Featured

අර්ජුන,ධම්මික මෛතී‍්‍රව ගොනාට අන්දවයි

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) වරායේ විවෘත කර ඇත්තේ නව බහලූම් නිශ්කාෂන මධ්‍යස්ථානයක් (ගුදමක්) නොව පැරණි බහලූම් නිශ්කාෂන මධ්‍යස්ථානයක් බව වරාය සේවකයෝ කියති. නව ගදමක් යැයි පවසමින් වරාය ඇමති අර්ජුන රණතුංගගේ සහ වරාය සභාපති ධම්මික රණතුංග ජනාධිපතිවරයාව අන්දවා ඇතැයි සේවකයෝ චෝදනා කරයි.

ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණූ CFSI 1 මෙම බහලූන් නිශ්කාෂන මධ්‍යස්ථානය 2013 මැයි මස 23 වනදා කොළඹ වරායේ ඇතිවූ හදිසි ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ විය. එවකට වරාය සභාපතිවරයා වූ පි‍්‍රයත් බන්දු වික‍්‍රම මහතා මෙම ගුදම නවීකරණය කර ඉදිකිරීම සදහා ප‍්‍රතිපාදන වෙන්කල අතර, 2014 වසරේදී එහි ඉදිකිරීම් ආරම්භ කෙරිනි. ඒ සදහා වෙන්කල මුදල රුපියල් මිලියන 130කට ආසන්නය. ඉදිකරීම් අතරමග පවතිද්දී හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වූ අතර, විෂය භාර ඇමතිවරයා ලෙස අර්ජුන රණතුංග පත්විය.

ඒ අනුව ඊයේ විශාල උත්සවයක් පවත්වා විවෘත කෙරුණේ වත්මන් යහපාලන ආණ්ඩුව ආරම්භ කල ව්‍යාපෘතියක් නොවේ. එම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදීයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති උත්සවයට වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කිසිදු ආරාධනයක් ලැබී තිබුනේද නැත. සරල චාම් උත්සව පවත්වන බවට පොරොන්දු වූ යහපාලකයන් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීම සදහා ලක්‍ෂ 125කට ආසන්න මුදලක් වැයකර ඇති බවටද සේවකයෝ චෝදනා කරති.

යහපාලනය යටතේ වරාය සංවර්ධනය වන බව පෙන්වීමට ඇමතිවරයා සහ සභාපති සොහොයුරා ජනාධිපතිවරයා රැුවැට්ටවීම පිලිබදව සේවකයෝ කණගාටුව පල කරති. මෙම උත්සවයේදී ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුව රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන බව තමන් දැනගත්තේ පුවත්පත්වලින් බවයි. එවැනි කිසිදු පියවරක් නොගන්නා බව ජනාධිපතිවරයා මෙහිදී කීවද වරායේ කොටසක් පෞද්ගලීකරණය කිරීම සදහා මේ වන විටත් සියලූ සැලසුම් සකස්කර අවසන් බවද වරාය සේවකයෝ කියති.

Top