ලෝකයා

අලි – හක් – සීනු – ගිනිසිළු අවජාතක තොරණ

  • තොරණේ චිත්‍ර – චන්ද්‍රගුප්ත තේනුවර
  • තොරණේ කථා පිටපත සහ කවි රචනය – පිනාචාර්ය සරත් විජේසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක සහ ලූශන් බුලත්සිංහල.
  • තොරණේ සැලසුම්කරණය සහ විදුලි ආලෝකකරණය – ගෙයක්වත් වයරින් නොකළ විදුලි ඉංජිනේරු  චම්පික රණවක
  • සෙත් පිරිත් සජ්ජායනය – රතුඑලියේ අතන හිමි සහ අඹර දමිල හිමි ප්‍රමුඛ කුඩාපොළ භික්ෂු බලකාය
  • මහජනතාව හැසිරවීම – පිං මාසල් සරත් පොංසේකාගේ සහ සුදත් චන්ද්‍රසේකරගේ අණදීම යටතේ කීර්ති විජේබාහු බලකාය
  • එක්රැස්වෙන ජනතාවට කොයිවැයිනුත් උපරිම ලෙස සංග්‍රහ කිරීම  කවදත් තම  යුතුකම දත් රෝසි සේනානායකගේ සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මෙහෙයවීමෙන් සමන්මලී ගුණසිංහ ප්‍රමුඛ සමාජවාදී කාන්තා සංගමය
  • විවිධ සහ බහුවිධ සහය – අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක
  • සියලු කාර්යයන් සඳහා බරපැන – චන්ද්‍රිකා කුමාරතුංග,රුද්‍රකුමාරන් මගින් කොටි ඩයස්පෝරාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය

 

ජේ.වී.පී. සීයා සහ යූ.ඇන්.පී. ආච්චි සමග මුණුපුරා තොරණ බැලීමට පිටකෝට්ටේ හිරිකිත සිරිකොත ඉදිරිපිටට පැමිණේ.

මුණුපුරා මොකක්ද සීයෙ මේ ජාතක කතාව ?

ජේ.වී.පී. සීයා  –  බොල කොලුවො ඔය අලි – හක් – සීනු – ගිනිසිළු  අවජාතකය.

විරිදුකරු – අලි – හක් – සීනු – ගිනිසිළු  අවජාතකය නැවතත් තොරණට නැගුණු වගයි.

ජේ.වී.පී. සීයා  –  මොකෝ විරිදු උන්නැහැ තොරණ රෙදිවලින් වහල.

විරිදුකරු – ලොකුඋන්නැහැ බණ කතාකරනවා. තොරණ ලඟින් යන මිනිස්සු තොරණෙ රූප ටික දැක්ක   හැටියෙ ගල් ගහනව. ඉඳහිටවත් කෙනෙක් ආවම මං රෙද්ද උස්සල පෙන්නනවා.

යූ.ඇන්.පී. ආච්චි  විරිදු උන්නැහැ එහෙනං උස්සමුකො රෙද්ද.

විරිදුකරු – ඔන්න ඉස්සුව.

මුණුපුරා මොකද  විරිදු මාමේ තොරණෙ ලයිට් හරියට වැඩකරන්නැත්තෙ?

විරිදුකරු – ලයිට් හයිකරන්න දුන්නේ නම්දරාපු විදුලි ඉංජිනේරුවෙකුට. බලනකොට මිනිහ ගෙයක්වත් වයරින් කරල  නැහැ. මිනිහගෙ වගේම තොරණෙත් වයර් ෂෝට් ? ලයිට් නැති වෙලාවට මං ටෝච් එක ගහල තොරණ පෙන්නනවා.

ජේ.වී.පී. සීයා  –  විරිදු උන්නැහැ කියමු බලන්න තොරණෙ නිධාන කතාව.

විරිදුකරු – ඕන් අහගන්න.

