Featured

අපි කවදත් මේ රටට ආදරය කරපු මිනිස්සු

ප්‍ර – එල්.ටී.ටී.ඊ.ය ඇටවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඔබේ ජීවිතේ බේරුණේ අනූනවයෙන්. ඒ අත්දැකීම විස්තර කළොත්?

පි – ඒක පුදුම අත්දැකීමක්. ඒ දවස්වල අපි සෑම බදාදාම නොවැරදීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වෙනවා. උදේ පටන් ගත්තම සමහර දවස්වලට සවස පහ හය වෙනතුරුත් සාකච්ඡා කරනවා. ඔය අතරේ බුද්ධි අංශවලට තොරතුරු ලැබිලා තිබුණා ජනාධිපති හෝ ආරක්ෂක ‍ලේකම් හෝ හමුදාපතිවරුන් තුන්දෙනා ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බව. මේ කතාව ඇහුවට පස්සේ ජනාධිපතිතුමා වහාම නියෝග කළා මටත් හමුදාපතිවරුන් තුන්දෙනාටත් වෙඩි නොවදින වාහන පාවිච්චි කරන්න කියලා. ඒ වෙලාවේ එකපාරටම වාහන ගේන්න මුදල් නැති නිසා ඒ වෙනකොට තිබුණු පරණ වාහන හතරක් අපි හතර දෙනාට දුන්නා. මටත් පරණ ඕර්එ කාර් එකක් ලැබුණා. ඇත්තටම මගේ ජීවිතේ එදා බේරුණේ ඒ පරණ වෙඩි නොවදින ඕර්එ කාර් එක නිසා.

ප්‍ර – ඒ වෙලාවේ ඒ කියන්නේ බෝම්බේ පිපිරුණු වෙලාවේ ඔබට මොකද දැනුණෙ?

පි – මං ඒ දවස්වල හිටියේ බුලර්ස් රෝඩ් එකේනේ. ගෙදර ඉඳලා කාර්යාලයට යන ගමන් තමයි පිත්තල හන්දියේදී ඔය බෝම්බේ පිපිරුණේ. එකපාරටම ලොකු සද්දයක් එක්ක කාර් එක දෙදරුවා. මම කාර් එකේ වාඩි වෙලා හිටිය පැත්තේ ඉඳලා අනිත් පැත්තට විසි වුණා. මම කොයි වෙලාවක හරි මේ දේ සිද්ධ වෙයි කියලා බලා‍පොරොත්තුවෙන් හිටියේ. ඒ නිසා කම්පනය දරා ගන්න මට පුළුවන්කම ලැබුණා. තවත් මගේ හිත ශක්තිමත් වුණා. කොහොමහරි මේ කරුමේ ඉවර කරන්න ඕන කියලා දැඩි තීන්දුවක් එදා මං ගත්තා.

ප්‍ර – ජනාධිපතිවරයාගේ සහෝදරයා ආරක්ෂක ‍ලේකම් කර ගැනීම ගැන සමහරකුට විවේචන තිබුණා. ජනාධිපතිවරයා සහෝදරයා වීම මේ යුද්ධය ජය ගන්න හේතුවක් වුණාද?

පි – අනිවාර්යයෙන්ම ඒකට උදාහරණ එමටයි. ඒ නිසාම තමයි අපි යුද්ධය ජයග්‍රහණය කළේ. මට කියලා තියෙනවා මට ඉස්සරහින් හිටිය ආරක්ෂක ‍ලේකම්ලා විඳපු දුෂ්කරතාවන්. ෆයිල් එකකුත් අරගෙන ජනාධිපතිතුමා හමුවෙන්න යනවා. ඊළඟ දවසේ නැවත එනවා ෆයිල් එක පෙන්වන්න බැරි වුණා කියලා. ජනාධිපතිතුමා මගේ සහෝදරයා නිසා ඕනෑම වෙලාවක එතුමා හමුවෙන්න කතා කරන්න මට පුළුවන්. සමහර තීන්දු තීරණ තනිවම ගන්න පුළුවන්. ඒ දේවල් තමයි ඉවහල් වුණේ අපේ ජයග්‍රහණයට.

