වර්ෂ 2016 ඔක්තෝබර් මස 23 වැනිදා “දේශය” පුවත් පතේ මුල් පිටුවේ සංජීවිකා සමරතුංග විසින් ලියන ලද “විද්වතුන්ගේ පාර්ලිමේන්තුවක්”මැයෙන් වූ ලිපියට අනුව “මහජන රාජ්‍ය සභාව”නම් වූ විකල්ප පාර්ලිමේන්තුවකට අදාල නිල ප්‍රකාශය 2016 ඔක්තෝබර් මස 25 වැනිදා උදෑසන 9.00 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලීය ශ්‍රවණාගාරයේදී එළි දැක්වෙන බව දක්වා තිබිණ.
පටු ජාතිවාදයෙන් තොරව, ජාතිකවාදී අරමුණු ඔස්සේ රජය සහ විවිධ දේශපාලන පක්ෂ ගනු ලබන තීරණවලට විකල්ප ඉදිරිපත් කරමින් බලපෑම් කිරීමත් ඒ සදහා ජනතාව සංවිධානය කිරීමත්, මහජනතාව දැනුවත් කරන බවත් එහි ප්‍රධාන සංවිධායකවරයෙකු වන ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් අල්විස් මහතා අදහස් දක්වා තිබුණි. එමෙන්ම කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන්ගේ උපදේශකත්වයෙන් රැස්වන මෙම “මහජන රාජ්‍ය සභාව”නමින් වූ විකල්ප පාර්ලිමේන්තුව අදහස් කරන බවද එහි දක්වා තිබුණි.
ජාතිකත්වය මත ඉතිහාසය, වර්තමානය සහ අනාගතය ගැළපීම
වර්ෂ 1815 දී උඩරට ගිවිසුම මගින් බ්‍රිතාන්‍යයන් සමස්ථ දිවයිනම නීතියෙන් ග්‍රහණයට ගනු ලැබීය. එතැන් පටන් මෙ රට ජනතාව ක්‍රමක්‍රමයෙන් බටහිර සිරිත් විරිත් සහ ඉංග්‍රීසි නීතිය අනුව සිය ජීවිත හැඩගස්සා ගනු ලැබීය. පෙරිදිග චින්තනයෙන් පෝෂිත වූ දේශිය ජන විඥාණය බටහිර චින්තනය විසින් ග්‍රහණයට ගෙන බටහිර චින්තනය අනුව දිවි ගෙවන සහ බටහිර දැණුම අනුකරණය කරන සමාජයක් බවට ලාංකීය සමාජය රූපාන්තරණය කරගනු ලැබීය.
මෙහි ප්‍රතිඵලය වූයේ මෙරට ජනතාව සිය ආහාර තමන් විසින් නිපදවා ගන්නවා වෙනුවට වෙනත් රටවලින් ආහාර ගෙන්වා ගන්නා තත්ත්වය තහවුරු කරගනු ලැබීමයි. බටහිර චින්තනය මෙරටට කාවද්දන පිරිස කෘෂිකාර්මික කටයුතු කළ පුද්ගලයන්ගේ අභිමානය අහිමි කළ අතර ගොවිතැනේ නියළුන වැඩිහිටියන්ගේ දරුවන් තවදුරටත් ගොවිතැනේ නියළී සිටීම අභිමානය කෙළෙසාගන්නා තත්ත්වයක් බවට ඒත්තු ගන්නවනු ලැබීය.