එදා බැන්ද තොරණ               හංස

රටටම වින කරනු                පිණිස

යලි බැන්දනෙ  යක්ෂ            පිරිස

බරපැන  දුනි විදෙස්                අංස

 

වික්‍රමසිංහත්                          ආවා

පොංසේකත් සෙට්                  වූවා

බදියුර්දින්නුත්                       ආවා

හකීම් නානත්                          ආවා

 

මනෝ ගනේෂන්                     ආවා

රතන චම්පිකත්                        නෑවා

සම්බන්දන්නුත්                          ආවා

දෙයි මෙලෙසින් රට                 පාවා

 

කොටිත් එක්ක යමුකො      කඩේ

කොටියව බැඳගෙනම         බඩේ

මහින්දටම දාමු                 ලෙඩේ

ඩොලර් ලැබෙන නියම       වැඩේ

 

කරනට අප රටම                 භීත

එක්වී මුලු රැලම                 ප්‍රේත

අමතක කර දේ                 අතීත

ගයයි  මෙලෙස හංස            ගීත

 

මුණුපුරා ඒක නෙමෙයි විරිදු මාමේ කවුද අර කොටුවෙ ඉන්න නපුංසකය?

ජේ.වී.පී. සීයා  –  කට කට. බොල කොලුවො තොටත් බටලන්දෙ යන්න හිතිලද?

යූ.ඇන්.පී. ආච්චි –  ඒ අපේ වික්කරමසිංහ උත්තමය නොවැ.මේ පාර පච විද ප්‍රතිපත්ති පරකාසනයක් අරන් ඇවිල්ල තියෙන්නෙ. විරිදු උන්නැහැ කියමු බලන්න උන්නැහැගෙ වරුණේ මේ කොලුවට අහගන්න.

විරිදුකරු –  මේං  කිව්ව.

රටේ ගමන කරන          බකල

වැඩට රටේ හොඳට        පතල

ලංකරගත්තා                මංගල

සුදු මදිවද දැන්              සාගල

පෙර කළ මහ දස        අකුසල්

නිසා ජයක් නැති කිසි       කල්

පට්ට කපටි වෙමින්        රනිල්

රටේ  ගමන කරයි         බකල්

 

මෛත්‍රීට  බොරු                 ගරුසරු

පෙන්නා හොඳ    හිතක්          මිතුරු

දික්කලාට උඩින්                   හකුරු

රනිල් ගෙනේ යටින්              කතුරු

 

මුණුපුරා හරි ෂෝක් විරිදු මාමේ. අපේ ටීචර් කිව්වා රනිල් මාමගෙ නම ගිනස් පොතේ තියනව කියල වැඩියෙන්ම පැරදිච්ච නායකය  විදියට.

යූ.ඇන්.පී. ආච්චි  හිටපංකො අපේ ජහ පාලනේ ආවම උඹලගේ ටීචර්ව මාරු කරවනව තූත්තුකුඩියට.

ජේ.වී.පී. සීයා –  දැන් විරිදු උන්නැහැ මොකක්ද ඒ උත්තමයගෙ දේශපාලන ප්‍රතිපත්තිය?

විරිදුකරු –  මේං  කිව්ව.   

 

කොටිය කරෙන් ගෙන        යන්නම්

උතුරට ෆෙඩරල්              දෙන්නම්

ඇමරිකාව                   කියනවනම්

වැසිකිලියත්              ලෙවකන්නම්

 

ජේ.වී.පී. සීයා  – අම්මට සිරි ගජ ! නැන්දට කජු මද ! දැන් රටේ මිනිස්සු උන්නැහැ ගැන මොනවද කියන්නෙ?

විරිදුකරු –  මේං මෙහෙමයි.

දැන් දුන්නට හුඟක්               ප්‍රොමිස්

බැඳුම්කරෙන් ගැහුවා            කොමිස්

දැන්නම් වැඩ ඇනෙන              සයිස්

මාරු උනොත් හුඟක්               නයිස්

 

පාවා දෙන්නට                    හෙළයා

ආවා  මේ බත්                      බැලයා

ඩොලර් වලට පෙම්             කෙළියා

තුහ් නොදකිං                     මූසලයා

 

විරිදුකරු – කොහොමද වැඩේ ? හුඟ දෙනෙක් දැන් උන්නැහැට කියන්නෙ පලවෙනි පචබාහු කියල.

යූ.ඇන්.පී. ආච්චි –  නැත්තං නැත්තං.

මුණුපුරා කවුද ආච්චියෙ අර කොටුවෙ ඉන්න කොන්ඩේ කපපු ආච්චි ? ඇයි අර අත් දෙක උස්සල බැඳගෙන ඉන්නේ ?

ජේ.වී.පී. සීයා  –     බොල  කොලුවො කට කට. ඒ අපේ මද්දුම හාමු නොවැ.  ඒ උත්තමාව ඒ කාලෙ  අනුන්ගේ කොණ්ඩ කැප්පෙව්ව. දැන් තමුන්ගෙම  කොන්ඩේ කපාගෙන. ඔය අත් දෙක උස්සල බැඳගෙන ඉන්න එකට කියන්නෙ රට පනින මුද්දරාව කියල.

