ලෝකයා

අකිල දයාසිරි ජෝඩුව අතිනත ගනී- කපුවා මෛත්‍රී

අවුරුදු ගණනක සිට පැවති දයාසිරි අකිල වෛරය සහ ගැටුම අවසන් කර දැමීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමත් වෙයි.කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ඊයේ ( 04) පැවති වාර්ෂික ත්‍යාග ප්‍රධානොත්සවයට ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකරටත් අධ්‍යාපන ඇමති අකිල කාරියවසම් මහතාටත් ආරාධනා කර තිබුණි. ප්‍රධාන ආරාධිතයා වුයේ ජනාධිපතිතුමන්ය.

වෙනදා මෙන් එකිනෙකා වෙන වෙනම උත්සව අවස්ථාවට සහභාගී වීමට එනවිට ජනාධිපතිතුමා අකිලටත් දයාසිරිටත් කතාකොට තමාගේ වාහනයට නගින මෙන් ආරාධනා කළේය. බොහෝ කාලයක සිට මුහුණට මුහුණ කතා නොකළ දයාසිරි අකිල දෙපල සිනාමුසු මුහුණින් ජනාධිපතිවරයාගේ වාහනයට ගොඩවිය. කුරුණෑගල ජනතාවගේ ඇස් පුදුම කරවමින් ජනාධිපති ප්‍රමුඛ අකිල දයාසිරි ජෝඩුව අත්වැල් බැඳගනිමින් කුරුණෑගල මලියදේව බාලිකාවේ උත්සව සභාවට අවතීර්ණ විය.

සභාවේ අසුන්ගන්නාවිට ජනාධිපති පැවසුයේ මම මෙහෙම කරේ මේ දෙන්නව එකතු කරන්න. බොරු දේවල් වලට මොකටද මේ සහෝදරයෝ තරහ වෙලා ඉන්නේ යනුවෙනි.

එහිදී අකිල අමාත්‍යතුමා තමාගේ කතාවේදී අපේ ක්‍රීඩා අමාත්‍යතුමා යනුවෙන් ආමන්ත්‍රණය කිරීමද පිටව යද්දී දෙදෙනාම උකුළු මුකුළු කරමින් පිටවීයාමද රැස්ව සිටි ජනතාවගේ පුදුමයට හේතුවිය.

කුරුණෑගල ඉතිහාසයේ පැවති දයාසිරි අකිල ගැටුම මෙසේ නිමාවට පත්වෙද්දී මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ එහෙනම් අද ඉඳන් දයාසිරිටත් දෙයියන්ගේම පිහිටයි යනුවෙන් පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

මහින්දානන්දගේ ප්‍රකාශයට විරුද්ධව අකිල පවසා ඇත්තේ හරි හරි ඒක අපේ වැඩක් අපි ඒක බලාගන්නම් යනුවෙනි. එයට එක්වූ දයාසිරි ඇමැතිවරයාද මහින්දානන්ද මන්ත්‍රීවරයාට ඔබතුමා ලස්සනට කතා නිර්මාණය කරන්න දන්නවනේ. නමුත් ඉදිරියට අපි දෙන්නා ක්‍රීඩාව සහ අධ්‍යාපනය එකට කරගෙන යන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරලා සමගියෙන් ඒ වැඩ කටයුතු කරගෙන යනවා යැයි පවසා ඇත.

Top