දැන් උදාහරණයකට සරත් ෆොන්සේකා පත් කිරීම මං හිතන්නෙ නෑ වෙන කෙනෙකුට කරන්න පුළුවන්කම තිබුණා කියලා. ප්‍රශ්න පිට ප්‍රශ්න එද්දී එයාගේ සේවා කාලය වසරින් වසර දීර්ඝ කිරීම, ඔය දේවල් කළේ මම ඒ තනතුරේ හිටිය නිසා.
අනික හමුදාව මේ අයුරින් වැඩි කිරීම, අනික ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනගා ගන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්න පහසු වුණේ ඒ සම්බන්ධය හින්දා. අපිත් එක්ක මොන රටක් තරහ වුණත් යුද්ධයට සෘජුවම බලපෑමක් කරන්න පුළුවන් ඉන්දියාවට විතරයි කියලා මට අවබෝධයක් තිබුණා. මට වඩමාරච්චි සිද්ධිය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා මං ලොකු උත්සාහයක් ගත්තා ඉන්දියාව අපිත් එකක් සහයෝගයෙන් තබා ගන්න. මං ඒකට වැඩ පිළිවෙළක් හැදුවා. මෙහෙන් නිලධාරීන් තුන්දෙනයි ඉන්දියාවෙන් තුනයි මෙහෙන් මමයි බැසිල් රාජපක්ෂයි ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංගයි. එහෙත් ආරක්ෂක උපදේශක නාරායන්, විදේශ ‍ලේකම් ශංකර් සහ ඉන්දීය ආරක්ෂක ‍ලේකම් සිං ඇතුළු අපි හයදෙනා නිතරම මුණගැසුණා. ඒ මුණ ගැසීම්වලින් දැඩි විශ්වාසයක් අපි අතරේ ගොඩනැගුණා.

යුද්ධය අවසන් වේගෙන එද්දී කරුණානිධි මාරාන්තික උපවාසයක් පටන් ගත්තා. මට දවසක් සවස පහට විතර ඉන්දීය විදේශ ‍ලේකම් ශිව ශංකර් මෙනන් මගේ දුරකථනයට කතා කරලා කිව්වා ගෝඨා ඉතාම සංවේදී අවස්ථාවක් කරුණානිධි මාරාන්තික උපවාසයකට ගිහින් තියෙනවා. මේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ගන්න අපිට ජනාධිපතිතුමාව මුණගැහෙන්න ඕන කියලා. මං කිව්වා විනාඩි පහක් මට දෙන්න කියලා. එහෙමම ජනාධිපතිතුමාට කතා කළා. ජනාධිපතිතුමා කිව්වා හරි එන්න කියන්න කියලා. විනාඩි දහයක් ඇතුළත අවශ්‍ය දේවල් කරන්න මට හැකියාව ලැබුණා. ඔවුන් රෑම ලංකාවට ආවා. අපි ඊට පස්සෙන්දා දවල් ජනාධිපතිතුමා මුණ ගැහුණා. ජනාධිපතිතුමා නාරායන්ගේ පිටට තට්ටු කරලා “ආපහු පරිප්පු දාන්න නොවෙයි නේද ආවේ” කියලා විහිළුවකුත් කරලා අපි හයදෙනයි ජනාධිපතිතුමායි මේ සිද්ධිය ගැන සාකච්ඡා කළා. ඒ හමුවෙන් පස්සේ අපිට පුළුවන්කම ලැබුණා කරුණානිධිගේ උපවාසය නවත්වන්න.

