Featured

අම්පාරේ දිසාපති, රජයේ ගොඩනැගිල්ලක් හකීම්ගේ පක්ෂ කාර්යාලයකට දෙයි

අම්පාර දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතාගේ මැදිහත්වීම මත දිසාපති කාර්යාලය භාරයේ ඇති ‘ඩී-1’ නම් රජයේ නිළ නිවාසයක්, පක්ෂ කාර්යාලයක් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය රාවුෆ් හකීම් මහතා වෙත පවරා දී තිබේ.

මෙම නිවාසය පිහිටා ඇත්තේ අම්පාර පැරකුම් මාවතට සහ රීගල් පටුමගට මුහුණලාය. මෙම නිවාසය මෙසේ වෙන් කර දී ඇත්තේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ උවමනාව මත බව ද වාර්තා වේ. එම ගොඩනැගිල්ල මේ වන විටත් මුස්ලිම් කොන්ග්‍රසයේ මෙහෙයවීමෙන් ප්‍රතිසංස්කරණය කරමින් සිටියි. ඒ සඳහාය දිසාපතිවරයා විසින් සිය අවසරය හා අනුග්‍රහය ලබා දී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් අම්පාරේ පක්ෂ කාර්යාලයක් පිහිටවීමට රජයේ නිළධාරීන් විසින් පහසුකම් සැපයීම ප්‍රදේශයේ ජනතාවට දැඩි ප්‍රශ්නකාරී බවක් නිර්මාණය කර තිබේ. එසේම, මුස්ලිම් කොන්ග්‍රසයේ පක්ෂ කාර්යාලයක් වෙනුවෙන් රාජ්‍ය දේපලක් පවරා දීමේ දිසාපතිවරයාගේ උනන්දුව සම්බන්ධයෙන් ද ජනතාව ප්‍රශ්න කරයි.

අම්පාර දිසාපතිවරයා විසින්ම, මින් පෙර අමාත්‍යවරයකු වූ අතාවුල්ලා මහතා වෙනුවෙන් ද මෙලෙසම රජයේ ගොඩනැගිල්ලක් පවරා දුන්නේය. ඒ, ඔහුගේ පක්ෂ කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහාය. ඔහුට මන්ත්‍රීධුරය අහිමි වී හය මසක් ගෙවී ගිය ද අද වන විටත් එම ගොඩනැගිල්ල ආපසු ලබා දීමට කටයුතු කර හෝ ආපසු ලබා ගැනීමට කටයුතු නොමැත. එම ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ මංගල මහා විහාරය ආසන්නයේ දුටුගැමුණු මාවතේය.

රජයේ දේපල මෙලෙස ලේකම්වරුන්ගේ හා දිසාපතිවරුන්ගේ උවමනාව මත දේශපාලන පක්ෂ වල කාර්යාල ඉදි කිරීමට ලබා දීම සිදු කරන්නේ කුමන පදනමක් යටතේ දැයි ජනතාව ප්‍රශ්න කරයි. මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ජනතාව චෝදනා කරන්නේ දිසාපතිවරයා හා සෙසු රාජ්‍ය නිළධාරීන් මුස්ලිම් කොන්ග්‍රසයේ රුපියල් සත වලට යට වී ඇති බවට දැඩි සැකයක් පවතින බවයි.

මේ පිළිබඳ වහාම විදිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාව අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි

Top