Breaking
24 Feb 2025, Mon

අනුරට මාක්ස් දෙන්නෙ රනිල්….. කතානායක හා ඊනියා ජාතික ආණ්ඩුව

පාර්ලිමේන්තුවේ රතන හාමුදුරුවො ස්වාධීන වෙලා. ඒක කතානායක පිළිඅරගෙන පාටයි. ජාතික නිදහස් පෙරමුණ ස්වාධීන වෙලා කියනවා. කතානායක ඒක පිළිඅරගෙන නැහැ. දිනේෂ් ගුණවර්ධන ඒ ගැන කතා කරපු එක කතානායකට හරි මදි. කතානායක පාර්ලිමේන්තු සභා ගැබට පොලීසිය ගෙන්නලා. පොලීසියෙ අංක තහඩු තිබුණෙ නැති එකට අනුර කුමාරට කේන්ති ගිහිල්ල. ඒත් ඔහු දිනේෂ් පිටමං කරන යෝජනාවට විරුද්ධ වුණෙ නැහැ. ජ වි පෙරමුණට ආණ්ඩුවට විරුද්ධ වෙන්න බැහැ. රනිල්ල සුමන්තිරන්,චමිපකලා අනුරල එකට ආණ්ඩු කරන්නෙ. කට්ටියක් කතානායකගෙ දකුණු අත පැත්තෙ වාඩි වෙනවා. කට්ටියක් කතානායකගෙ වම් අත පැත්තෙ වාඩි වෙනවා. ඒ වම දකුණ මාරුවෙලා නො වෙයි. කතානායකට වමක් දකුණක් නැති නිසා. අනුර වමේ ද දකුණෙ ද? කාල් මාක්ස් නෙවෙයි රනිල් දන්නව ඇති. අනුරට මාක්ස් (ලකුණු) නම් දෙන්නෙ රනිල්.

පාර්ලිමේන්තුවෙ කාටවත් ස්වාධීන වෙන්න බැහැ කතානායක ස්වාධීන නැත්නම්. ඉස්සර කතානායක හැටියට පත්වුණාම තම පක්‍ෂයෙන් අස්වෙනවා. කතානායකට විරුද්ධව මැතිවරණයෙ දි අපේක්‍ෂකයකු නොදැම්ම කාලයක් තිබුණා. ඒ ඇල්බට් එෆ් පීරිස්, ඉස්මයිල් ආදීන්ගෙ කාලෙ. දැන් ඒ සම්ප්‍රදායවල් නැහැ. කතානායකලා පක්‍ෂ නායකත්වයටත් තරග කරනවා. තරග කරලා පැරදුණාම පත්වෙච්ච නායකයට කීකරු වෙන්න ඕන. එහෙම නැතුව වෙන මොනව කරන්න ද?

ඉස්සර කතානායකලා ස්වාධීනයි. අමුතුවෙන් ස්වාධීන වෙන්න ඕන නැහැ. ස්වාධීන කියන එක ගැමියන් උච්චාරණය කරන්නෙ සුවාදීන කියලා. ඒක මොන දීනකම ද කියලා අප දන්නේ නැහැ. ගැමියකුගෙන් ම අහගන්න ඕන. කොහොමත් මේ පාර්ලිමේන්තුවෙ කතානායකට ඒ තරම් වැඩක් නැහැ. වැඩ තියෙන්නෙත් අගමැතිට, වැඩ පෙන්නන්න යන්නෙත් අගමැති. එහෙත් අගමැති වැඩ බැරි ටාසන් කෙනෙක් ද කියලා ටාසන්ලා අහනවා.

