Breaking
25 Feb 2025, Tue

අද ශ්‍රීලනි පක්‍ෂයක් නැහැ….ආප්ප රාත්‍රියෙහි දී එය මරා දැමුණා….

සෙනසුරාදා හෝමාගම දී පැවති ඒකාබද්ධ විපක්‍ෂ රැස්වීමේ දී ප්‍රසන්න රණතුංග මහින්ද රාජපක්‍ෂට කිවුවේ නව පක්‍ෂයක් හෝ සංවිධානයක් හෝ පිහිටුවීමට මහින්ද ප්‍රමාද බව ය. රැස්වීමේ සිටි ජනතාවට අවශ්‍ය වූයේ ඉක්මණින් ම නව සංවිධානයක්. එහෙත් මහින්ද පසුබසින බවක් පෙනෙනවා. අප්පමාදො අමතපදං යන්න මෙහි දී අදාළ නැතත් මේ ප්‍රමාදය නම් එතරම් සුභදායක වන්නේ නැහැ. නව සංවිධානය දේශපාලන පක්‍ෂයක් ම විය යුතු නැහැ. එසේ ම එය තවත් සංධානයක් වීම ද අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ ජාතික සංවිධානයක්. ජාතික බලවේගයක්.

අද ශ්‍රීු ල නි පක්‍ෂයක් නැහැ. ආප්ප රාත්‍රියෙහි දී එය මරා දැමුණා. එහෙත් මහින්ද හිතන්නේ තවමත් ශ්‍රී ල නි පක්‍ෂයක් ඇති බවත් තමා එහි සාමාජිකයකු බවත්් යථා කාලයේ දී තමාට පක්‍ෂ නායකත්වය ලැබෙනු ඇති බවත්. හෝමාගම රැස්වීමේ දී ඔහු කළ ප්‍රකාශය එතරම් යහපත් නැහැ. ඔහු කියා සිටියේ එ ජා ප හා ශී ල නි ප එකතු වී ශ්‍රී ලංකා එක්සත් ජාතික නිදහස් පක්‍ෂය නමින් නව පක්‍ෂයක් හදන බවත් එවිට ශ්‍රී ල නි පාක්‍ෂිකයන් තමන් සමග එකතු වන බවත්. එ ජා ප හා මෛත්‍රිපාල කණ්ඩායම එකතු වී නව පක්‍ෂයක් සාදා වි යන්න එක්කෝ හිතළුවක් පමණයි. නැත්නම් තම අනුගාමිකයන් රැවටීම සඳහා කරන ප්‍රකාශ්‍රක් පමණයි. කෙසේ වෙතත් මෙයින් කියන්නේ නව සංවිධානයක් බිහි කිරීමට මහින්ද මැළිකමක් දක්වන බවයි.

මීළඟ මැතිවරණයට තව කල් තියෙනවා. එබැවින් දැන් ම පක්‍ෂ පිහිටුවීමට කතාකිරීම අනවශ්‍ය යැයි ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් සිතනවා වෙන්න පුළුවන්. දේශපාලන පක්‍ෂ කටයුතු කරන්නේ මැතිවරණ දෙස බලාගෙන බව පැහැදිලියි. ඒ නිසාමත් ඒකාබද්ධ විපක්‍ෂයට සහාය දක්වන සමහරුන්ට පක්‍ෂයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒකාබද්ධ විපක්‍ෂය යනු පක්‍ෂයක් තබා මරණාධාර සංගමයක්වත් නොවෙයි. එක්තරා ආකාරයකින් එය ඝාතකාධාර සංගමයක් ලෙස සැලකිය හැකියි. එය ශ්‍රී ල නි පක්‍ෂය මරාදමා ඇති බව නොදැන එහි ඝාතකයාට ආධාර කරනවා. මහින්්ද ශ්‍රී ල නි පක්‍ෂය මරාදැමූ මෛත්‍රිපාලට සභාපති පදවිය දුන්නා. එයට වරදකරුවා ඔහු පමණක් නොවෙයි. එදා ජනාධිපතිවරණය පරාජයවීමත් සමග ශ්‍රී ල නි ප පිරිස් යහපාලනයට එකතු වීමට ගියා. මේ රැල්ල නැවැත්වීමට නම් මෛත්‍රිපාලට සභාපතිකම දිය යුතු යැයි මහින්ද කල්පනා කරන්නට ඇති.

