Featured

අපිට කැබිනට්ටුව හෝ ලංකා රජය වැදගත් නෑ … ඉන්දීය රජයේ නියෝගයක් අරන් එනවා…රටකට ගිය කලක්

ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා කර චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාවට පවරාගන්නා ලෙසට ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමය යහපාලන රජයෙන් ඉල්ලා සිටි.කැබිනට් අනුමැතිය ක‍්‍රියාත්මක කිරීමට චීන වරාය ටැංකි සංකීර්ණයට ගිය ලංකා ඛනිජතෙල් සංස්ථා නිළධාරීන්ට IOC සමාගමේ නිළධාරීන් ටැංකි සංකීර්ණයට ඇතුළුවීමට හෝ ඉඩ ලබා දී නොමැති අතර ඔවුන් පවසා ඇත්තේ කැබිනට්ටුව හෝ ලංකා රජය ඔවුනට වැදගත් නොවන බවත් ඉන්දීය රජයේ නියෝගයකින් තොරව ඇතුළුවීමට අවසර ලබා නොදෙන බවත්ය.එය ලංකාවේ ස්වාධීනත්වය කෙරෙහි දරුණු බලපෑමක් එල්ල කරන බවද එම සංගමය පෙන්වා දෙනවා…

1. ත‍්‍රීකුණාමලය චීන වරායේ පිහිටි ටැංකි 99කින් යුත් තෙල් ටැංකි සංකීර්ණය 2003 වර්ෂයේ දී අවබෝධතා ගිවිසුමකින් ඉන්දීය තෙල් සමාගම (IOC) වෙත ලබා දුන්නද එම ගිසුමේ 1.2 වගන්තියට අනුව මාස 06ක් ඇතුලත එළඹීමට නියමිතව තිබූ විධිමත් බදු ගිවිසුමට එළඹීම සිදුනොවුන නිසා මෙහි නීතිමය අයිතිය ශ‍්‍රී ලංකා රජය සතුවේ.

2. මේ වන විට වැඩි වන තෙල් ඉල්ලූම හමුවේ රටට අවශ්‍ය තෙල් තොග පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් ගබඩා පහසුකම් කොලොන්නාවේ හා මුතුරාජවෙල නොමැත. තවද චීන වරාය හරහා උතුරු නැගෙනහිර හා අනුරාධපුර, පොලොන්නරුව දිස්ත‍්‍රික්කවල තෙල් බෙදීම සිදු කරන්නේ නම් ප‍්‍රවාහන වියදමෙන් පමණක් ඉතිරිවන මුදල රු. මිලියන 700ක් පමණ බව ගණන් බලා ඇත.

3. උක්ත කරුණු දෙක පදනම් කරගෙන විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා 2016/05/24 දින ලබාගත් කැබිනට් අනුමැතිය ක‍්‍රියාත්මක නොකිරීම හා එම තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීමට කෙරෙන උත්සහයට අප වෘත්තීය සමිතිය එකමුතුව දැඩි විරෝධය පලකරමින් උද්ඝෝෂණ මාලාවක් පවත්වන ලදී.

4. මේ වන විට නියඟය නිසා ජල විදුලිය අවම වී ඇති අතර නොරොච්චෝලේ බලාගාරයේ සිදුවන බිඳවැටීම් හමුවේ විදුලිබල නිෂ්පාදනයට විශාල තෙල් සැපයුමක් අවශ්‍යව ඇත. කොලඹ වරාය කොලොන්නාව අතර තෙල් නල දිරා යාම නිසා තෙල් ගොඩ බානුයේ එක් නලයකින් පමණි. මෙම තත්වය හමුවේ තෙල් සැපයුම ඉතා අසීරු මෙන්ම තීරණාත්මක මොහොතකට පැමිණ ඇත. කුමන මොහොතක රටම අඳුරුවේද යන්න කිව නොහැක. මේ නිසා විශාල මුදලක් නැව් සඳහා ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවීම තෙල් සංස්ථාවට මෙන්ම රටටද දරාගත නොහැක.

5. මෙම තත්වය හමුවේ වහාම චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයෙන් ටැංකි 16ක් ලබාගෙන මසක් ඇතුලත ටැංකි 03ක් මෙහෙයුම් සඳහා යෙදවීමට ඉතිරි ටැංකි 13 මාස 03ක් ඇතුලත භාවිතයට ගැනීමටත් විෂයභාර ඇමතිතුමන් කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත.

6. මෙම කැබිනට් අනුමැතිය ක‍්‍රියාත්මක කිරීමට චීන වරාය ටැංකි සංකීර්ණයට ගිය ලංකා ඛනිජතෙල් සංස්ථා නිළධාරීන්ට IOC සමාගමේ නිළධාරීන් ටැංකි සංකීර්ණයට ඇතුළුවීමට හෝ ඉඩ ලබා දී නොමැත. ඔවුන් පවසා ඇත්තේ කැබිනට්ටුව හෝ ලංකා රජය ඔවුනට වැදගත් නොවන බවත් ඉන්දීය රජයේ නියෝගයකින් තොරව ඇතුළුවීමට අවසර ලබා නොදෙන බවත්ය.

7. මෙය බරපතල තත්වයක් ලෙස දකින අප වෘත්තීය සමිති එකමුතුව මෙයට දැඩි විරෝධය ප‍්‍රකාශ කරමු.

තවද මෙම තත්වය මගහරවා ලංකාවේ ස්වාධීනත්වය ආරක්ෂා කරන ලෙසත් වහා මෙම තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාවට ලබා දී රට මුහුණ පා ඇති අසීරු අවස්ථාවෙන් මුදවන ලෙසත් නිරපරාදේ වාර්ෂිකව රු. මිලියන 700කට අධික මුදලක් අපතේ නොයවා චීන වරාය හරහා තෙල් සංස්ථාව යටතේ තෙල් බෙදා හැරීම අරඹන ලෙසත් රජයට බලකර සිටිමු.

ඞී. ජේ. රාජකරුණා
කැඳවුම්කරු,

Top