ඒ මොකක් වුණත් පාර්ලිමේන්තුව මෙහෙයවන්නෙ නීතියට අනුව කතානායක. ඒක නේ කතානායක පොලීසිය ගෙන්නුවෙ. වෙන කාටවත් පාර්ලිමේන්තු සභා ගැබට පොලීසිය ගෙන්නන්න බැහැ. කතානායකට පොලීසිය ගෙන්නන්න කිවුවෙ කවුද කියන එක ටාසන්ලගෙන් අහන්න ඕන. කතානායක කාට ඕන විධියට වැඩ කළත් ඒවා යන්නෙ කතානායකගෙ පිටින්. කතානායක සාධාරණ බවකුත් පේන්න තියනවා. විමල්ගෙ උපන් දිනේට කේක් ගෙඩියක් පාර්ලිමේන්තුවට ගේන්න ඉඩ දීලා.

මේ පක්‍ෂ හා පුද්ගලයන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීම තරමක සංකීර්ණ ප්‍රශ්නයක්. ස්වාධීන වෙන්නෙ තවත් සංවිධානයකින්. ඒක තීරණය කරන්න පුළුවන් කතානායකට විතරයි. ජාතික නිදහස් පෙරමුණ දැන් එක්සත් ජනතා නිදහස් සංධානයේ පක්‍ෂයක් නො වෙයි. මතක හැටියට හිටපු කතානායක කාලෙක විමල්ගෙ පක්‍ෂෙ සන්ධානයෙන් ඉවත් වුණා. කතානායක තීරණය කළා ජාතික නිදහස් පෙරමුණට සංධානයෙන් ස්වාධීන ව පාර්ලිමේන්තුවෙ කටයුතු කරන්න පුළුවන් කියලා. සංධානය ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුවෙ ස්වාධීන වෙන්න ඉඩ දුන්න ද කියන එක ප්‍රශ්නයක් නො වෙයි. ඒක සංධානයට කරන්න බැහැ. සංධානයට පුළුවන් ජා නි පෙරමුණට ඉවත් වෙන්න ඉඩ දෙන්න පමණයි. ජාතික නිදහස් පෙරමුණ සංධානයෙන් ඉවත් වුණාට පස්සෙ එය තවදුරටත් සංධානයෙ නැහැ. සංධානයට තීරණය කරන්න පුළුවන්කම තිබුණෙ ජාතික නිදහස් පෙරමුණට ඉවත් වෙන්න ඉඩ දෙනවාද නැද්ද කියන එක විතරයි. ඉවත් වෙන්න ඉඩ දුන්නට පස්සෙ පාර්ලිමේන්තුවෙ ස්වාධීන වෙනව ද මන්ත්‍රී ධුර අහෝසි වෙනව ද වගේ දේ තීරණය කරන්නෙ කතානායක/මැතිවරණ කොමසාරිස්/ මැතිවරණ කොමිසම.

අද තත්වය වෙනස්. ජාතික නිදහස් පෙරමුණ සංධානයේ නැහැ. ඒ නිසා ඒ පක්‍ෂෙට සංධානයෙන් ඉවත් වෙන්න බැහැ. නැති සංධානයකින් ඉවත් වෙන්නෙ කොහොම ද? ජාතික නිදහස් පෙරමුණ සංධානයෙන් ඉවත්වීමට ඉල්ලපු එක ම වැරදියි. ඒ ඉල්ලීමට සංධානය අවසර නොදීමත් වැරදියි. ඒ එකක්වත් කරන්න පුළුවන් දේ නොවෙයි. ඒ වගේ ම තමයි ජාතික නිදහස් පෙරමුණට එ ජාතික පෙරමුණෙන් ඉවත් වෙන්න බැහැ. ඒ වගේ ම එ ජා පෙරමුණට ජාතික නිදහස් පෙරමුණට ඉවත් වෙන්න දෙන්න බැහැ කියන්නත් බැහැ. ඒ එකක්වත් වලංගු ක්‍රියා නො වෙයි. ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරන්න ඉඩ දෙනව ද නැද්ද කියලා තීරණය කරන එක ස්වාධීන කතානායක කෙනකුගෙ වැඩක්. ඒත් කතානායක ස්වාධීන නැත්නම් ඒක වෙනත් කෙනකුගෙ වැඩක්.