යූ.ඇන්.පී. ආච්චි  ඈ විරිදු උන්නැහැ මොකක්ද ඒ  උත්තමාව කියන්නේ.

 විරිදුකරු –  මෙන්න මෙහෙමයි.

රට කෙරුවා              දෙවාරයක්

අන්තිමේදි  රටම              හබක්

ආවා  නැවතත්                පාරක්

හැදුමට මෙහි දේශ           තුනක්

 

උන්නෙමි මං කට            බලියා

ඩයස්පෝර පෙම්           කෙළියා

කරනට වින වෙත          හෙලයා

තේරුවේමි බත්               බැලයා

 

මාගේ කොමි                    සනා

මගෙ තුරුලට                   එනා

මං උපදෙස්                     දෙනා

කපයි කොණ්ඩ                 මනා

 

හැට පැන්නත් මං             ආච්චි

පනින්න රිසිවෙයි            තාච්චි

ළඟදීම මං  සෙට්ට         පොච්චි

ඕනැ  වෙනව මට           පෝච්චි

යූ.ඇන්.පී. ආච්චි  අබුද්දස්ස කාලේ …!

ජේ.වී.පී. සීයා  –    විරිදු උන්නැහැ අර කොටුවෙ ඉන්න  අපේ නායක අනුර කුමාර සහෝදරයව අමතක කළාද ? විස්තරේ දෙන්න. හැබැයි  අර පුංචි  අම්ම එක්ක තියන  හුටපටේ ගැන කට හොල්ලනව නෙමෙයි.

විරිදුකරු –    බයවෙන්න එපා මං දෙන්නං. උන්නැහැ රතු අලි පැටිය.

 

අනුර අනුර මේ                  අහන්න

බොරු බේගල් එපා               ඔන්න

පුලුවන්නම් ගමට                 යන්න

පස්සෙ බැරියැ  රට             හදන්න

 

බල්ලොත් බත් නොකන      චරිතෙ

කිව්වොත් යයි වචන            අපතෙ

ඒකයි අපි                කියන්නැත්තෙ

ගමේ අයට මතක              ඇත්තෙ

 

රනිල්  එක්ක ඇලී                  ගැලී

අනුර කරණ නිසා                ජොලී

පක්ෂෙ ඇතුලෙ හරිම              වලී

පක්ෂෙ යනව කෑලි                හැලී

 

පුංචිට පෙම් කෙලින                එකා

රටටම බණ කියන                 එකා

යූඇන්පී      වසුරු                 කකා

විප්ලවේට  කරපි               කොකා

 

ජේ.වී.පී. සීයා  –     අම්මප කෙලිය නේද තාප්පෙට. මං ඉල්ලං කාගත්ත.

මුණුපුරා  සීයෙ.සීයේ. කවුද අර කණ්නාඩි දාපු කළු කෙට්ටු උස එකා.

විරිදුකරු –        හහ්  හහ්  හහ් . ඇයි ළමයො ඒ  විදුලි ඉංජිනේරු රණවක උන්නැහැ නොවැ. මේ තොරණෙ විදුලි ආලෝකකරණය බාර දුන්නේ උන්නැහැට. බලද්දි උන්නැහැ ගෙයක්වත් වයරින් කරලා නැහැ. අන්තිමට තොරණෙ වයර් ෂෝට්. ඒකනේ   මං සමහර වෙලාවට  ටෝච් එක ගහල තොරණ පෙන්නන්නෙ.

ජේ.වී.පී. සීයා – මේ මේ විරිදු උන්නැහැ, කොලුවට රණවක උන්නැහැ  ගැන කිව්වට කමක්   නැහැ.  හැබැයි    2009 යෙ දෙසැම්බර් මාසේ මාසෙ 8 වෙනිද  හවස පහට ලංකා ඊ නිව්ස් එකේ  ගිය විස්තරේ නං කියන්න එපා.

විරිදුකරු –     පිස්සුද ලොකුඋන්නැහැ පොඩි උන් ඉස්සරහ නෙමෙයි ලොකුඋන්නැහැල ඉස්සරහවත් කියන්න  පුලුවන්ද ඒව? එහෙම චරිත කුණුහරප පත්තරවලවත් නැහැ.