යටත්විජිත පාලනය තුළ නිදහස් චින්තනය
පෘතුග්‍රීසීන් ගෙන් පසු ලංදේසීන්ද ඉන්පසු ඉංග්‍රීසීන් විසින්ද ලංකාව යටත් කරගනු ලැබීය. ලංදේසීන් විසින් ලාංකිකයන් ( එවකට සිලෝන්/Ceylon) පාලනය කිරීම සදහා රෝම ලන්දේසි නීතිය හදුන්වා දුන් අතර ස්වදේශිකයන්ට ආගන්තුක වූ එම නීති ක්‍රමය බයිනෙත්තුවල බලය පෙන්වාබලහත්කාරයෙන් ස්වදේශිකයන් මත පටවනු ලැබීය. වර්ෂ 1815 දී කන්ද උඩරට ගිවිසුවෙන් පසු උඩරට පහතරට මුළු රට ම බ්‍රිතාන්‍යයේ කිරීටයට යටත් කරදීමට ජෝන් ඩොයිලි නම් විද්වත් ඔත්තුකරුට හැකි විය. ලංදේසීන්ගේ රෝම ලන්දේසි නීතිය සමග ඉංග්‍රීසි නීතියද යොදා ගනිමින් බ්‍රිතාන්‍යන් විසින්1972 වර්ෂය දක්වාම ලංකාව පාලනය කරන ලදී .
බටහිර චින්තනය මිස පෙරදිග චින්තනය ලාංකිකයන්ගේ මනස්වල දලුලා ලියලීමට රෝම ලන්දේසි නීතිය සමග ඉංග්‍රීසි නීතිය යොදා රට පාලනය කරන මෙරට සිටින ප්‍රධාන නීතී කණ්ඩායම් කිසිවිට අවස්ථාව හෝ අවසරය දෙනු නො ලැබීය. මෙහි ප්‍රතිඵලය වූයේ ලංකාව දේශපාලනික සමාජමය සංස්කෘතිකමය, ආර්ථිකමය සහ අධ්‍යාපනමය වශයෙන් පරාධීන රටක් බවට පත් වීමයි.
නීතියේ හස්තයට යම් රටක් හසු කරගත් විට ඒ රට ට කිසිදා නිදහස (Freedom) අත් නොවේ. වර්ෂ 1948 දී බ්‍රිතාන්‍යයන් ලංකාවට නිදහස ලබා දුන්නද , වර්ෂ 1972 දී ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම මිදුණද බ්‍රිතාන්‍යයන් හදුන්වාදුන් නීතිය රට ට සහ ජනතාව ට ගැලපෙන ආකාරයට යොදා ගැනීම මේ දක්වා සිදචු නො වීය.එහි ප්‍රතිඵලය වූයේ ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) කථාවේ එන සිලිදුලා, බබුන් ලා , පුංචි මැණිකෙලා , පුංචිරාළලා , හින්නිහාමිලා, ප්‍රනාන්දුලා , බබෝහාමිලා , මහේස්ත්‍රාත්ලා, අරච්චිලා, පෙරකදෝරුවන්ලා , රටේ මහත්තයාලා වර්තමානයේ ද අඩු නැතිව රටේ විසිරී සිටීම ය .
ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමය සහ වර්තමානයේ දක්නට ඇති එක් වෙනසක් ඇත. එනම් ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ ලංකාව සෘජුවම බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කිරීමත් අද බ්‍රිතාන්‍යයේ නියෝජිතයන් ලෙස සිංහල සහ දෙමළ පුරවැසියන් විසින් ලංකාව පාලනය කිරීමත් සිදුවෙයි.
වර්ෂ 1948 දී සහ වර්ෂ 1972 දී ලංකාව යටත්විජිත භාවයෙන් නිදහස් කරගත් බවට පාලකයන් විසින් පුරසාරම් දෙඩූවත් වර්තමානයේ දී පාවා අධිකරණ කටයුතු සහ පරිපාලන කටයුතු සිදුකරන්නේ ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ පැවති ආකාරයටම ය. එනම් ලංකාවේ ඉහළම අධිකරණ නඩු විභාග කරන අධිකරණ භාෂාව නඩුවේ පාර්ශවකරුවන් නො දනිති . වර්තමානයේ පවා ලංකාවේ ඉහළම අධිකරණ වන වාණිජ මහාධිකරණය , පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය , අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු විභාග කරන්නේ එදා ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ පැවති අධිකරණ ක්‍රමයටම ය .
