Breaking
24 Feb 2025, Mon

අද ඇත්තේ ඊනියා ජාතික ආණ්ඩුවක් නොව රනිල් සුමන්තිරන් ආණ්ඩුවක්…. රනිල් මෙන් ම මංගලත් ඉවත් කළ යුතුයි

මංගල කිනම් රටක විදේශ ඇමති ද යන ප්‍රශ්නය අසන්නට සිදුවෙලා. ජෙනිවාහි දී බටහිර රටවල් එකතු වී ලංකාවට විරුද්ධව ගෙන ආ රණවිරු දඩයම් යෝජනාවකට ඔහු අනුග්‍රහය දැක්වූවා. ඒ සඳහා ඔහුට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය තිබුණා ද? අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතියි. ජනාධිපති මංගලගේ අනුග්‍රහය ගැන දැන සිටියේ ද? ජනාධිපති ඒ පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. රනිල් හා මංගල එකතු වී මෛත්‍රිපාලට නොදන්වා මෙරට විදේශ ප්‍රතිපත්තිය සකස් කරනවා ද? කොහොමටත් මෛත්‍රිපාලට ජනාධිපති ලෙස තම වගකීමෙන් ගැලවෙන්න පුළුවන් ද?

දැන් මංගල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊනියා මානව හිමිකම් සංවිධානයේ සැසියට ලබන මාසයේ ගොස් ඒ යෝජනාව ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලන බව කියා තිබෙනවා. මංගල මේ ප්‍රකාශ කරන්නේ ජනාධිපතිගේ අනුමැතියෙන් ද?

තම පාසලේ උසස් පෙළ පංතියක ඉගෙන ගත් බවට ආරංචියක් නැති උසස් අධ්‍යාපන ඇමතිවරයා පසුගිය දා නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රි ල නි පක්‍ෂයේ ද සහාය ඇතිව ජනමත විචාරණයකට යන බව කියා සිටියා. උසස් පෙළ පංතියට යෑමට ඔහු සුදුසුකම් නො ලැබුවේ ද? නැත්නම් වෙනත් හේතුවක් නිසා පාසල හැර ගියා ද? උසස් පෙළ පංතියක ඉගෙන ගැනීම සුදසුකමක් ලෙස මා සලකන්නේ නැහැ. එය බොහෝ විට නුසුදුසුකමක්. අප බටහිරයන් සේ සිතීමට පුරුදු කරන්නේ වැඩි වශයෙන් ම උසස් පෙළ පංතියේ.

මංගල කොහොමත් හිතන්නේ සිංහල බෞද්ධයකු ලෙස නො වෙයි. ඔහු වරක් පුංචි බොරැල්ල සම්බන්ධ සිද්ධියක දී බුදු පිලිම වහන්සේ නමක් බෙල්ලෙන් අල්ලා ගෙන සිටියා. ඔහු රතන හිමියන් ද සමග රටවැසි පෙරමුණක් අටවා ගෙන ෆෙඩරල් දීමට එහි ව්‍යවස්ථාවේ යෝජනා කළා. චම්පකලා 1994 දී මාතරට ගොස් මංගලගේ ඡන්ද ව්‍යාපාරයට ආධාර කළා. චම්පක මංගලගේ යෝජනාවට විරුද්ධ ව කිසිවක් කරන්නේ නැහැ.

ඒ කොහොම වුනත් සුසිල් ප්‍රේමචන්ද්‍ර කියන්නේ ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යස්ථා සංශෝධනවලට ශ්‍රී ල නි පක්‍ෂයේ එකඟතාවක් නැති බවයි. එසේ නම් උසස් අධ්‍යාපන ඇමති එවැනි ප්‍රකාශයක් කරන්නේ කෙසේ ද? මේ අමාත්‍ය මණ්ඩලයට සාමුහික වගකීම කියා දෙයක් නැහැ. සාමූහික වගකීම ගැන කියා දෙන්නේ උසස් පෙළ පංතියේ ද? ඒ කුමක් වුවත් ජනාධිපති ද ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සාමූහික වගකීමක් ගැන අසාවත් තිබිය යුතුයි. එංගලන්තයට නිතර යන එන ඇමතිවරුන් තමන් අනුගමනය කරන්නේ යැයි පම්පෝරි ගසන වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදාය ගැන තේම්ස් ගඟේ බෝට්ටු පදින්නකුගෙන්වත් දැන ගත්තොත් නරක ද? ශ්‍රී ල නි ප සමග එක් වී ජනමත විචාරණයකට යන බව කීමෙන් කිිරිඇල්ල රාජද්‍රෝහී වී නම් නැහැ. එහෙත් මංගල හා රනිල් ගැන එසේ කියන්න බැහැ.

මංගල කියන කතාව අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට බඳුන් වුනා ද? අමාත්‍ය මණ්ඩලය එයට අනුමැතිය දුන්නා ද? එසේ අනුමැතිය දී ඇත්නම් මෛත්‍රිපාල ද ඒ සම්බන්ධයෙන් වගකිව යුතුයි. මංගල කියන්නේ රණවිරුවන්ට විරුද්ධව ඊනියා යුද්ධාපරාධ චෝදනා ඉදිරිපත් කර විජාතික විනිසුරුවන් ඉදිරියේ ඒ විභාග කිරීමට තවත් කල් දිය යුතු බවයි. මෙය සම්පූර්ණයෙන් ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යෝජනාවක්. මෙරට ජනතාවගේ පරමාධිපත්‍යයේ අධිකරණ බලය පාවා දීමක්. පරමාධිපත්‍යයට විරුද්ධ වීම පරමාධිපත්‍යය නැති කිරීම රාජද්‍රෝහි ක්‍රියාවක්.

