Breaking
24 Feb 2025, Mon

අවාසනාව ඒකාබද්ධ විපක්‍ෂෙ සමහරුන්ට වැදගත් වන්නෙ ස්මාට් දේශප්‍රේමීන්

ජෙනීවා නගරයේ ඊනියා මානව අයිතිවාසිකම් කොමිසමේ හුසේන් කුමාරයා ගැන සමහර බටහිර රටවල් ම දොස් කියනවා හුසේන් තමන්ගෙ රටවල වැඩවලට ඇඟිලි ගහනවා කියලා. මේ ප්‍රශ්න ගැන කතාකරන්න අපි කවුද කියලා ස්මාට් දේශප්‍රේමියො අහන්න පුළුවන්. දේශප්‍රේමියොත් දැන් ස්මාට් හා ස්මාට් නැති ගණවලට බෙදලා. ඒක ප්‍රබුද්ධ පීචං බෙදිල්ලට හපන්. ස්මාට් දේශප්‍රේමියො ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන දන්නවලු. අනෙක් දේශප්‍රේමියො එ ගැන දන්නෙ නැද්ද දන්නෙ නැහැ. ස්මාට් දේශප්‍රේමියො ස්මාට් ෆෝන් පාවිච්චි කරලා හුසේන්ට එහෙම කතා කරනව ද දන්නෙ නැහැ. අද සමහරුන් ජාතිකත්වය මොඩ් කරන්න කතා කරනවා. මේ අය හිතන්නෙ ජාතිකවාදීන් කිසිම දෙයක් නොදන්න පැරණි දේ ගැන පමණක් කියවන මෝඩ රැළක් කියලා.

ජාත්‍යන්තර සම්බන්ධකම් කියන්නෙ විශ්වවිද්‍යාලවල උගන්වන විෂයක්. දේශපාලන විද්‍යාව පාඨමාලාවලත් ජාත්‍යන්තර සම්බන්ධකම් උගන්වනවා. සමාජයීය විද්‍යාවන් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. බටහිර භෞතික විද්‍යාවෙ ඊනියා විධික්‍රම පස්සෙ නොන්ඩි ගහ ගහ ගිහින් දැන් හති වැටිලා හතර ගාතෙන් ඇද වැටිලා ඉන්නෙ. අද ඒ අය අර පශ්චාත් ව්‍යුහවාදය පශ්චාත් ඉන්ද්‍රියානුභූතවාදය වගේ භූත කියවනවා. බටහිර භෞතික විද්‍යාවෙ උද්ගමනය හා අනපෝහනය අනුකරණය කරලා කතන්දර හදපු මාක්ස්ට වෙච්ච එකෙන්වත් මේ අය පාඩමක් ඉගෙන ගන්නෙ නැහැ. මාක්ස්වාදී රාජ්‍ය, සමාජවාදි රාජ්‍ය, කම්කරු පංතියේ ආඥාදායකත්වය ආදිය ගැන පුටින්ට ස්මාට් ෆෝන් එකෙන් කතාකරලා ඇහුවොත් නරක ද?

හුසේන්ට ඇතැම් බටහිර රටවල් විරුද්ධ වෙන්නෙ ඒ අයට හුසේන් ප්‍රශ්නයක් වෙන වෙලාවෙ පමණක් ද කියන එක මතුපිටින් බලලා අහන ප්‍රශ්නයක්. එක්සත් ජාතීන්ගෙ ඊනියා මානව අයිතිවාසිකම් කොමිසම අපේ රටට ඇඟිලි ගහන කොට බටහිර රටවලට දැනුණෙ නැද්ද කියලා අහන එක පොඩි ළමයින්ගෙ ප්‍රශ්නයක්. අප විශ්වවිද්‍යාලෙ ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන ඉගෙන ගත්තෙ නැති වුවත් මේ ලෝකයෙ වෙන්නෙ මොකක්ද කියන එක ගැන අපට කතන්දරයක් තියෙනවා.

අපේ කතන්දරේට අනුව පහළොස්වැනි සියවසේ සිට වර්ධනය වුණු ලෝකය දැන් දේශපාලනික ව කඩා වැටෙන්න පටන් අරන්. ඒ ලෝකය ඊනියා ජාත්‍යන්තරවාදී ලෝකයක්. ඒකෙ ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයක් තිබුණා. ඒ සුපිරිව්‍යුහයෙ ඔය මානව අයිතිවාසිකම් කොමිසමත් තිබුණා. ඒ වගේ ම විවිධ ඔත්තු සේවාත් තිබුණා. එක්සත් රාජ්‍යවල රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙවත් විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවත් තිබුණා. බහුජාතික සමාගම් ද ඒ ජාත්‍යන්තර සුපිරිව්‍යුහයට අයත්. බටහිර විද්‍යාවත් ඒ පසුපස නොන්ඩි ගසන බටහිර සමාජයීය විද්‍යාත් ඒ සුපිරිව්‍ය්‍රහයට අයත්. මේ සියල්ල සංස්ථාපනයට (එස්ටැබ්ලිෂ්මන්ට්) අයත්. අද එය දේශපාලනික ව කඩා වැටෙන්න පටන් අරන්. බ්‍රෙක්සිට් හා ට්‍රම්ප් එයට උදාහරණ. මේ සුපිරිව්‍යුහය දේශපාලනික ව කඩා වැටෙන්න පටන් ගත්තා පමණයි. ඊට කලින් දාර්ශනික ව කඩන් වැටිලා තිබුණෙ.

