Featured

අතුරුදන් වූවන්ගේ කාර්යාලය විදේශ බලවේගයන් සතුටු කිරීමක්

අතුරුදන් වූවන්ගේ තොරතුරු සැපයීම සඳහා කාර්යාලයක්‌ පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී මහජන නියෝජිතයන්ගේ ඡන්ද විමසීමකින් තොරව ගාලගෝට්‌ටියක්‌ මැද සම්මත කර ගැනීම ඇතැම් විදේශ බලවේගයන් සතුටු කිරීමට රජය ගත් පියවරක්‌ යෑයි ශ්‍රී ලංකා රාමඤඤ මහා නිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති සද්ධර්ම වාගීශ්වර අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ නිවේදනයක්‌ නිකුත් කරමින් අවධාරණය කර සිටි.

ගැටඹේ නාහිමියෝ එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.

මෙවන් පනතක්‌ කඩිමුඩියේ සම්මත කර ගත්තේ බටහිර ජාතීන්ගේ ඕනෑ එපාකම් ඇමැතිවරුන් කීපදෙනෙකුගේ අවශ්‍යතා මත ඉටු කිරීමට බව පෙනී යයි. මෙවැනි ක්‍රියාවන් මගින් සිදුවන්නේ මෙරට ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීමට කැපවුණු අපේ රණවිරුවන් අවතක්‌සේරුවකට ලක්‌ කිරීම නොවේද?

යුද පිටියේදී මියගිය ත්‍රස්‌තවාදීහු ද අතුරුදන් වූවෝ වෙති. එම ත්‍රස්‌තවාදීන්ගේ ඥාතීන් මෙම කාර්යාලයට තොරතුරු සපයන විට ත්‍රස්‌තවාදීන් අහිංසකයන් ලෙස සලකනු නොඅනුමානය. එවිට ඇතිවන තත්ත්වය කුමක්‌ද?

මෙම පනත සම්මත කර ගැනීමෙන් ඇතැමුන් බලාපොරොත්තුවන්නේ ත්‍රස්‌තවාදය තුරන් කිරීමට අණ දුන් දේශපාලන නායකයන් සහ හමුදා නායකයන් දඩයම් කිරීමට බව පැහැදිලිය. මෙවැනි ක්‍රියාවන් ජාතියට ද්‍රෝහිවන ක්‍රියාවන් ලෙස සලකනවාට සැකයක්‌ නැත. මෙවන් අණ පනත් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට අවස්‌ථාව ලැබී තිබෙන්නේ ජාතිය පිළිබඳ හැඟීමක්‌, දර්ශනයක්‌ හා වගකීමක්‌ ඇති විරුද්ධ පක්‍ෂයක්‌ නොමැතිකම නිසා ය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තමන්ගේ පෞද්ගලික අභිප්‍රායයන් ඉටුකර ගැනීමේ අභිලාශයෙන් ක්‍රියා කරන ඇතැම් ඇමැතිවරුන්ගේ මතයට ඉඩ නොදෙනු ඇතැයි විශ්වාස කරමු.

Top