මං දන්නවනේ ඒක ලිව්ව ප්‍රගීත් එක්නැළිගොඩ උන්නැහැට 2010යෙ ජනවාරි විසිහතර වෙද්දි වුන දේ.

රණවක උන්නැහැ මෙහෙම කියනව.

 

විකෘතියම                       එදා

කළා ගෑණු                      බදා

බෙදුණු රටක්                   සදා

උරුම කරමි                   මෙදා

 

අදනං මං                        වෙදා

කසාදේ වග                      එදා

හෙළි වුනොතින්              මෙදා

මට කෙලවෙයි                  සදා

 

පොත් ලිව්වෙමි              බලා

අද එය එළි                  වෙලා

රට බෙදමිය                   පලා

මං මගෙ හක                 පලා

 

යූ. ඇන්. පී. ආච්චි  බුදු අම්මෝ ඔය හොඳටෝම ඇති.

 

විරිදුකරු –  හැබැයි උපාසකම්මේ උන්නැහැ මග එද්දි දූලට කියන්න මේ කවිය මතක තියාගත්තොත් හොඳයි.

 

විකෘති කම්                   සුවේ

මහා පවකි                   ලොවේ

රණා එනව                    දුවේ

දුවපන්                     වස්තුවේ

 

ජේ.වී.පී. සීයා – දාන්නකෝ විරිදු උන්නැහැ පහක්.

 

මුණුපුරා  කව්ද සීයෙ අර කොටුවෙ ඉඳන් ගෑණුන්ට ඇහැ දාගෙන ඉන්නෙ.

 

ජේ.වී.පී. සීයා  –   උත්තමයන්ට අපහාස නොකර හිටු. ඒ බොල කලින් පාරක ජහ පාලනේ දෙන්න ආව  පිං මාසල් උත්තමය නොවැ. විරිදු උන්නැහැ කියමු බලන්න උන්නාන්සෙ ගැන.

 

විරිදුකරු –   ස්ත්‍රී දුෂණ                කරලා

යංතං බේරිල            ඉඳලා

ජනරල් පදවිය         හිඟලා

දුන් අත කෑවා          හපලා

 

ගැලවීමේ                 හමුදාවට

වත් උඹ හොඳ නෑ         කීවට

ගත්ත නේද කඩේ         යන්න

ඒ උඹේ පූරුවේ              පවට

 

පුල්ලි වැටුණ පක්ෂ       ටිකක්

යන්න හැකිද දුර         ගමනක්

කළා නේද මෝඩ         වැඩක්

අනේ සරත් වගේ          හරක්

 

  ජේ.වී.පී. සීයා  –   ඒක නෙමෙයි විරිදු උන්නැහැ අර කොටුවෙ ඉන්න මං-ගල උන්නැහැ ගැනත්   කිව්වනම්.

 

විරිදුකරු –   උන්නැහැ ගැන නොකිය පුලුවන්ද?

 

යටින් ඇවිත් වැඩේ                            දෙන්න

ගොබෙල්ස් වගේ බොරු               ගොතන්න

මංගල වගෙ කෙනෙක්                        ඔන්න

හම්බ වුනොත් තෑගි                          මෙන්න

 

කියන මුසාබස්                                ගලපා

යවයි මොහුව සතර                             අපා

මංගල හට ඔබ                                 පිටුපා

බැරිවෙලවත්  නැවෙනු                       එපා

 

විරිදුකරු –   හොඳට මතක තියාගනින් පොඩි එකෝ, උඹ මංගල උන්නැහැට පිටුපාල මැණිකක් අහුලන්නවත්  නැමෙනවාහෙම නෙමෙයි.

 

මුණුපුරා  කවුද සීයෙ අර තට්ටය ?

ජේ.වී.පී. සීයා  –      හා. හා. බොල කොලුවො ඒ අපේ රතු එලියෙ අතන. උන්නැහැ අංගම්මන සුමන වගේම රතු ලියන්ගේ අතනට ප්‍රියයි. උන්නැහැ රා – අප්පු ජෝෂප් උන්නැහැ මහ නායක කරණ  අලුත් දේවදත්ත නිකාය හදනව. රතු එලියෙ අතන උන්නැහැට මේ ලඟදි බරට ඩොලර් පිරිකරක් හම්බවුණා.

 

විරිදුකරු – මං දෙන්නං විස්තරේ.