විධායක , ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන පාලන ආයතන ත්‍රිත්වය හසුරුවනු ලබන පුද්ගලයන්ගේ නිදහස් සිතුවිලි එම රටේ නිදහසට උපරිම ශක්තියක් ඇති කරයි . ප්‍රංශය , ජර්මනිය , ජපානය , ඉතාලිය වැනි සංවර්ධිත රටවල පුරවැසියන් තමන්ගේ රටේ නිදහසේ මුදුන් මූලය අධිකරණ සහ නීති ක්‍රමය බව දනිති. අවබෝධ කර සිටිති.එම රටවල පුරවැසියන් විදේශීය රටවල නෛතික ප්‍රහාරවලින් ආරක්ෂා වී සිටින්නේ නිවහල් නීති ක්‍රමයන් හදුනාගෙන ඒවා නිසි පරිදි රටේ ආරක්ෂාවට උපයෝගී කරගන්නා හෙයිනි. එම රටවල් විදේශීය රටවල නෛතික ප්‍රහාරයෙන් තම රටේ ජනතාව නෛතිකව ආරක්ෂා කරගනු ලැබුවද ලංකාවේ එසේ නො වේ.
ලංකාවේ නීති සහ අධිකරණ පද්ධතිය මෙහෙයවන්නේ බ්‍රිතාන්‍ය (ලන්ඩන් ) නීතිවේදීන්‍ය. බ්‍රිතාන්‍ය ( ලන්ඩන්)එල් එල් එම් LLM සහ ආචාර්ය PHD උපාධි ගත් නීතීඥවරැ විසිනි. ඔවුන් ලංකාවේ අධිකරණවල ඒකාධිකාරය දරයි. විධායකයේ ධූර දැරෑ ප්‍රේමදාස, චන්ද්‍රිකා , මහින්ද යන ජනාධිපතිවරැන්ට නිදහස් අධිකරණ ක්‍රමයක් ලංකාවේ ස්ථාපනය කිරීමට අවස්ථාව නො ලැබුණේ ඉහත බ්‍රිතාන්‍ය (ලන්ඩන්) නීතිවේදීන්ගේ පවතින නීති ඒකාධිකාරයයි.වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සාර්ථකත්වය රදා පවතිනු ඇත්තේ ද බ්‍රිතාන්‍ය (ලන්ඩන් ) නීතිවේදීන් විසින් මෙරට අධිකරණය පාලනය කරන ඒකාධිපති ක්‍රියාන්විතය හදුනාගෙන එය පාලනය කිරීමට දක්වන එඩිතරභාවය මතය.
බ්‍රිතාන්‍ය (ලන්ඩන් ) නීතිවේදීන්ගේ ගහණය/ සංඛ්‍යාව වැඩි කිරීමේ මෙහෙයුම සිදු කරන්නේ කවුද යන්න විමසීම මෙහිදී වැදගත් වෙයි. විදේශීය නීති අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන නීතීඥවරැ මෙහිදී කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කරයි. විදේශිය නීතී අධ්‍යාපන ආයතනය හරහා සමාජයේ ඉහළ තරාතිරම්වල පවුල්වල දරැවන් බ්‍රිතාන්‍ය (ලන්ඩන් ) නීතිවේදීන් බවට සුදුසුකම් ලබා දීම මේ මෙහෙයුමයි.ලංකාවේ අධිකරණවල විනිසුරැන්ගේ සහ නීතීඥවරැන්ගේ සහ දේශපාලකයන්ගේ දරැවන්ට ඉතා පහසුවෙන් බ්‍රිතාන්‍ය (ලන්ඩන්) නීතිවේදියකු බවට පත් විය හැකිය. අනාගතයේ රට පාලනය කිරීමට අවස්ථාව ඇතැයි කියන දේශපාලකයන්ගේ දරැවන් බ්‍රිතාන්‍ය (ලන්ඩන්) නීතිවේදියකු කරනු ලබන්නේ මේ මෙහෙයුමේ ප්‍රතිඵලයකිනි. මෙහි අවසන් ඉලක්කය ලංකාව සහ එහි පුරවැසියන් දිගුකාලීනව යටත් විජිත වහල්භාවයේ ම තබා ගැනීමයි.