මෙතන දි තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. ශ්‍රී ල නි ප පාර්ලිමේන්තුවෙ වැඩ කරන්නෙ ස්වාධීන ව ද? කතානායක එහෙම කියලා කියනවා. නැත්නම් එ ජා පෙරමුණ සමග ශ්‍රී ල නි ප ඊනියා ජාතික ආණ්ඩුවක් හදන්නේ කොහොම ද? අද මේ ජාතික ආණ්ඩුව එ ජා පෙරමුණේ හා සංධානයේ ජාතික ආණ්ඩුවක් නො වෙයි. එය එ ජා පෙරමුණේ හා ශ්‍රී ල නි පක්‍ෂයේ ජාතික ආණ්ඩුවක්. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවෙ වැඩිම මන්ත්‍රීවරුන් ඇති පක්‍ෂයට වෙනත් පක්‍ෂයක් කණ්ඩායමක් සමග ජාතික ආණ්ඩුවක් හදන්න පුළුවන්. ඒ පක්‍ෂය අනිවාර්යයෙන් ම කතානායක විසින් පිළිගැණුනු ස්වාධීන පක්‍ෂයක් වෙන්න ඕන. ප්‍රශ්නය ශ්‍රී ල නි ප පාර්ලිමේන්තුවෙ ස්වාධීන ද කියන එක.

දැන් කියන විධියට විශ්ව වර්ණපාල සංධානයෙ ලේකම් කාලෙ කතානායකට ලිපියක් යවලා තියෙනවා සංධානයෙ විධායක සභාව ශ්‍රී ල නි පක්‍ෂයට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරන්න පුළුවන් කියලා තීරණය කළා කියලා. මෙතන ප්‍රශ්න රාශියක් තියෙනවා. පළමුවෙන් ම ඔය කියන විධායක සභාව විධිමත් ව නීත්‍යානුකූල ව පිහිටුවපු එකක් ද කියන එක. දෙවනුව විධායක සභාව එලෙස ශ්‍රී ල නි පක්‍ෂයට පාර්ලිමේන්තුවෙ ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් කියලා තීරණය කෙරුවෙ කොහොම ද කියන එක. ඒ සඳහා යොදා ගත්තෙ සංධානයේ ව්‍යවස්ථාවෙ මොන වගන්තිය ද? එහෙම වගන්තියක් තිබුණත් සංධානයට පුළුවන් ද එහි සාමාජික පක්‍ෂයකට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරන්න අවසර දෙන්න. එසේ ස්වාධීන ව කටයුතු කරන්න ඉඩ දෙන්න පුළුවන් කතානායකට විතරයි. සංධානයට වුවමනා නම් ශ්‍රී ල නි ප සංධානයෙන් ඉවත් කරන්න පුළුවන්. එහෙම කරපු බවට ආරංචියක් නැහැ. එහෙම කළාට පස්සෙ කතානායකට පුළුවන් ශ්‍රී ල නි පක්‍ෂයට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරන්න ඉඩ දෙන්න. එහෙම නැතුව කතානායකටවත් ශ්‍රී ල නි පක්‍ෂයට පාර්ලිමේන්තුවෙ ස්වාධීන ව කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ.

එහෙම නම් මේ ඊනියා ජාතික ආණ්ඩුවෙ වලංගුභාවය පිළිබඳ ප්‍රශ්නය මතුවෙනවා. කතානායක මේ ගැන අගමැතිගෙන් හරි අහල උත්තරයක් දෙනව ද? අගමැතිට රෝයල් තෝමියන් බිග් මැච් බලන්න යන්න පොඩ්ඩක් ඉඩ දෙන්න. ඉරිදාට පස්සෙ කරන දෙයක් කරන්න.

නලින් ද සිල්වා

2017 මාර්තු 10

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.