කරණට  රට නැති                       බංගේ

චීවරයක්  තුළ                            හැංගේ

නොමැත කිසිදු විලි                         සංගේ

දේවදත්ත මේ                                  වංගේ

 

යූ.ඇන්.පී. ආච්චි   අනේ අම්මප සාසනේ විතරක් නෙමෙයි පඬු හැලියත් ඉවරයි. මොනවද ඉතින් මේ ගනින්නාන්සේ ගැන උපාසකම්මල   කියන්නේ ?

විරිදුකරු –  මෙන්න මෙහෙම.

 

ගෑණුන්           උස්සලා

පාරාජික             වෙලා

සංඝ භේද            කළා

නොදකින් මේ      වලා

 

මුණුපුරා –  කවුද සීයෙ අර හැකර කටක් තියෙන පොර?

ජේ.වී.පී. සීයා  –  ඒ  බං  අපේ දත් දොස්තර ප්‍රා පරාජිත උත්තමය නොවැ. විරිදු උන්නැහැ කියමුකො විස්තරේ.

විරිදුකරු –  මං දෙන්නං විස්තරේ, ගැලවෙන්න වස්තරේ.

 

උලා කෑවා රටේ                 මාලු

මිතුරන් එක්කලා                යාලු

මුහුදම අද වෙලා                පාලු

නටයි අපේ ඇඟේ              මාලු

 

ප්‍රා එක්කල                        එදා

තුරුණු දිවිය                       සදා

වලපල්ලට                         එදා

යැවුවනෙ මේ                   වෙදා

 

මුණුපුරා –  කවුද සීයේ අර රැවුල?

 

ජේ.වී.පී. සීයා  –  කට, කට. උන්නැහැ තමයි රිෂාඩ් බදියුර්දීන්. රනිල්   උන්නැහැගෙ  ජහ පාලන සටන් සගයෙක්. විරිදු උන්නැහැ බදියුර්දීන් උන්නැහැ මොකෝ කියන්නෙ.
විරිදුකරු –  මේං  මෙහෙමයි.

ගල් ගැහුවා              උසාවියට

බේරුණි  පුරුවේ           පිනට

මගේ සහය අද            රනිල්ට

හිටගෙන ජහ          පාලනේට

 

මුණුපුරා –  මල් හතයි. කවුද ආච්චියෙ අර නාකියා ?

 

විරිදුකරු –   නාකිය විතරක් නෙමෙයි, ඕක මහ කොටිය. මං කියල දෙන්නම් විස්තරේ.

 

 

රට බෙදුමට උල්       පන්දන්

දෙන කොටියා     සම්බන්දන්

රහසේ ගිවිසුම්          ගහමින්

රනිල්ට අල්ලයි        පන්දන්

 

මුණුපුරා –  කවුද සීයෙ අර අනිත් රැවුල?

ජේ.වී.පී. සීයා  –  ඒ බං හකීම් උත්තමය.මරු බඩුවක්. විරිදු උන්නැහැටත් මතක ඇතිනේ අර    ගෑණියෙක් ගෙදර  ඉස්සරහ ගිනි තියාගත්ත සිද්දිය.

විරිදුකරු –   නැතුව. නැතුව. මං කියල දෙන්නන්කො උන්නැහැට වෙන දේ .

 

වල්කම් කළ            එදා

ගෑණුන්වම              බදා

හකීම්ටත්                සදා

පොට වරදියි          මෙදා

 

මුණුපුරා –  කවුද ආච්චියෙ අර තවත් නපුංසකයෙක් වගේ එකෙක් ඉන්නේ ?

යූ. ඇන්.පී. ආච්චි කට.කට. ඒ බං මනෝ ගනේසං උත්තමය. විරිදු උන්නැහේ කියමුකො  විස්තරේ.

විරිදුකරු –    කුඩු ගෙන්නපු               මනෝ

රනිල්ට  සෙට්                උනෝ

අද සුදනෙක්                වෙනෝ

ජහ පාලනෙ                 දෙනෝ

 

ජේ.වී.පී. සීයා  –   ඩෙන්න ඩෙනා  ඩෙනෝ !

මුණුපුරා –  කවුද සීයේ අර අනිත් පතෝලය ?

යූ.ඇන්.පී. ආච්චි කොලුවො උඹ අපේ කරු උත්තමයට අපහාස කළොත් බලාගෙන. විරිදු උන්නැහැ කියමුකො උන්නැහැගේ වරුණෙ.