ලෙනාර්ඩ් වුල්ෆ් ගේ The Village In The Jungle (බැද්දේගම ) ලියන සමයේ පැවති අධිකරණ ක්‍රමයට හසුවූ සිලිදුලා, බබුන් ලා , පුංචි මැණිකෙලා , පුංචිරාළලා , හින්නිහාමිලා, ප්‍රනාන්දුලා , බබෝහාමිලා , මහේස්ත්‍රාත්ලා ,අරච්චිලා , පෙරකදෝරුවන්ලා , රටේ මහත්තයාලාගෙන් තොර සංවර්ධනය වූ නිවහල් ලංකාවක් වෙනුවෙන් සිහින දකින පුරවැසියන් වහා ක්‍රියාකාරී වී නෛතික නිදහස ලබා ගැනීම සදහා වූ අරලගලයක නියලිය යුත්තේ රටේ නිදහස අධිකරණයේ සහ නීතියේ නිදහස බැවිනි. මහාවංශය ඉංග්‍රීසියට පරිවර්ථනය කිරීමට උත්සාහ කරන දේශපාලකයන් රටේ පවතින නීති සිංහලට පරිවර්ථනය නො කරයි. ලංකාවේ පවතින නීති සිංහලට පරිවර්ථනය කළ යුතු බව දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23.4 ව්‍යවස්ථාව මේ දක්වා ක්‍රියාත්මක කර නො තිබීම සම්බන්ධව පුරවැසියන් අවධානය යෙමු කළ යුතුය. නොඑසේ නම් ජාත්‍යන්තර නීතිය නම් ආයුධයෙන් ලංකාවත් ,රණවිරැවන්ද තවතවත් සිරවෙනු ඇත.
දෙවන ලෝක යුද්ධයේ නියමුවන් වූ ජර්මනියත් ජපානයත් යළි පන්නරය වූයේ තමන්ගේ නිවහල් නීති පද්ධතිය හේතුවෙනි. ජර්මනියත් ජපානයේත් බ්‍රිතාන්‍ය (ලන්ඩන් ) නීතිවේදීන් ක්‍රියාත්මක වූයේ නම් එම රටවල් දෙකට වන විපත්තිය පුදුමවනු ඇත. නමුත් වාසනාවට ජර්මනියේ සහ ජපානයේ බ්‍රිතාන්‍ය (ලන්ඩන්) නීතිවේදීන් ක්‍රියාත්මක නොවූ හෙයින් එම රටවල් අදත් අදීනව නැගී සිටී. ලංකාවද එය වහා තේරුම් ගත යුතුය. බ්‍රිතාන්‍ය (ලන්ඩන්)නීතිවේදීන්ගෙන් ලංකාවේ අධිකරණ පද්ධතිය බේරා නො ගතහොත් යුධ විරුවන්ට නිදහස නො ලැබෙනු ඇතිවා මෙන්ම දීර්ඝ කාලීන අනතුරකට ද ලංකාව පත් වනු ඇත .