නිකමට හිතන්න මේ සම්බන්ධය නොතිබුණා නම් ආරක්ෂක ‍ලේකම් කාටද කතා කරන්නෙ. ඔහු ඉන්දියාවේ මහ කොමසාරිස්ට කතා කරන්න ඕන. මහකොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ‍ලේකම්ට කතා කරන්න ඕන. ‍ලේකම් ඇමැතිට කියන්න ඕන. ඇමති ජනාධිපති හමුවෙන්න ඕන. ජනාධිපතිට සිද්ධිය තේරුම් කරලා දෙන්න ඕන. සුමාන ගාණක් යන වැඩක්. එහෙම වුණා නම් අපිට යුද්ධය නතර කරන්න බලපෑම් එනවා. ඇත්තටම මෙන්න මේවා තමයි මේ යුද ජයග්‍රහණයේ හේතු. තිරේ පිටුපස මේ කතා බොහෝ දෙනා දන්නෙ නෑ.

ප්‍ර – යුද්ධ කරගෙන යන අතරතුර විශාල ජාත්‍යන්තර බලපෑමක් අපට එල්ල වෙනවා යුද්ධය නතර කරන්න කියලා. කොහොමද ඒ තත්ත්වය කළමනාකරණය කර ගත්තෙ?

පි – ඔව්. අපිට ලොකු අභියෝග එල්ල වුණා. අපි ආයුධ ගෙනාවේ චීනයෙන්. ඒ කා‍ලේ ඔලිම්පික් උළෙල කළේ චීනයේ. චීනයට විශාල බලපෑමක් එල්ල වූ නිසා අපි ඇණවුම් කරපු බෝම්බ එන්න ප්‍රමාද වුණා. ඒ වෙනකොට සති දෙකක් සඳහා පමණයි අපි ළඟ බෝම්බ තිබුණේ. මේකේදී තවත් එකක් කියන්න ඕන. ක්‍රියාන්විතයේ සිටි නිලධාරීන් සෑහෙන පිරිසක් මම පෞද්ගලිකවම දැනගෙන හිටියා. ක්‍රියාන්විත අධ්‍යක්ෂ කියලා තනතුරක් තියෙනවා. එයා තමයි අවි ආයුධ සම්බන්ධයෙන් හමුදාපතිවරයා සමග සම්බන්ධීකරණය කරන්නේ. ඒ තනතුර භාරව සිටියේ මේජර් ජෙනරාල් උදය පෙරේරා. මේ අය මගේ යටතේ සේවය කරපු මම පෞද්ගලිකවම දන්න අය. ඒ සම්බන්ධතා නිසා උදය පෙරේරා කෙළින්ම ආයුධ ප්‍රමාණ ගැන මාව දැනුවත් කරනවා. ඔහු මට කතා කරලා කිව්වා “සර් තව සති දෙකකටයි මෝටාර් බෝම්බ තියෙන්නේ. මොනවා හරි කරන්න කියලා. මං හිතන්නෙ නෑ ඒ වගේ නිලධාරියකුට සෘජුවම වෙන ආරක්ෂක ‍ලේකම් කෙනෙක් හිටියා නම් කතා කරන්න පුළුවන් කියලා.

මං ජනාධිපතිතුමාට මේ ගැන කිව්වා. ඒ වෙනකොට තිබුණු ලංකා ලොජිස්ටික්ස් ආයතනයෙන් මම දැන ගත්තා පාකිස්තානයෙන් මෝටාර් ගෙන්නා ගැනීම තමයි හොඳම වැඩේ කියලා. මම ජනාධිපතිතුමාට මේ ගැන පැහැදිලි කළාම ජනාධිපතිතුමා එව‍ලේම පාකිස්තාන ජනාධිපති ජෙනරාල් මුෂාරෆ්ට කතා කළා. ඔහු අපිට ආයුධ දෙන්න කැමැති වුණා. මේ දේ කරන්න හැකියාව ලැබුණේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයින් සමග ගොඩනගාගෙන තිබූ මිතුරු සබඳකම් නිසා. ඒ වගේම ඉහළ සිට පහළ දක්වා සියලු නිලධාරීන් සමග ඉතාම හොඳ සම්බන්ධයක් මට තිබුණු නිසා.

