Breaking
23 Feb 2025, Sun

අගොස්තු 17 වැනිදා පරාජයට පත්වන බව බටහිරයෝ ද ඉන්දීයයෝ ද දනිති

මෛත්‍රිපාල සිරිසේන විසින් කරන ලද විශේෂ ප්‍රකාශයෙහි කරුණු කිහිපයක් අඩංගු විණි. ඔහු මහින්ද රාජපක්‍ෂට අගමැති කම නොදෙන බව කීවේ ය. තමා මහින්ද රාජපක්‍ෂට ජනවාරි 8 වැනි දාට පෙර තිබූ විරුද්ධත්වය එසේ ම පවතින බව ප්‍රකාශ කෙළේ ය. ශ්‍රී ල නි ප (සංධානය) ජයග්‍රහණය කළහොත් අගමැතිකම දීමට පක්‍ෂයේ ජ්‍යෙෂ්ටයන් සිටින බව කීවේ ය. තමා මහින්ද රාජපක්‍ෂට අගමැති අපේක්‍ෂකත්වයවත් කණ්ඩායමේ නායකත්වයවත් දී නැති බව එකහෙළා කියා සිටියේ ය. තමා ජනවාරි 8 වැනි දා ජයග්‍රහණය ඉදිරියට ගෙන යෑමට බැඳී සිටින බව කීවේ ය. මහින්ද රාජපක්‍ෂට සංධානයෙන් තරග කිරීමට ඉඩ දුන්නේ සංධාන නායකයන් සියයට සියයක් ම එසේ කරන ලෙස ඉල්ලා සිටි නිසාත්, ශ්‍රී ල නි පක්‍ෂයේ සියයට අනුනවයක් ම ඉල්ලා සිටි නිසාත් යැයි කීවේ ය. එහෙත් තමා මහින්දට විරුද්ධ බවත් ජනවාරි 8 වැනි දා මෙන් ම මැතිවරණයේ දී ද මහින්ද රාජපක්‍ෂ පරදින බවත් කීවේ ය.

ඒ ඉතා පැහැදිලිව ම ද්වේශ සහගත ප්‍රකාශයක් විය. පක්‍ෂයේ සභාපති පක්‍ෂයෙන් තරග කරන අපේක්‍ෂකයකු අරභයා එවැනි ප්‍රකාශයක් මින් පෙර කිසිම සභාපතිවරයකු කර ඇතැයි සිතිය නො හැකි ය. මේ ප්‍රකාශය විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදි කරන ලද්දක් බව පැහැදිලි ය. එහෙත් ඒ ප්‍රකාශයෙහි පෞද්ගලික විරුද්ධතාව ද වෙයි. අද විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂගේ දේශපාලන ජීවිතය අවසන් කිරීම ය. හැකිනම් පෞද්ගලික ජීවිතය ද අවසන් කිරීම ය. විශේෂයෙන් ම බටහිරයෝ තමන්ට අවනත නොවන ජාතික දේශපාලන නායකයන් පරළොව යැවීමට කටයුතු කරති. පසුගිය කාලයේ අරාබි රටවල අපි ඒ බව අත් දුටුවෙමු.

ජනවාරි 8 වැනි දා මෙරට තාවකාලික ප්‍රතිවිප්ලවයක් ඇතිවිණි. එදින රටේ ජාතිකත්වය පික්පොකට් සොර මුළක් විසින් ගසා කන ලදී. එහි දී බටහිරයෝ හා ඉන්දීයයෝ රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන යොදා ගත්හ. මෛත්‍රිපාල අලිබබා විය. රනිල් හා එ ජා ප මන්ත්‍රීවරු හොරු හතළිහ වූහ. රනිල් වික්‍රමසිංහ දන්නා විප්ලවයක් නැත. ඔහු රට ජාතික මගින් ඉවතට දැමූ ප්‍රතිවිප්ලවය විප්ලවයක් ලෙස හඳුන්වයි. මේ ප්‍රතිවිප්ලවය අගොස්තු 17 වැනිදා පරාජයට පත්වන බව බටහිරයෝ ද ඉන්දීයයෝ ද දනිති. වෙන් ව තරග කිරීමට සිටි පක්‍ෂ කිහිපයක් එකතු වී අලියා ලකුණ යටතේ සංධානයක් පිහිටුවා ගත්තේ අගොස්තු 17 වැනි දා පරාජය බටහිරයන්ට හා ඉන්දියයන් හා අනෙක් විජාතික බලවේගවලට වැටහෙන බැවිනි.