ඒ දිනවල මහින්දට දුරකථනයෙන්වත් සම්බන්ධ කරගැනීමට නොහැකි වූ ඇතැමුන් අද ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන් බවට පත් වෙලා. රනිල්ගෙන් ඇමතිකමක් ඉල්ලීමට ගොස් ඒ නොලැබීම නිසා ඒකාබද්ධ විපක්‍ෂයට එකතු වූ නීතිවේදියා කවු ද? පසුගිය දා සමගාමී ලැයිස්තුව ඉවත්කළ යුතුබවට ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් ලිපියක් යැවීමට මුල් වූයේ කවු ද? ඒ ලිපිය යැවුනේ මහින්දගේ අනුමැතියෙන් දැයි අපි නො දනිමු. එහෙත් එයින් පැහැදිලිවන්නේ ඒකාබද්ධ විපක්‍ෂයේ සංවිධානාත්මක දුර්වලභාවයයි. ඒ්කාබද්ධ විපක්‍ෂය යනුවෙන් සංවිධානයක් නැහැ. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ එකතුවක් පමණයි.එයට කිසිම නිල තත්වයක් නැහැ. කතානායකවත් මැතිවරණ කොමිසමවත් ඒ පිළිගන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කතාකිරීමට ඔවුන්ට ලැබෙන්නේ ඉතා සීමිත කාලයක්.

ඒකාබද්ධ විපක්‍ෂයට නිලධාරීන් නැහැ. දිනේෂ් ගුණවර්ධන එහි නායකයා යැයි කියනවා. එහෙත් එහි නිලභාවය කුමක් ද? එය ඒකාබද්ධ විපක්‍ෂයේ ව්‍යවස්ථාවක් අනුව ලැබුණු නායකකමක් නොවෙයි. නායක පදවි නොමැති හාමුදුරුවරුන්ටත් ඇතැම්විට නායක හාමුදුරුවන් යැයි කියනවා. ඒත් නිල බලයක් නැහැ. අප වැඩ කරන්නේ සුද්දන්ගේ නීති රාමුවේ. ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න නීතිවේදීන් ඒ බව තේරුම් ගන්නේ නැහැ. සමහරවිට එහෙම තියෙන එක හොඳයි කියල හිතනවා වෙන්න පුළුවන්. අර සමගාමී ලැයිස්තුව ඉවත්කරන්න කැමැත්ත පළ කරලා ලියුම් යවන්න පුළුවන් එහෙම සංවිධානයක් නැති වුනාම.

අද ජාතික බලවේගයක් ඕන වෙන්නෙ මේ ආණ්ඩුවට විරුද්ධව ජාතික මතයක් රැල්ලක් ඇති කරන්න. සුමන්තිරන්ලා විග්නේස්වරන්ලා අතර වෙනස්කම් තිබුණත් ඔවුන් දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නයක් විසඳීම සඳහා එකතු වෙනවා. ඔවුන්ට දහතුන්වැනි සංශෝධනයෙන් එහා ගිය බලය බෙදීමක් අවශ්‍යයි. පොලිස් බලතල ඉඩම් බලතල පළාත් සභාවලට දිය යුතු බව ඔවුන්ගේ අද ප්‍රධාන ඉල්ලීම. සමගාමී ලැයිස්තුවත් අයින් කරගන්න ඔවුන්ට ඕන. මේවට විරුද්ධව පාර්ලිමේන්තුවේ කරන්න පුළුවන් ඉතා සීමිත කටයුත්තක්.

