Breaking
24 Feb 2025, Mon

අලියා යන්නේ දිවිය ලෝකේ නෙමේ අපායේ…දැන්වත් වලිගේ අත හැරපන්

එක්සත් ජාතික පක්ෂ වලිගයේ එල්ලී දිවිය ලෝකයේ යන්නට බලා සිටි ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට යාමට සිදු ඇත්තේ දිවිය ලෝකයට නොව අපායට බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් දැන්වත් වලිගය අතහැර බිමට පැන්නොත් ඔවුන්ට දිවිය ලෝකය කෙසේ වෙතත් ඊළඟ ඡන්දයට ගමටවත් යා හැකි වනු ඇතැයි පැවසූ රණතුංග මහතා එසේ නොවුණහොත් ඊළඟ මැතිවරණයෙන් පසු රට අතහැර විදේශ ගත වනු හැර විකල්පයක් ඉතුරු නොවනු ඇති බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ආසනයේ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ ‍උඩුගම්පොළ දී පසුගිය දා පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ රටේ විරුද්ධ පක්ෂයේ කණ්ඩායමක් විසින් පවත්වන ලද සාර්ථකම රැලිය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනවාරි මාසේ 27 වැනි දා නුගේගොඩ දී පැවැත්වුණා. ඒ රැලියට රටේ සෑම තැනකින්ම පැමිණි ජනතාව දුන්න පණිවිඩය තමයි ජනතා ද්‍රෝහී විදියට කටයුතු කරන මේ ආණ්ඩුව දැන් ගෙදර යා යුතුයි කියන එක. ඒ  පණිවිඩය ආණ්ඩුව තේරුම් ගත යුතුයි.

ආණ්ඩුවට එරෙහිව මේ රටේ ජනතාවගේ තිබෙන විරෝධය ජනාධිපති, අගමැති හොඳින් දන්නවා. ආණ්ඩුවේ ඇමැති කටු සූප්පන්න ගිහින් ඉන්න ශ්‍රී ලංකා ඇමැතිවරුනුත් ඒක දන්නවා. ඒ දන්න නිසා තමයි ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය දිනෙන් දිනම කල් දාන්නේ. ඡන්දෙ තිබ්බොත් හවුලේ දීග කන පක්ෂ දෙකටම අත්වෙන්නේ එකම ඉරණමක්.

නුගේගොඩ රැලියෙන් පස්සේ ආණ්ඩුව තව තවත් බය වෙලා තිබෙනවා. ජනාධිපතිවරණයෙන් අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගිහිල්ලත් මහින්ද මහත්තයාට මේ රටේ ජනතාවගේ තිබෙන කැමැත්ත නුගේගොඩ රැලියෙදි ඔප්පු වුණා. දැන් මේ ආණ්ඩුවට මහින්ද මහත්තයා වගෙම එතුමා වටේ ඉන්න අපි හැමෝමත් වහ කදුරු වගෙයි.

මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලම කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාද විරෝධීව බව කවුරුත් දන්නවා. තමන්ගේ මතයට එකඟ නොවන සෑම දේශපාලනඥයකුම, පුරවැසියකුම මර්දනය කිරීම තමයි මේ අයගේ ප්‍රතිපත්තිය. ජනතා රැල්ල ඒකාබද්ධ විපක්ෂය පැත්තට කියලා දිනෙන් දින තහවුරු වෙන්න වෙන්න මේ අයගේ මර්දනය ඉහළ යනවා. ඒ හින්දා ඉදිරි දින කිහිපයේ දී ඒකාබද්ධ විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන්ට රිමාන්ඩ් බත රස බලන්න වෙයි.

නුගේගොඩ රැලියට ආපු සෙනඟ ගැන විවිධ ඇමැතිවරුන් විවිධ දේ කියනවා. සමහරු කියනවා සෙනඟ නෑ කියලා. හැබැයි මේ රටේ මධ්‍යස්ථ ජනතාව දන්නවා ඒ රැලියට සෙනඟ හිටියද නැද්ද කියලා. රැලියට සෙනඟ එන්නේ නැහැ කියලා මුලින් කියපු ඩිලාන් පෙරේරා ඇමැතිවරයා දැන් කියනවා ඒ ආවේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් බව ආණ්ඩුව තේරුම් ගන්න ඕනෑ කියලා.

