Breaking
24 Feb 2025, Mon

අද සුසිල් ප්‍රේමජයන්තලා වළෙන් ගොඩ එන්න හදනවා…. ඔවුන් වළේ ම සිටිම රටට යහපත්. ….

මෛත්‍රිපාලගේ ආප්ප රාත්‍රියට අවුරුදු තුනක් ගෙවිලා. පොළොන්නරුවේ ශ්‍රී ල නි ප සංවිධායක වීමේ සිට ජනාධිපති වීම දක්වා ඉතිහාසය එක්තරා විධියකින් ඉතිහාස ගතවන්නක්. ඒ යහපත් දේශපාලනය සම්බන්ධයෙන් නම් නො වෙයි. රනිල් නොකියා කියන්නේ ඉංගිරිසි නැතිව ජනාධිපතිකම කරන්න බැරි බව. ඒ රනිල්ගේ පඬි කතාවක්. ජනාධිපතිකමට මූලික සුදුසුකම ඉංගිරිසි දැන ගැනීම නොව රටට ඇති ඇල්ම. මේ නිවට ආණ්ඩුවේ කිසිවකුටවත් ඒ සුදුසුකම තියෙනවා ද?

මේ නිවට ආණ්ඩුව බලයට පත් කෙරුවෙ බටහිරයන් හා ඉන්දියාව. අර යුග පෙරළි කාරයන් එහෙම නො වෙයි. යුග පෙරළි කාරයන් කෙළේ රෝ ඔත්තු සේවයේ පදයට නැටීම පමණයි. බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වූයේ රාජපක්‍ෂ රෙජිමය රාජපක්‍ෂ සහෝදර සමාගම ආදී වශයෙන් හැඳින්වුණු දේශපාලනය බිඳ දමා, රණවිරුවන් දඩයම් කිරීම හා සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදී සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමයි. ඔවුන් පළමුවැන්න ඉටුකර ගත්තා. දෙවැන්නත් ඉටුකර ගෙන යනවා, මෛත්‍රිපාල මොන බයිලා කිව්වත් අද රණවීිරුවන් කිහිප දෙනකු හිරේ. ඔවුන්ගෙ දරුපවුල් අද තම සැමියා පියා මාමා රට බේරා ගැනීම වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් දුක් විඳිනවා. නැන්දම්මලා සිය දිවි නසා ගන්නවා. සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව අයවැයෙන් පසු කොයි මොහොතක හරි ඉදිරිපත් කර ඉක්මණින් සම්මත කර ගන්න ක්‍රියා කරාවි. මේ සියල්ල සිදුවන්නේ රනිල්ගෙ විතරක් නොවෙයි මෛත්‍රිපාලගෙත් කැමැත්තෙන්.

මෛත්‍රිපාල කියන්න පුළුවන් දඬුවම් කරන්නෙ රණවිරුවන්ට නොවෙයි අපරාධ කරුවන්ට කියලා. මොනවද මේ කරලා තියෙන අපරාධ. අපට එකක් කියන්න පුළුවන්. බටහිරයන්ගෙ හා දෙමළ ජාතික සංධානයේ හා ඔවුන්ගේ පූර්වගාමී පක්‍ෂවල ආධාරය හා අනුග්‍රහය ලැබු දෙමළ ත්‍රස්තවාදීන් සටන් කෙළේ සම්මත ක්‍රියා මාර්ග අනුව නො වෙයි. මෛත්‍රිපාලට ඒ බව පොළොන්නරුවේ ජනතාවගෙන් ම දැනගත හැකියි. බටහිරයන් අවසන් මොහොතෙදීත් ප්‍රභාකරන් බේරා ගැනීමට කටයුතු කළ බව නොදන්නෙකු වේ නම් ඔහු මුග්ධයකු විය යුතුයි. එංගලන්තයේ හා ප්‍රංශයේ විදේශ ඇමතිවරුන් මහින්ද හමුවීමට පැමිණියේ, නම්බියාර් නැවක් ගෙන්වීමට උත්සාහ කෙළේ ප්‍රභාකරන් බේරා ගැනීමට බව මුග්ධයන් නොදන්නේ ද? කෙසේ වෙතත් ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීමට සම්මතයෙන් යම් තරමකට බැහැර වූවා නම් එය වරදක් විය නො හැකියි.

කල් දැමූ පළාත් පාලන මැතිවරණ තවදුරටත් කල් දැමීම අමාරු වෙලා. එහෙත් විවිධ නීති ප්‍රශ්න ගෙනැවිත් ඡන්ද කල්දැමීමට තාමත් උත්සාහ කරනවා. විවිධ පක්‍ෂ ඡන්දය වෙනුවෙන් සූදානම් වෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයෙත් ඒ සඳහා විවිධ කණ්ඩායම්වලින් ඉල්ලීම් ඉදිරිපත් වෙනවා. මට කිසි දිනෙක අමතක වන්නේ නැහැ රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළීම සඳහා විදේශීය ඔත්තු සේවා සෝභිත හාමුදුරුවන් යොදා ගන්නා අවධියේ දී මුලින් ම චම්පකටත් කලින් සෝභිත හාමුදුරුවන් මුණ ගැසීමට ගියේ විමල් බව. ඔහු ඉන් පසු ඌව පළාත් සභා මැතිවරණයේ දී සංධානයෙන් වෙන් වී බදුල්ල දිස්ත්‍රික්කයට වෙන ම තරග කළා. අද ඔහු පළාත් පාලන මැතිවරණ සඳහා තම පක්‍ෂයට සංධානයෙන් අපේක්‍ෂක ධුර සිය ගණනක් අපේක්‍ෂා කරනවා. ඒ වගේම ගල් ලෙන බින්ද වීරයා ගැනත් මට අමතක වන්නේ නැහැ. මා කියන දේට බොහෝ ඊනියා ජාතිකවාදීන් අකමැති වන්න පුළුවන්. මට බනින්න පුළුවන් මා සමගිය කඩා දමන්න සූදානම් වෙනවා කියා. ඒත් එදා මා කී දේ ප්‍රතික්‍ෂෙප කර චම්පකට ආධාර කළ අය අද කියන්නේ කුමක් ද? අද මේ ඇතැමුන් පළාත් පාලන මැතිවරණයේ දී තම පක්‍ෂවලට අපේක්‍ෂකයන් සිය ගණනක් දිය යුතු යැයි කියන්නේ ජාතිකත්වය මත පදනම් වී ද? නැත්නම් චම්පක මෙන් ම ජාතිකත්වය ගසාකෑමට ද?