අපට දැනගන්න අවශ්‍ය වන්නේ මේ ව්‍යවස්ථා විරෝධී යෝජනාවට බටහිරයන්ට අනුග්‍රහ දැක්වීමට අමාත්‍ය මණ්ඩලය එදා හෝ අද හෝ අනුමැතිය දුන්නේ ද යන්නයි. ව්‍යවස්ථා විරෝධී යෝජනා සම්මත කර ගැනීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නැහැ. අමාත්‍ය මණ්ඩලය ව්‍යවස්ථාව අනුගමනය කිරීමට හා ආරක්‍ෂා කිරීමට බැඳී ඉන්නවා. අමාත්‍ය මණ්ඩලය ජනතාවගේ පරමාධිපත්‍යයට විරුද්ධ යෝජනා සම්මත කිරීම රාජ්‍යයට ද්‍රෝහී වීමක්. මෙය ඉතා බැරෑරුම් කාරණයක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස මේ ගැන විශේෂ ප්‍රකාශයක් කළ යුතුයි.

ආණ්ඩුව අද කළ යුත්තේ මේ යෝජනාවට ජෙනීවාහි දී දැක්වූ අනුග්‍රහය ඉල්ලා අස්කර ගැනීමයි. අප කාලයක් තිස්සේ කියා සිටින නමුත් ආණ්ඩුව ට්‍රම්ප් හමුවී මේ ව්‍යවස්ථා විරෝධී යෝජනාව ගැනත් කියා එක්සත් රාජ්‍යයන්ට අපේ කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වළකින ලෙස තවමත් කියා නැහැ. මංගල යෝජනාව ඉල්ලා අස්කර ගන්නවා වෙනුවට එය ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා. කොටි ත්‍රස්තවාදීන්ගේ නියෝජිතයන් වූ දෙමළ ජාතික සංධානය යෝජනාවට කල් ඉල්ලීමටත් විරුද්ධයි. ඔවුන්ට අවශ්‍ය ව්‍යවස්ථා විරෝධී යෝජනාව වහාම ක්‍රියාත්මක කිරීමටයි. දෙමළ ජාතික සංධානයෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු වන්න බැහැ.

කරුණා අම්මාන් මඩකලපුවේ දී නව පක්‍ෂයක් ආරම්භ කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් කියා ඇත්තේ කොටි සංවිධානයේ අවශ්‍යතාවට දෙමළ ජාතික සංධානය ඇති කිරීමට තමන් කටයුතු කළ බවයි. මේ ප්‍රකාශය සුළුවෙන් ගතයුතු නැහැ. කොටි සංවිධානය මෙරට තවමත් තහනම් සංවිධානයක්. එසේ නම් කොටි සංවිධානය ඇති කළ දෙමළ ජාතික සංධානයට මෙරට දේශපාලනය කිරීමට ඇති අයිතිය කුමක් ද? ඒකාබද්ධ විපක්‍ෂය කරුණාගේ ප්‍රකාශය ගැන විධිමත් පරික්‍ෂණයක් කළ යුත්තේ ආණ්ඩුව ඒ ගැන කිසිවක් නොකරන බැවිනුයි. අද ඇත්තේ ඊනියා ජාතික ආණ්ඩුවක් නොව රනිල් සුමන්තිරන් ආණ්ඩුවක්. සුමන්තිරන් ඇමතිවරයකු ද නැද්ද යන්න වැදගත් නැහැ.

අද රනිල් මෙන් ම මංගල ද ඉවත් කිරීමට අවස්ථාව එළඹිලා. ඒ ප්‍රධාන වශයෙන් ම ව්‍යවස්ථා විරෝධී ක්‍රියා සම්බන්ධයෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වගන්තිය යටතේ ජනාධිපතිට අමාත්‍ය මණ්ඩලය වෙනස් කළ හැකියි. අමාත්‍ය මණ්ඩලයට අගමැතිත් අයත් වෙනවා. 43 (3) යටතේ ක්‍රියාත්මක වීමට ජනාධිපතිට අගමැතිගේ උපදෙස් ලබාගැනීමට අවශ්‍ය නැහැ. අඩු තරමෙන් අගමැති විචාරීමටවත් අවශ්‍ය නැහැ. 42 (4) වගන්තිය යටතේ ජනාධිපතිට අගමැති කෙනකුත් පත්කළ හැකියි. රාජද්‍රොහී ක්‍රියා කර ඇති සියළුම ඇමතිවරුන් වෙනස් කිරීමට ජනාධිපති පියවර ගන්නේ නම් පමණක් ඔහු මේ රාජද්‍රෝහි ක්‍රියාවලට සම්බන්ධ නැති බව සිතාගැනීමටවත් හැකි වේවි.

නලින් ද සිල්වා

2017 පෙබරවාරි 13

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.