හැබැයි ඩිලාන් මහත්තයෝ ඒ ආවේ එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි එ. ජා. පයේ වලිගයක් වෙලා ඉන්න ශ්‍රී ලංකා ඇමැතිවරුන්ටත් විරුද්ධ ජනතාව බව මතක තියා ගන්න ඕනේ. අද ජනතාවගේ විරෝධය තියෙන්නේ අගමැති ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට පමණක් නොවෙයි. අගමැතිට ඕනෑ විදියට රට පාලනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ටත් ජනතාවගේ දැඩි විරෝධයක් තිබෙනවා.

ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරලා එක්සත් ජාතික පක්ෂයේ පොදු අපේක්ෂකයා විදියට ගියේ අලියගේ නැට්ටේ එල්ලිලා දිවිය ලෝකයේ යන්නයි. ජනාධිපතිවරයා යනවා දැකපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් කණ්ඩායමකුත් තමන්ගේ නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂ මහත්තයාට පස්ස හරවලා ගිහින් ජනාධිපතිගෙ කකුල් දෙකේ එල්ලුණා දිවිය ලෝකයේ යන්න කියලා හිතාගෙන.

දැන් කාටත් තේරෙනවා අලියා යන්නේ දිවිය ලෝකේ නෙමේ අපායේ කියලා. දිවිය ලෝකයේ යන්න ගිය අපේ උන්දලාටත් සිද්ධ වෙලා තියෙන්නේ අලියා එක්කම අපායට යන්නයි. අපි නම් මුල ඉඳලම දැනගෙන හිටියා අලියා යන්නේ අපායට කියලා. මොකද පාරම්පරික ශ්‍රී ලංකාකාරයෝ වෙච්ච අපි දැකලා තියෙනවා අලියා කීපවරක්ම අපායට ගිය හැටි. හැබැයි අපේම සමහරු ඇමැති කටුවලට ලොල් වෙලා අලියට රැවටුණා.

එදා නුගේගොඩට ඇවිත් හිටියේ අලියාගේ නැ‍ට්ටෙ එල්ලිලා දිවිය ලෝකේ යන අයට විරුද්ධ ජනතාවගෙන් කොසටක් පමණයි. ඒ නිසා දැන්වත් අලියගෙ නැට්ට අතහැරලා බිමට පැන්නොත් දිවිය ලෝකය කෙසේ වෙතත් ඊළඟ ඡන්දෙදි ගමටවත් යන්න පුළුවන් වෙයි. ඒ හින්දා ඔය හවුල් ආණ්ඩුවට තිත තියලා ජනතාවාදී ආණ්ඩුවක් හදන්න එක්වෙන්න කියලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට ආරාධනා කරනවා.

ආණ්ඩුව තමන්ගේ හොරකම් වහගන්න විවිධ උපක්‍රම අනුගමනය කරනවා. යටගහන්න ගිය බැඳුම්කර වංචාව එළියට ආවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කරපු හෙළිදරව් නිසා. දැන් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් ඉන්නේ බැඳුම්කර හොරු ඇල්ලුවේ ඒ අය වගෙයි. හැබැයි ඒ අයගෙම ආණ්ඩුවෙන් බැඳුම්කර වංචාව කරද්දි මේ ඇමැතිවරුන් හිටියේ කසාය බීපු ගොලුවෝ වගෙයි.

බැඳුම්කර වංචාව ගැන රටේ ආන්දෝලනයක් ඇති වුණාට පස්සෙයි කට්ටිය සේරම එළියට බැහැලා කට ඇරියේ. කාට බොරු කළත් ජනතාවට බොරු කරන්න බැහැ. එක ඇමැතිවරයෙක් විගණකාධිපතිවරයා ඉවත් කරන්න සූදානම් වෙමින් සිටින බව දැනගන්න ලැබිලා තිබෙනවා. ස්වාධීනව කටයුතු කරන නිලධාරීන් කිසිවකුට කොන්ද කෙළින් තියන් වැඩ කරන්න මේ ආණ්ඩුව ඉඩ තියන්නේ නැහැ.

හැබැයි නිලමෙලා බේරන්න පොරොන්දු දෙන පොලිස්පතිලාට, මාධ්‍යවේදීන්ගේ කන පලන නාවික හමුදාපතිලාට ගැන මේ ආණ්ඩුව කිසිදු පියවරක් ගන්නේ නෑ. රන්ජන් රාමනායකලා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හොම්බ තලන්න හදනවා. ඒවා ගැන හොයා නොබලන මෙ ආණ්ඩුව ස්වාධීනව කටයුතු කරන විගණකාධිපතිට තනතුර අතහරින්න කියලා බලපෑම් කරනවා. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කයිවරු කියමින් ආපු ආණ්ඩුව අද කරන තරමක් කරන්නේ තකතීරු වැඩ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.