විරිදුකරු –    පොරාන්දු දුනි වෙන්න          හිරූ

පතෝල වගෙ  විය             නිසරූ

පබාට පැරදිච්ච                    කරූ

දැන් කියනා කතා                 මරූ

 

රනිල්ගෙ ලණුවක්            කෑවා

අනාගතේ දුනි                  පාවා

කොටි පිලටම               එක්වූවා

අනේ ඇදගෙනම             නෑවා

යූ. ඇන්.පී. ආච්චි    අනේ විරිදු උන්නැහැ අර අතන කොටුවෙ ඉන්න රවී කරුංකනායක නෑ නෑ  කරුණානායක මහත්තය ගැනත් මේ පොඩි එකාට කිව්වනම්. ඒ කාලේ සතොස පැය විසි හතරම ඇරලා සුවල්ප සේවයක්ද කළේ .

මුණුපුරා –  මං දන්නව.  මං දන්නව. අර අලිමංකඩ පාමංකඩ ….

විරිදුකරු –    මැදවච්චිය                 කිලිනොච්චිය

මතක නැද්ද ඒ                    විත්තිය

කොටියට පාලා                  භක්තිය

දුන්නෙ එදා සවි                 ශක්තිය

 

කිව්ව කතා එදා                     රවී

අපේ හිතෙන් නෑ                 පහවී

දැන් ඉල්ලයි චන්දෙ             නැවී

ලැජ්ජාවක් නෑ                     ගෑවී

 

ජේ.වී.පී. සීයා  –   ඇයි විරිදු උන්නැහැ අපේ කිරිඇල්ල හාමු ගැන නොකිව්වොත් වස වැරැද්දයි නොවැ?

විරිදුකරු –    එහෙනං. එහෙනං.

 

යුද්ද කරන එකා               ගොනා

කියල එදා කිව්වා              කෙනා

මහ දවාලේ රෙද්ද               උනා

හංස ගීත ගයයි                    වනා

 

අහනු මේක               කිරිඇල්ලේ

කොටිත් එක්ක එක          මල්ලේ

ලුණු කෑ උන්            සැනසිල්ලේ

හැමදාටම වල                  පල්ලේ

 

මුණුපුරා –   මරු බඩු ටිකක්නෙ ජහ පාලනේ ඇතිකරන්න එකතුවෙන්නෙ. විරිදු මාමේ විරිදු මාමේ  අර අරලියගහ මන්දිරේ පරණ කඩුවක් කරකව කරකව හිටිය වන්ෂොට් අංකල් නේද ?

 විරිදුකරු – උන්නැහ නේන්නම්. උන්නැහැ පරණ කඩු වලට වගේම පරණ බඩු වලටත් හරිම ආසයි. මං කියාදෙන්නම් පට්ටන්දරේ.

                

පරණ බඩුවේ අගය                දන්න

ඇඹුල් රසය ප්‍රියම                 කරණ

පට්ටි ගොනෙක්             සිහිගන්වන

පශු සම්පත් ඇමති                 ඔන්න

 

ජේ.වී.පී. සීයා  – හා හා විරිදු උන්නැහැ කට කට.

මුණුපුරා  එතකොට කව්ද සීයේ අර ප්‍රඥයා?

යූ.ඇන්.පී. ආච්චි  බොල කොලුවො ඒ ජඩාධිපති නීතිඥ  විජේදාස රාජපක්ෂ උත්තමය නොවැ. කියමු විරිදු උන්නැහැ විස්තරේ.

 විරිදුකරු –  මැතිසබයේ            පාත්තයා

                අධිකරණේ             පාදඩයා

හොරට විභාගෙදි      කෙලියා

උපාධි ලද               පාහරයා

 ජේ.වී.පී. සීයා  අම්මප නල්ලමලේ ප්‍රඥයෙක්නෙ.

මුණුපුරා –  සීයෙ සීයෙ කව්ද අර  සුදුවට ඉන්න කොලුගැටය ?

විරිදුකරු – ඒ ළමයො සුජීව සේනසිංහ ළමය නොවැ.

යූ.ඇන්.පී. ආච්චි   මොකද උන්නැහැ කියන්නෙ?

විරිදුකරු – මෙන්න මෙහෙමයි.

 

හොරකම් කළ           එදා

මම වෙමි තඹ           සුදා

මනාපයෙන්           මෙදා

මම නොකවුට්          සදා

 

ජේ.වී.පී. සීයා  –  විරිදු උන්නැහැ කව්ද අර අනිත් ළදරුව ?