අගොස්තු 17 වැනි දා පරාජය විසින් ම මෛත්‍රිපාලට තම පක්‍ෂයට විරුද්ධව ද්‍රෝහී ප්‍රකාශය කිරීමට බල කෙරී ඇත. මෛත්‍රිපාල (බටහිරයන්) එමගින් බලාපොරෙත්තු වූයේ සංධානයට ඡන්දය දීමට සිටින ඡන්දදායකයන් තැතිගන්වා ඔවුන් ඡන්දය දීමෙන් වළක්වාලීම ය. එය ඉතා සුළු ප්‍රමාණයකින් නාගරික ප්‍රදේශවල සාර්ථක වී ඇත. ඉංගිරිසින්ට සිංහල ගැමි මනස නො තේරෙයි. මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රකාශය නාගරික නොවන ප්‍රදේශවල සංධානයට වාසි සහගත වී ඇත. අගමැතිකම මහින්දට නොදෙන බව කීමෙන් සිරිසේන ගැමි ඡන්දදායකයන් සංධානය වෙතට තල්ලු කිරීමට සමත් වී ඇත. අද ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට ද වඩා සාමාන්‍ය ඡන්දදායකයන් කතා කරන්නේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂයෙන් නෙරපීම ගැන ය.

සෝලංගආරච්චි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් අධිකරණයට ගොස් ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට විරුද්ධව වාරණ නියෝගයක් ගැනීමෙන් සාමාන්‍ය ඡන්දදායකයන් තවත් සංධානය දෙසට ගමන් කරවා ඇත. මෛත්‍රිපාල කෙසේ නමුත් තම ශ්‍රී ල නි ප සභාපතිත්වය රැක ගැනීමට කටයුතු කරන බව එමගින් පැහැදිලි වී ඇත. අගමැති කමට කෑදර වී පක්‍ෂයට විරුද්ධව කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන අද පක්‍ෂ සභාපතිත්වය රැක ගැනීමට පක්‍ෂයට තව තවත් ද්‍රෝහි කම් කරයි. මහින්ද ගෙදර යැවීමට කතා කළ මෛත්‍රිපාල සිරිසේන ගෙදර යැවීමට අද ඡන්දදායකයෝ කතා කරති.

සංධානයට තුනෙන් දෙකක බහුතරයක් ලබා දී මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් ඡන්දදායකයන්ගේ බලාපොරොත්තුව ඉටු කළ හැකි ද යන්න අද සාකච්ඡා වෙමින් පවතියි. අගමැති කම යනු තමා යමකුට දෙන තෑග්ගක් නොවන බව මෛත්‍රිපාල සිරිසේන තේරුම් ගන්නේ කවදා ද? ඔහුට රිසි කෙනකුට අගමැති කම දිය හැකි නො වේ. විශේෂයෙන් ම සංධානයේ ජයග්‍රහණයකින් පසුව මෛත්‍රිපාලට තමන්ට රිසි ලෙස කටයුතු කිරීමට නොහැකි වනු ඇත. ප්‍රතිවිප්ලවය අවසන් වීමෙන් පසු මෛත්‍රිපාලට ගෙදර යෑමට සිදුවහොත් එය ඉතිහාසයේ දරුණු ම සරදමක් වනු ඇත.

මෛත්‍රිපාල මහින්ද එකතුව ගැන ප්‍රීතියෙන් කතාකළ සංධානයට පක්‍ෂ ඊනියා විචාරකයන් ගැන අපි අමුතුවෙන් කතා නො කරමු. ඇතැමුනට අනුව ඔවුන් එකතු කරනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ විසිනි. ඒ ඊනියා විග්‍රහ අති විශිෂ්ට විශේලේ’ෂණ ලෙස බොහෝ අය විසින් හැඳින්විණි. අපි ඔවුන් ගැන අනුකම්පා කරමු. එහෙත් ඊනියා මෛත්‍රිපාල මහින්ද එකතුවට මුල සිට ම විරුද්ධ වූ අප ඔවුන් විසින් හඳුන්වනු ලැබුයේ යටත්විජිතවාදීන් ලෙස ය!

නලින් ද සිල්වා

2015 ජූලි 15

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.