ඔය අද සරත් ෆොන්සේකා මොනවා කිව්වත් වවුනියාවේ, මඩකලපුවේ යාපනේ තිබුණු සෑම සම්බන්ධීකරණ රැස්වීමකටම ගියේ මම. මමයි ඒවා මෙහෙයෙව්වේ. එයාට ඒවා නෑ කියන්න බෑ. භට පිරිස්වලට කතා කරලා ඒ අය දිරිමත් කළේ මම. ඔය ජයග්‍රහණය පෙනි පෙනී තමයි එයා මාව දාලා තනියෙන් යන්න ගත්තේ. (සිනා) නැත්නම් හැමතැනම ගියේ මාත් එක්ක. ඇත්තටම ඒක මගේ රාජකාරිය නොවෙයි. ඒක එයාගේ රාජකාරිය.

ප්‍ර – ඔය කා‍ලේ වෙනකොට ඔබට සරත් ෆොන්සේකා මහත්තයාගේ වෙනසක් දැනුණද?

පි – යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා තහවුරු වෙච්ච තැන ඉඳලා තමයි එයා වෙනස් වුණේ. (සිනා) එතකොට මං දැන ගත්තා එයා වෙනස් වෙලා කියලා.

ප්‍ර – නන්දිකඩාල්වලට ප්‍රභාකරන් ඇතුළු පිරිස කොටු කළාට පස්සේ මැයි 18 වැනිදා ප්‍රභාකරන් සොයා ගැනෙන තුරු කාලය බොහොම තීරණාත්මකයි. ඒ දින දෙක තුන ගැන කතා කළොත්?

පි – ඔව්. ඒ දවස් දෙක තුනම ඉතාම තීරණාත්මක වුණා. හැබැයි ඒ වෙනකොට අපේ සියලුම බලය යොදවලා තිබුණේ. ඒ අයත් හොඳ සටනක් දුන්නා. ප්‍රධානම ප්‍රශ්නය වුණේ සාමාන්‍ය ජනතාව මේ පැත්තට ගැනීම. ඒකට විශාල වශයෙන් සාකච්ඡා කළා. විවිධ සැලසුම් යොදා ගත්තා. මේ වෙනකොට හමුදා සේනාංකවලට අණදෙමින් සිටි ෂවේන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, ජගත් ඩයස්, ප්‍රසන්න ද සිල්වා ගැන මගේ ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වෙනකොට සියල්ල සොයා බලමින් කළමනාකරණය කළේ මම. මොකද සරත් ෆොන්සේකා ලංකාවේ හිටියේ නෑ. ජනාධිපතිතුමත් හිටියේ පිට.

අනික මේ වන විට අපිට ගොඩක් බටහිරින් බලපෑම් ආවා. නමුත් අපිට ඕන වුණේ නෑ ආයෙත් අර පළමු තැනට එන්න. අපි ඒ ජාත්‍යන්තර බලපෑම්වලට යටවෙලා ප්‍රභාකරන්ට නිදහස් වෙන්න ඉඩ දුන්නා නම් මේ යුද්ධය ආයේ මුල ඉඳලම පටන් ගන්නවා. අවුරුදු තිහක් තිස්සේ අපි මේක දැක්කානේ. ඒ නිසා තමයි අපි මේකේ අවසානයක් දකින්න ඕන කියන තීරණයට ආවේ. මම දකින්නෙ මෙතනදී දේශපාලන නායකත්වයේ තියෙන වැදගත්කම. තීරණ ගන්න තිබුණු ශක්තිය. අද සීතල කාමරවල ඉඳගෙන මේවා ගැන විවිධ විශ්‍ලේෂණ කරන්න පුළුවන්, විවිධ දේ කියන්න පුළුවන්. නමුත් ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ කියන චරිතයට පුළුවන් වුණා ඒ නිර්භීත තීරණය අරගෙන රට වෙනස් කරන්න.

