Breaking
24 Feb 2025, Mon

අගමැතිකම පික්පොකට් ගහපු මිනිහෙක් නීතිය බල්ලට දාන එක පුදුමයක් නොවෙයි

මේ රටේ ජනාධිපති කවුද කියන එක ගැන දැන් කිසිවකුටවත් සැකයක් තියෙන්න බැහැ. නාවික හමුදාපති එය ඔප්පු කර අවසන්. ඔහු තමාගේ ම ප්‍රශ්නයක් පිළිබඳ ව විමර්ෂණයක් කරලා ඒකෙ වාර්තාවත් බාර දීලා. ඒක බොහොම කාර්යක්‍ෂම ව කරලා. වාර්තාවෙ තියෙන්න මොනවද කියලා අහලා වැඩක් නැහැ. හොරාගෙ අම්මගෙන් පේන ඇහුවෙ ඉස්සර. දැන් පේන අහන්නෙ නැහැ. අංජනම් එළි බලන්නෙත් නැහැ. ඒවා මිථ්‍යා මත කියලා පඬියන් කියාවි. දැන් කරන්නෙ වාර්තා ඉල්ලන එක හා ඇතැම්විට වාර්තා සපයන එක. ඇතැම්විට කියලා කිව්වෙ සමහර වාර්තා කවදාවත් ලියන්නෙ නැති නිසා. පොලිෂ්පති ගැන වාර්තාවට මොකද වුනේ. වාර්තා ඉල්ලන්නෙත් සපයන්නෙත් හොරු හා කම්බ හොරු.

හම්බන්තොට වරාය ගැන ප්‍රශ්න රාශියක් මතු වුනත් නියම ප්‍රශ්නය තවම කවුරුවත් හරියට අතට අරගෙන නැහැ. ඒ අක්කර පහළොස්දාහක පමණ ඉඩම් ප්‍රමාණයක් හා මුහුද යම්කිසි කොටසක් චීන සමාගමකට අවුරුදු අවුරුදු එකසිය අනූඅටකට බදු දීම. ඒකාබද්ධ විපක්‍ෂය මාධ්‍ය සන්දර්ශන පවත්වනවා මිසක් ප්‍රධාන ප්‍රශ්න ඉස්මතු කරගෙන වැඩ කරන්නෙ නැහැ. හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීම වැළැක්වීමට ඒකාබද්ධ විපක්‍ෂය මොකක් ද කරන්නෙ? මේ විධියට ගියොත් අවසානයේ දී ව්‍යවස්ථාවත් සම්මත කරලා රට දෙකඩ කිරීමට සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවාවි. ඒකාබද්ධ විපක්‍ෂයෙත් පැකේජ් කාරයන් සිටින බව අමතක කරන්න බැහැ. ඒ සමහරු ඇමතිකම් හොයාගෙන යමපාලන නායකයන් ළඟට දුවගෙන ගිය අය. ජනවාරි අටවැනි දා මහින්ද පැරදුනාට පස්සෙ මේ සමහරු මාස කිහිපයක් යනකන් මහින්දගෙ දුරකථන ඇමතුමකටවත් උත්තර දුන්නෙ නැති අය.

රනිල් තමන්ට ඕනෙ විධියට වැඩ කරගෙන යනවා. ඔහු පා නගන්නෙ තවත් භීෂණ යුගයකට. හම්බන්තොට වරාය පෙරහුරුවක් පමණයි. රනිල් ජේ ආර්ටත් ප්‍රේමදාසටත් වඩා භීෂකයකු වේවි. එය වළක්වන්න ඒකාබද්ධ විපක්‍ෂය වැඩ කළෙ නැත්නම් අන්තිමේ දි ඒකාබද්ධ විපක්‍ෂය නැත්තට ම නැති වෙන්න පුළුවන්. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරු බලාපොරොත්තු තියා ගන්න ඕන නැහැ. විසිපස් වතාවකටත් වැඩිය පරාද වීමෙන් පසුවත් රනිල් එ ජා පක්‍ෂයේ නායකත්වය අතහැරියෙ නැහැ. රනිල් බලයට පත්වුනෙ ජාත්‍යන්තරවාදයෙ අවශ්‍යතාවට. මෛත්‍රිපාලට අවශ්‍ය නම් රනිල් නවත්වන්න පුළුවන්. ඒත් ඔහුට එසේ කිරීමට හැකි ද? රාජපක්‍ෂලා සමග ඇති පෞද්ගලික කෝන්තර පිරිමහා ගන්න රට පාවාදෙන්න මෛත්‍රිපාල කටයුතු කරනවා ද? මෛත්‍රිපාල හම්බන්තොට සිද්ධිය ගැන නිහඬ ඇයි?