ඒකාබද්ධ විපක්‍ෂය අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්බන්ධයෙන් වැඩ කෙළේ ඉතාමත් දුර්වල ආකාරයකට. පාර්ලිමේන්තුව ඇතුලෙ විරෝධතා දක්වලා කරන්න පුළුවන් දෙයක් නැහැ. අද මහින්දට බලයක් තියෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුළෙ නොවෙයි පිට. ඒකාබද්ධ විපක්‍ෂෙට පාර්ලිමේන්තුව ඇතුලෙවත් පිටවත් කරන්න පුළුවන් දෙයක් නැහැ. පාර්ලිමේන්තුවෙන් පිට ජනතාව සංවිධානය කරන එක අද අත්‍යවශ්‍ය කටයුත්තක් බවට පත්වෙලා. ජනතාව සංවිධානය කරන්න ප්‍රතිපත්ති ඕන. සංවිධානයක්, බලවේගයක් ඕන. ඒකාබද්ධ විපක්‍ෂය රැස්වීම් තිබ්බ පමණින් ජනතාව සංවිධානය කරන්න බැහැ. ඒ වගේම මාධ්‍ය සාකච්ඡා, වොයිස්කට්වලින් ආදියෙන් පමණක් ජනතාව සංවිධානය කරන්න බැහැ.

ඒකාබද්ධ විපක්‍ෂෙ දේශපාලනඥයන් අද කරන්නෙ ඔවුන්ගෙ භාෂාවෙන් ම කියනවා නම් ජනතාව චුන්කිරීම පමණයි. කිසිම ජන පදනමක් නැති අයට නම් ජනතාව චුන්කරන්න දිනපතා මාතෘකා හොයාගන්න පුළුවන්. මෙරට ඉන්න ජඩමාධ්‍යවේදීන් ද ඒ චූන්කාරයන්ට තැන දෙනවා. එමගින් වෙන්නෙ ආණ්ඩුව පවත්වාගෙන යන්න උදවු වෙන එක පමණයි. ජනතාව සංවිධානය කරන්න ඕනෙ වැදගත් ප්‍රශ්න රාශියක් තියෙනවා. ඒ ආර්ථික ප්‍රශ්න විතරක් නොවෙයි. වඩා වැදගත් වෙන්නෙ ජාතික ප්‍රශ්න. ඒකීය රාජ්‍ය ආරක්‍ෂා කිරීම, දහතුන ඉවත් කිරීම, රණවිරුවන් ආරක්‍ෂා කිරීම ආදී ප්‍රශ්න අද කරළියට ඇවිත්. මේවා වැට් බද්ද වගේ නොවෙයි. ගියොත් ආපහු ගන්න එක බොරු. රණවිරුවන් සටන් කර ආරක්‍ෂා කළ ඒකීය රාජ්‍යය ගැන තවදුරටත් කිසිවකුටත් කතා කරන්න බැහැ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සෙ දහතුනකට තවත් කිසිම ඉඩක් නැහැ. හමුදා මෙහෙයුම් මගින් අප ලැබුවෙ දේශපාලන ජයග්‍රහණයක්. කොච්චර කිවුවත් ඒකාබද්ධ විපක්‍ෂෙ උදවිය එය තුට්ටුවකටවත් ගණන් ගන්නෙ නැහැ. ඒ දේශපාලන ජයග්‍රහණය නීති පොතට දාගන්න ඕන. ඒක අද පාර්ලිමේන්තුවෙ කරන්න බැහැ. එය කරගැනීමට ජාතික බලවේගයක් ගොඩනැගිය යුතුයි. රැස්වීම්වල සෙනග බලලා චූන් වෙලා හරියන්නෙ නැහැ. මහින්ද සංවිධානයක් ගොඩනගන්න ප්‍රමාදවන්නේ චූන් දේශපාලනයෙන් චූන් වෙලා සිටින නිසා ද?
නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 11

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.