවගේ සිහින බොල් සිහින බවට පත් කරන මේ ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නැගීම යහපාලනය ස්ථාපිත කර නීතියේ ආධිපත්‍යය පිහිටුවන්නට ආ වර්තමාන යහපාලන ආණ්ඩුවේ වගකීමක් නොවේද?

චතුර දිසානායක

Top