ප්‍ර – යුද්ධය අවසන් වුවත් ඊට දායකත්වය දුන් භටයා අමතක නොකර ඔහු වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඔබ දියත් කළ බව නොරහසක්. ඒ ගැන ටිකක් කතා කළොත්

පි – මගේ තරුණ කාලයම ගෙවී ගියේ හමුදාවේ. සෙබළා කෙරේ විශාල බැඳීමක් මගේ තියෙනවා. මිය ගිය සෙබළුන්ගේ පවුල් රැක ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් මම ආරම්භ කළා. ඒ වගේම ආබාධිත සෙබළා. මේ අය වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා මට කල්පනා වුණේ යුද්ධය පටන් ගත්තු කාලෙමයි. මම හැම දිස්ත්‍රික්කෙකටම ගියා. ප්‍රශ්න ගොඩක් තිබුණා. සෑහෙන්න ප්‍රශ්න විසඳුවා. මට ගොඩාක් දෙනෙක් කියපු දෙයක් තමයි නිවාස ප්‍රශ්නය. මම ඒකත් පටන් ගත්තා. රණවිරුවන් වෙනුවෙන් විශාල නිවාස ප්‍රමාණයක් මා හැදුවා.

ප්‍ර – යුද්ධය අවසන් වුණාට පස්සේ ඔබ කොළඹ නගරය ජාත්‍යන්තර ප්‍රමිතියට ගැළපෙන ලෙසින් හැඩ කරනවා. කුණු කඳු නැති ලස්සන කොළඹක් ඔබ යටතේ ඉදිවෙනවා. මේ කොළඹ නගර සංවර්ධනය කාගේ සැලසුමක්ද?

පි – ඒක තවත් අභියෝගයක්.ඊශ්‍රාලයේ බුද්ධි අංශයේ විශ්‍රාමික හමුදා නිලධාරියකුගේ උපදෙස් ලබා ගන්න අපිට අවස්ථාවක් ලැබුණා. මේ පුද්ගලයා කොළඹට ආවා. ඔහු මාව හමුවන්න ආවම මම ජනාධිපතිතුමා ළඟට එක්කරගෙන ගියා. අපිට ඕන වුණා බුද්ධි අංශ මෙහෙයවීම පිළිබඳව උපදෙස් ගන්න. නමුත් ඔහු වාඩිවුණ හැටියේ කිව්වා ඔබේ රටට ඇතුළුවන පුද්ගලයකුට දෙන සිතිවිල්ල හරිම නරකයි. මම කටුනායක ඉඳලා එන කොට දැක්කේ අවිධිමත් සංවර්ධන වෙච්ච කුණූ ගොඩක් කියලා මේ මනුස්සයා ජනාධිපතිතුමාට ඔය කතාව කිව්වා.

මට ඕක තදින් හිතට වැදුණා. මට මේ කොළඹ සංවර්ධනය ලැබුණාම මම සෑම කෙනෙකුගෙන්ම විස්තර හොයලා බලලා සැලසුමක් හැදුවා. මුලින්ම මට ඕන කළේ යුද්ධය නිසා හිර වෙලා තිබුණු නගරය නිදහස් කරන්න. මං මුලින්ම තෝරා ගත්තේ කුරුඳුවත්ත ‍පොලිසිය. මම ‍පොලිසියේ තිබුණු තාප්පය කැඩෙව්වා. ඉස්සරහ ‍පොඩි ගොඩනැගිල්ලක් තිබුණා. ඒකත් කැඩෙව්වා. ඊට පස්සේ අර පරණ ගොඩනැගිල්ල ලස්සන කරලා ලයිට් දාලා ගත්තම හැමෝම කිව්වා පුදුම වෙනසක් කියලා. ඊට පස්සේ රාජ්‍ය ‍ලේඛනාගාරය වටේ තාප්පේ කැඩුවා. මම ඔහොම වැඩ කරගෙන යනකොට ලෝක බැංකුවේ මෙරට නිත්‍ය නියෝජිතයා ආවා මං හමුවෙන්න.