විරිදුකරු  – හා හා එහෙම කියන්න එපා. එයා දැන් ලොකු ළමයෙක්. අකිල ළමය පෙලවාසි  දෙකක් කරගෙන ඉන්නේ. පොතේ කසාදෙයි ඇත්ත කසාදෙයි. ඒ ළමය දැන් මෙහෙම කියනව.

සිහිපත් කරවන            නරියා

රනිල් තමයි මගේ       සැමියා

මහින්ද ආවනෙ         කෙලියා

දැන් ඉන්නෙමි කට      බලියා

 

යූ.ඇන්.පී. ආච්චි  අම්මප මගෙ බඩ දඟලල ඔක්කාරෙට එනවා.

 මුණුපුරා  සීයෙ අර ටිං ටිං අංකල් නේද ?

ජේ.වී.පී. සීයා  –     අංකල් නෙමෙයි බොල  ඒ  අපේ ලේකම් සහෝදරය. දයලෙක්තිකය ගැන මාක්ස්,  ඒන්ගල්ස්, ලෙනින්,විජේවීර ගාවට  ලෝකට  ඉන්න  එකම උගත.

යූ.ඇන්.පී. ආච්චි  මක් කිව්ව දයාවතිය  ගැන?  යමංකො ගෙදර . හුහ් !

විරිදුකරු –    නෑ.නෑ . උපාසකම්ම කලබල නොවී මේක අහගන්න.

 

කාල්  මාක්ස් සමග         ලෙනින්

අඹරා තියරිම                බෙදමින්

ඩොලර්ම ගිලලා             දැහැමින්

අලි බෙටි අහුලයි             යහමින්

 

රනිල්  පිලේ ඩොලර්          කකා

සමාජවාදේ                    වික්කා

අලි කොටි දියුණුව           සලසා

දඩමස් කර දෙයි            ගොරකා

 

යූ. ඇන්.පී. ආච්චි  –   ඔහෙ  පලයං.

මුණුපුරා  අර උස මහත පොර කවුද සීයෙ.

ජේ.වී.පී. සීයා  –     ඇයි බොල ඒ අපේ ලාල් කාන්ත සහෝදරය නොවැ. උඹට මතක නැද්ද අර අවුරුදු ගානකට ඉස්සෙල්ල දීප වියාප්ත වැඩ වර්ජනයක් කොරල රටම හිනැස්සුවේ. නෑ නෑ රටම හෙල්ලුවේ.

විරිදුකරු –    අපි දන්නැද්ද ලොකුඋන්නැහැ ඒ වග. මං දෙන්නංකො  විස්තරේ.

 

කැවිලා දෙවියන්ගෙ         හාල්

ඩොලර් වලට වෙලා         වාල්

රනිල්  එක්ක නටන         බාල්

අනේ අපොයි මෙදා          ලාල්

 

විප්ලවේට අද               පිටුපා

සිරිකොත   පිළිකන්නේ   දපා

කියමින් එහි පරම          සැපා

බත් දංකුඩ  කන්න         එපා

 

යූ.ඇන්.පී. ආච්චි  –   මදැයි කොලා.

මුණුපුරා   සීයෙ. අර හඳුන් සහෝදරය නේද ?

ජේ.වී.පී. සීයා  –   අම්මප හැබෑව. විරිදු උන්නැහැ  කියමු  කියමු   හඳුන් සහෝදරය ගැන.

විරිදුකරු –    බැරි වුනේය රට          පනින්න

හිරවුණි  කරුමය       ගෙවන්න

හරි ලාබෙට කඩේ          යන්න

හඳුන්නෙත්ති ඇවිත්     මෙන්න

 

ජේ.වී.පී. සීයා  –   හඳුන් සහෝදරයගෙ අදහස මොකක්ද ?

විරිදුකරු –         යූඇන්පිය              බුදුවේවා

අපට නිවන්            අත්වේවා

රනිල්ම අගමැති          වේවා

දෙමු විප්ලවයම            පාවා

 

ජේ.වී.පී. සීයා  –   ඒකත් එහෙමද ? හැබැයි විජිත සහෝදරය නම් ප්‍රගතිශීලී මතයක ඇති.

විරිදුකරු –         මේක අහලම ඉඳිමු.

 

බෙරගල කඳවුරෙ        පෙරදී

පාවාදී  කළ                 වැරදී

විජිත රනිල්  පා           නමදී

විප්ලවේට යලි             සමුදී

 

මේක තමයි උන්නැහැගේ ප්‍රගතිශීලී මතය.