රනිල්ලා හම්බන්තොට වරාය ගැන කිවුවෙ නැව් එන්නෙ නැති වරායක් හැටියට. ඒත් වරාය සේවකයන් නැව් දෙකක් කොල්ල කෑවලු. එන්නෙ නැති නැව් කොල්ල කෑම ගැන වරාය සේවකයන්ට තෑගි දෙන්න ඕන. සූර වීර නාවික හමුදාපති ඒ නැව් දෙක නිදහස් කළාට පස්සෙ තවත් නැව් හම්බන්තොට වරායට ඇවිල්ල. ඒවා සුදු නැව් ද දන්නෙ නැහැ. වරාය සුදු අලියෙක් කියලා කියන නිසයි මා එහෙම කියන්නෙ. කොහොමත් ඉංගිරිිසියෙන් සුදු බොරු කියලා ව්‍යවහාරයක් තියෙනවා. වරායට ආපු නැව් දෙකක් කොල්ල කැව කියලා රනිල් හා පිරිස ලොකු ගෝසාවක් කළා. ඕනම බෞද්ධයෙක් දන්නව චේතනාව ගැන. බොහෝ අය චෙතනාව කර්මය කියන කතාව අහලා තියෙනවා. රනිල් නීතිඥයකු නිසා චෙතනාන්විත කියන නෛතික ප්‍රකාශයත් අහලා ඇති. දැන් ප්‍රශ්නය වරාය සේවකයන්ගෙ චේතනාව කුමක් ද කියන එක. කොල්ල කෑමට චේතනාවක් තිබුණ ද?

රනිල් ජාත්‍යන්තර නීති ගැන කියවනවා. මුහුදු කොල්ල කෑම ගැන ජාත්‍යන්තර නීතිය රනිල් දන්නව වෙන්න ඇති. රනිල් ලංකාවෙ නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්නෙ නැහැ කියලා හිතන්න බැහැ. ඒත් ඔහු අවශ්‍ය වුනා ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බල්ලට දාලා වැඩ කරනවා. ඔහු 2015 ජනවාරි 9 වැනි දා අගමැති වුනෙ ව්‍යවස්ථාවට පිටින් ගිහිල්ල. ඒ වෙලාවෙ දි මු ජයරත්න අගමැති. ඔහු අස්වෙලා තිබුනෙවත් අස්කරලා තිබුනෙවත් නැහැ. ඒත් මෛත්‍රිපාල ජනාධිපතිි වෙලා විනාඩි දෙක තුනක් ඇතුළත රනිල් අගමැති ලෙස දිවුරුම් දුන්න. එහෙම අගමැති වෙච්ච මිනිහෙක්, අගමැතිකම පික්පොකට් ගහපු මිනිහෙත් නීතිය බල්ලට දාන එක පුදුමයක් නොවෙයි. ඒ වගේ ම මෛත්‍රීපාල වැනි දුර්වලයකුට ඒ ගැන මොකුත් කරන්න බැරි එකත් පුදුමයක් නොවෙයි.

ජාත්‍යන්තර නීති ගැන කතාකරන රනිල් නාවික හමුදාපතිට කොල්ල කෑව කියන නැව් නිදහස් කරගන්න අණ දුන්නෙ කොහොම ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායක ජනාධිපති මිස අගමැති නොවෙයි. නාවික හමුදාපතිට අණ දෙන්න ඕන ජනාධිපති මිසක් අගමැති නොවෙයි. අනෙක් අතට නාවික හමූදාපති අණ ලබාගන්න ඕන ජනාධිපතිගෙන් මිසක් අගමැතිගෙන් නො වෙයි. රනිල්ට අණ දෙන්නවත් නාවික හමුදාපතිට රනිල්ගෙ අණ පිළිපදින්නවත් නීතියෙන් කිසිම ඉඩක් නැහැ. මෛත්‍රිපාල මේව ගැන මුනිවත රකින්නෙ ඔහු මුනිවරයකු නිසා නො වෙයි. අර නාවික හමුදාපතිගෙ වාර්තාව පිළියෙළ කෙළෙත් ඒක පිළිගත්තෙත් කිසිම නීතියකට එකඟ ව නො වෙයි.

මේ සියල්ල භයානක පෙර නිමිති. ඉදිරි කාලයෙදි රනිල්ගෙ අණ අනුව හමුදාව ක්‍රියාත්මක වේවි. රනිල් නීතිය නවන්න නොවෙයි කඩන්න බය කෙනෙක් නො වෙයි. ඔහු අගමැති වුනෙ ම නීතිය කඩලා. රනිල්ව දැම්ම නැවැත්තුවෙ නැත්තන් ඔහු ඒකාබද්ධ විපක්‍ෂය නැත්තට ම නැති කරාවි.

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 17

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.