ඔහු මට කිව්වා ඔබතුමා මේ කරන දේ ගැන මං බොහොම සන්තෝෂයි. අපිටත් මේකට දායකත්වයක් දෙන්න පුළුවන්ද කියලා. මතෛක් කල් වුණේ අපි ලෝක බැංකුව පස්සේ ගියපු එකනේ. මේකෙදී ලෝක බැංකුව මගේ පස්සෙන් ආවා.
ලෝක බැංකුවෙන් ණය ආධාරයක් ගන්න අවුරුදු ගාණක් යනවා. මං එයාට කිව්වා මට මේක ඉක්මනට ඉවර කරගන්න ඕන. ඔයාලගෙන් ණය ගන්න සෑහෙන කාලයක් යනවනේ කියලා. නෑ..නෑ.. අපි ඉක්මන් කරලා දෙන්නම් . අපිට සැලසුම් ටික දෙන්න කීවම අපි ඉක්මනට සැලසුම් හදලා භාර දුන්නා. ඒ කිව්වා වගේම ඉතාම ඉක්මනින් අපිට සියලු ණය ලැබුණා. කොළඹට අමතරව ගාල්ලටයි, නුවරටයි මං සැලසුම් හැදුවා. ඒවට සල්ලි ඇවිත් තියෙන්නේ. මේ අයට තියෙන්නේ ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න විතරයි.

ප්‍ර – සමහරු කියනවා ඇහුණා ගෝඨාභයට පුළුවන් වම, දකුණ කියන්න විතරයි කියලා?

පි – මගේ හැකියාවන් මම දකුණුට වඩා එහා තියෙන බව මම රාජ්‍ය සේවකයකු ලෙසත් හමුදා සෙබළකු ලෙසත් පෙන්නලා තියෙනවා. ඔය කියන අයට තමයි වම, දකුණ මාරු වෙලා තියෙන්නේ. හැබැයි මට වම දකුණ මාරු වෙලත් නෑ උතුර දකුණ මාරු වෙලත් නෑ. හැබැයි අපිට බණින බොහෝ දෙනකුට නම් අද වම දකුණ විතරක් නොවෙයි උතුර දකුණත් මාරු වෙලා කියලා නම් පේනවා.

ප්‍ර – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි රාජපක්ෂලයි අතරේ ඉදිරියට මොනව වගේ සම්බන්ධයක් තියේවිද?

පි – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමේදීත් රාජපක්ෂවරු මුල් වුණා. ශ්‍රීලනිපයේ බලය ඉහළින්ම තිබුණේ මහින්දරාජපක්ෂ ජනාධිපති වුණ කා‍ලේ. නමුත් රාජපක්ෂවරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන මේ ගැරහිලි බැලුවම ජනතාව අහන්නේ මොකටද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලිලා ඉන්නෙ කියලා. අද මිනිස්සු කියන්නේ මහින්ද රාජපක්ෂ කිව්වත් ශ්‍රීලනිපයට ඡන්දය දෙන්න කියලා අපි දෙන්නෙ නෑ කියලයි. එවැනි මතයක් ජනතාව අතරත් ගොඩනැගිලා තියෙනවා. අපි බලමු මොකද වෙන්නෙ කියලා.

ප්‍ර – මෙරට දේශපාලනයේ යම් රික්තයක් අපි දකිනවා. ඒක පුරවන්න ඉඩක් ඔබට ලැබුණොත්?

පි – මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මගේ සහෝදරයා කියා කියනවා ‍නෙවෙයි. ඒ වගේ තවත් නායකයෙක් මේ රටේ බිහි වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ. ඒ පරිණත භාවය, නොබියව තීන්දු තීරණ ගැනීම, ජනතාව සමග ගනුදෙනු කිරීම ආදිය අතරේ එතුමා ඉන්නේ ඉතාම ඉහළින්. ඔය හේතු තමයි මේ වෛරයට මුල.

මෙහෙමයි අපි කවදත් මේ රටට ආදරය කරපු මිනිස්සු. අපි ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් දේ වෙනත් පැත්තකට යනවා නම්, ඒ වගේම ඒ දේවල් රැක ගන්න ජනතාව සමග පෙළ ගැසී ඊට නායකත්වය දෙන්න වුණත් මම සූදානම්.

සාකච්ඡා කළේ – චන්දන කාරියවසම්
chandana@rivira.lk

Top