ඩොලර් වලින් හොඳට         සාර

රනිල්  එක්ක බොමින්         බීර

විඳිමු මෙලෙස කොහොම     මීර

හිටියානන්  විජේ                 වීර

 

යූ.ඇන්.පී. ආච්චි  –   කිරිඅප්පට බල්ලො පැනපි !

ජේ.වී.පී. සීයා  –   එතකොට විරිදු උන්නැහැ අපේ පක්ෂෙ නායක කාරක සහෝදරවරු කියනවනෙ උපාය මාර්ගික කරමවේදයක් ගැන.

විරිදුකරු –  කරමවේදයක් ගැනනං මං දන්නෙ නැහැ . කරුම – වේදයක් ගැන නම් එයාල මෙහෙම කියනව.

 

උනුත් එකයි  මුනුත්            එකයි

කියල කිව්ව අපිත්               එකයි

ඩොලර් ගිලල මලත්           සැපයි

උලත් එකයි පිලත්             එකයි

 

ජේ.වී.පී. සීයා  –   එතකොට මහජනතාවගෙ මතය ?

විරිදුකරු –         මේං මෙහෙමයි.

 

ඉල්මහ විරුහට          පොරණේ

පිහිටයි අද               තුන්සරණේ

ඩොලර් රැසක ගුණ       වරුණේ

සීනුව පල්ලෙනි           පෙරුනේ

 

යූ.ඇන්.පී. ආච්චි  –   එතකොට අපේ යූ.ඇන් .පී. පක්සෙ උදවියගෙ අදහස් කොහොමද ?

විරිදුකරු – අදහස් කොහොම උනත් උදහස් නං උන්නැහැල ගාව තියෙනව. දහඅටවෙනිද උදේට සිරිකොත ඉස්සරහ තොරණක් ගහන්න උන්නැහැල බලං ඉන්නව.

යූ.ඇන්.පී. ආච්චි  –   ඒ මොකටද ?

විරිදුකරු –   සජිත් බබා නායකය කරලා පිලිගන්න.  උන්නැහැල දැනටමත් මෙහෙම කියනව කොචොක් එකට.

 

චබකු – රනිල් රට          කෑවා

මතකත් නෑ දැන්             ඒවා

කොටි රැල යළි  රජ      වේවා

ජහ පාලනෙ  ඇති         වේවා

 

යූ.ඇන්.පී. ආච්චි  –   ඒ කියන්නේ යූ.ඇන් .පී. චන්ද හිටං,  රනිල්ට නෑ.

ජේ.වී.පී. සීයා  –   ඈ. මල හත්තිලව්වයි. එතකොට ඔය ඇති කොරන්න යන ජහ පාලනේ ගැන රටේ  මිනිස්සු    මොකද කියන්නෙ ?

විරිදුකරු –  මෙන්න මෙහෙමයි.

 

කොටි රැල රජ             කරන්ට

ඩොලර් ගිලපු              රනිල්ට

චන්දෙ නොදෙමු            මලාට

පොරොන්දු දික්             කළාට

 

යූ.ඇන්.පී. ආච්චි  –      අපිත් එහෙනං කොටි රූකඩ රනිල්  පරද්දන්න කොන්ද පන ඇති මිනිහ ඉන්න පක්ෂෙට  කතිරේ ගහමු.

ජේ.වී.පී. සීයා  –      හහ් හහ්  හහ් ! මාත් උඹට කලින් නොකීවට මාත් ඉන්තේරුවෙන්ම  කොටි රූකඩ රනිල්ටයි උගෙ රතු අලිපැටියටයි විරුද්ධයි. කොන්ද පන ඇති මිනිහ ඉන්න පක්ෂෙට  කතිරේ ගහමු.

විරිදුකරු –  එහෙනං බුලත්කොලේට තවත් චන්ද දෙකක්.

යූ.ඇන්.පී. ආච්චි  –   නැත්තං . බඩු සුවර්ම තමයි. එතකොට විරිදු උන්නැහැ ?

විරිදුකරු – මාත් ඉතින් ඔහෙල වගේම තමයි.

ජේ.වී.පී. සීයා  –   කොලුවො උඹ කට හොල්ලනව නෙමෙයි.

මුණුපුරා   ෆිට්ම තමයි සීයෙ. ජහ පාලන නඩේටම අබ සරණයි!

විශේෂ ලියුම්කරු  

Top