තවත් උදාහරණ
වර්ෂ 1815 ඉංග්‍රීසීන්ට රට යටත් කරදීමෙන් පසු පෙරදිග නිදහස් චින්තනයක් මෙරට උපන් පුරවැසියන් වෙතින් බැහැර වූ බව විදහා දක්වන ප්‍රබල සාක්ෂි 2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම,පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27(iii) වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” විධිවිධාන ඔස්සේ පෙන්නුම් කෙරිණි.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත් කෙටුම්පත 2016.08.11 වැනි දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරගෙන ඇති අතර එහෙත් එකී පනත් කෙටුම්පතට අදාල 27.(iii) වගන්තියේ දැක්වෙන “බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමෙන් ආරක්ෂා කිරීම සදහා වූ ජාත්‍යන්තර සම්මුතිය” ගැසට් පත්‍රයේ පළකිරීමක් හෝ පනත් කෙටුම්පතේ උපලේඛනයක් ලෙස ඇතුළත් කිරීමක් හෝ ගරුපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සිදු කර නැති වුවද, එකී පනත් කෙටුම්පතට ගරුකථානායකවරයා විසින් සිය අත්සන තැබීමෙන් පසු “ජාත්‍යන්තර සම්මුතියේ”ප්‍රතිපාදන රටේ වලංගු නීතියක් බවටද 2016.08.23 දින සිට පත් කරගෙන ඇත.
ඒකාබද්ධ විපක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ හෙළ උරුමය මන්ත්‍රීවරුන් කිසිවකු මේ “ජාත්‍යන්තර සම්මුතියේ” කුමක් සදහන් වේද යන්න පිළිබද නිසි අවබෝධයකින් තොරව එය පිළිගෙන නීතියට ඇතුළත් කර තිබීම ජනතාවගේ අවාසනාව විය.
පාර්ලිමේන්තුවේ සිටින ජනතාවගේ නියෝජිතයන් තමන්ගේ වගකීම පිළිබද නිසි අවබෝධයෙන් තොරව කටයුතු කිරීම හේතුවෙන් අපි නොදන්නා, අප දැක නැති “ජාත්‍යන්තර සම්මුතියක්” නීති ගත වන අකාරය දුකසේ බලා සිටීමට ජනතාවට සිදු විය. “වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව” නිතර සිහිවන්නේ එහෙයිනි.
මේ අවස්ථානුගත තත්ත්වයන් යටතේ “මහජන රාජ්‍ය සභාව”හමුවේ ඇති අභියෝග සුළුවෙන් තැකිය නොහැකි ය. ඒ අර්ථයෙන් ගත් විට පවා මහජන රාජ්‍ය සභාව කාලීන අවශ්‍යතාවයක් වෙයි.
සමාප්තිය
මෙම කරුණු සියල්ලෙන් පැහැදිලි වන්නේ 1815 දී අපෙන් උදුරාගත් ඒ නිදහස මෙතෙක් රටේ ජනතාවට හිමි වී නැති බවත් සමාජයේ සිටින සුළු පිරිසක් විසින් ජනතාව රවටන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ පාලන ක්‍රමයක නියළී සිටින බවත් ය.
එවන් සමාජ පරිසරයක උපත ලබන “මහජන රාජ්‍ය සභාව” ජාතියේ නිදහසේ මිණි පහණ වෙමින් නිදහස් ආලෝකය රට පුරා විහිදුවන්නේ නම් නිදහස් සිතුවිලි වලින් පෝෂිත පෙරදිග චින්තනයෙන් බලවන්ත වන ජනතාව විසින් මහජන රාජ්‍ය සභාව සෙනෙහසෙන් වැළද ගෙන ජාතියේ නිදහස වෙනුවෙන් ජයග්‍රාහී පෙර ගමන අරඹනු ඇත.
විජාතිකත්වය දෝරේ ගලා යන ලාංකීය සමාජය මගින් එල්ල කරන ප්‍රතිරෝධය මැඩලීමට“මහජන රාජ්‍ය සභාව” ට හැකි වන්නේද යන්න එහි පෙරගමන්කරුවන්ගේ ජාතිකත්ව භාවිතාවය සාක්ෂි දරනු ඇත.
නීතීඥ උණවටුන කේ. අරුණ ලක්සිරි
B.Sc(Col),PGDC(Col)
2016.10.24