අද මෛත්‍රිපාල දන්නවා පළාත් පාලන මැතිවරණයෙන් ඔහුගේ නිවට අපේක්‍ෂකයන්ට අත්වන්නේ තුන්වැනි නැත්නම් හතරවැනි තැන් බව. ඔහු ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් සමග සාකච්ඡා කරන්නේ ඒ පරාජයෙන් ගැලවීමටයි. ඉහත සඳහන් අයට අමතර ව ඩලස්, දයාන් ජයතිලක ආදීන්ගේ නම් ද එහි දී කියැවෙනවා. මේ අයගෙන් කී දෙනෙක් දෙමළ ත්‍රූස්තවාදය පැරදවීමේ දී මහින්ද හා ගෝඨාභය සමග හිටියා ද? ඔවුන් කීවේ ප්‍රභාකරන් පරාජය කළ නොහැකි බවයි. අදත් ඔවුන් මහින්ද සමගවත් ගෝඨාභය සමගවත් නැහැ. ඔවුන් තමයි මහින්දටත් 13+ ආදී ලණු දුන්නේ. ඔවුන් විශ්වාස කරන්න බැහැ. ඒත් මහින්ද උපදෙස් ගන්නේ ඔවුන්ගෙන්.

අප රනිල් අගමැති කමෙන් ඉවත් කරන ලෙස මෛත්‍රිපාලට කියන්නේ අද ඊයේ නො වෙයි. එහෙත් ඔහු එයට සවන් දුන්නේ නැහැ. අදත් සවන් දෙන්නේ නැහැ. ඔහුට අවශ්‍ය රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමවත් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීමවත් නොව පළාත් පාලන මැතිවරණයේ දී තම ජාම බේරා ගැනීම. මෛත්‍රිපාලට රට ජාතිය ආගම අවශ්‍ය නම් කළ යුත්තේ මැතිවරණයට අපේක්‍ෂක ධුර සිය ගණන් දී එක් එක් අය බිලි බා ගැනීම නොව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීම හා රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමයි. එසේ නොකරනතාක් ඔහු ගැන අපේ කිසිම විශ්වාසයක් නැහැ.

අප කළ යුත්තේ රාජපක්‍ෂ සමාගම යැයි රනිල්ලා අවඥාවෙන් සැලකූ සහෝදරයන් සමග මැතිවරණයට පමණක් නොව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කිරීමටත් රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමටත් කළ හැකි දෙයක් කිරීමයි. මෛත්‍රිපාලට විධායක ජනාධිපති ලෙස රනිල් වෙනුවට වෙනත් පිළිගත හැකි අයකු අගමැති ලෙස පත් කරන්න පුළුවන්. ඔහු ඒ කරන්නේ නැත්නම් අපට ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් නැහැ. අපට ඔහුගේ පව්වලට කරගහන්න වුවමනාවක් නැහැ. අද ශ්‍රී ල නි ප මරා දමා ඇති පක්‍ෂයක්. එය මැරුවේ මෛත්‍රිපාලයි. අප ඒ බව එදා ම කිව්වා. මහින්දගේ කණ්ඩායම පාර්ලිමේන්තු මැතිවරණයේ දී වෙන ම තරග කළ යුතු බව අප ජී එල්, ඩලස්, විමල් ආදීන් හමු වී කිව්වා. ඔවුන්වත් බැසිල්වත් එයට සවන් දුන්නේ නැහැ. ඔවුන්ට වැදගත් වන්නට ඇත්තේ බටහිරයන්ගේ අවවාද විය හැකියි. අද ජී එල් හා මහින්ද රැ වැටුණු වළේ දවල් නොවැටෙන බව කියනවා. ඒක හොඳයි. ඒත් අප දුන් හුළුඅත්ත ගත්තා නම් රෑත් නොවැටී ඉන්න තිබුණා. අඩුම තරමෙන් මහින්ද විපක්‍ෂ නායක වෙන්න තිබුණා.

මෛත්‍රී සමග මැතිවරණ ගිවිසුම් අවශ්‍ය නැහැ. අද සුසිල් ප්‍රේමජයන්තලා වළෙන් ගොඩ එන්න හදනවා. ඔවුන් වළේ ම සිටිම රටට යහපත්. අප නැවතත් කියනවා. මෛත්‍රිපාල නව ව්‍යවස්ථාව ප්‍රතික්‍ෂෙප කර රනිල් අගමැති කමෙන් ඉවත් කළ යුතුයි. ඔහු රනිල්ට අගමැති කමෙන් ඉවත් වන්න කීම ව්‍යාජයක්. අප රැවටීමක්.

______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.