අපේ රටේ විතරක් නොවෙයි බටහිර රටවලටත් ඒ සුපිරිව්‍යුහය හැමදාමත් ඇඟිලි ගැහුවා. ඒත් බටහිර රටවල ජාතිකත්වයක් නොතිබූ බැවින් ඒ බව දැනුණෙ නැහැ. ඒ රටවල ජාතිකත්වය මතුවීමත් සමග ඔවුන්ටත් ජාත්‍යන්තර සුපිරිව්‍යුහය, ඒ සංස්ථාපනය දැනේන පටන් අරන්. ඔවුන් අද හුසේන්ගේ ක්‍රියා කලාපය ප්‍රශ්න කරන්නේ එබැවිනුයි. ට්‍රම්ප්ට විරුද්ධව කැලිෆෝනියාවේ හිංසා ක්‍රියා ඇති වන්නේ සංස්ථාපනයට ට්‍රම්ප් ඉවසා දරා ගන්න බැරි නිසා. කැලිෆෝනියාව එක්සත් රාජ්‍යවල අනෙක් රාජ්‍යවලට වඩා වෙනස්. එහි වෙන්වීමේ කතාබහත් තියෙනවා. ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශක බැනන් කියන්නේ ඔහු ලෙනින්වාදියකු කියා. ඔහු ලෙනින් දකින්නේ සංස්ථාපන විරෝධියකු ලෙස.

හුසේන්ට විතරක් නො වෙයි තව ටික කලක් යන කොට ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලටත් විරුද්ධ වීමට බටහිර රටවලට සිදුවේවි. එහෙත් නුදුරු අනාගතයේ දී ටික කාලයකට ඒ රාජ්‍ය නොවන සංවිධාන තරමක් බලවත් වේවි. බටහිර රටවල රාජ්‍ය ගෙන ගිය ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයට ඒ රාජ්‍යවලින් ලැබෙන සහාය අඩු වන විට ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට, හුසේන් කුමරුට සුපිරිව්‍යුහය ආරක්‍ෂා කිරීමට තවත් ඉදිරියට ඒමට සිදු වේවි. ස්මාට් දේශප්‍රේමීන්ගේ ජාත්‍යන්තර මිනිසාට වැඩි කල් ආයුෂ නැහැ. එහෙත් ස්මාට් දේශප්‍රේමීන් තම පඬිකම තව තවත් අපට පෙන්වීමට උත්සාහ කරාවි. ඒ බටහිර පොතක සඟරාවක තියෙන කතන්දර කියවලා.

ස්මාට් දේශප්‍රේමීන් අපෙන් අහන්න ඉඩ තියෙනවා අප කියන කතන්දරය තියෙන්නෙ මොන පොතේ ද සඟරාවෙ ද කියලා. මේ කතන්දරය අපේ නිර්මාණයක්. ඒ කතාවෙ ප්‍රධාන කොටස නිර්මාණය වුණේ ට්‍රම්ප් ජනාධිපති වෙන්න තරමක් ඉස්සර. අප දැන සිටියා ට්‍රම්ප් දිනන බව. අද බොහෝ දෙනා ට්‍රම්ප්ගේ ජාතිකවාදයක් ගැන කතා කරන්න කලින් අප ඔහුගේ ජාතිකවාදය ගැන කිවුවා. ඒ බව කිවුවෙ ස්මාට් ෆෝන්වලින් කරුණු ලබාගෙන නො වෙයි. අපට අපේ ප්‍රවාද ගොතන්න පුළුවන්. ස්මාට් දේශප්‍රේමීන් බටහිරයන්ට අවශ්‍ය විධියට දෙමළ ජාතිවාදීන් එක්ක ආණ්ඩු හදන විට දෙමළ ජාතිවාදයට සන්ධීය රාජ්‍යයට එහා යන බලතල දෙන්න කතා කරන විට ප්‍රභාකරන් පරාජය කරන්න බැහැයි කියන විට අප ස්මාට් නොවන නිසා ඒකීය රාජ්‍යය ගැන කතා කළා, ප්‍රභාකරන් පරාජය කළ යුතුය පරාජය කළ හැකිය කියලා කිවුවා. ඒත් අවාසනාව ඒකාබද්ධ විපක්‍ෂෙ සමහරුන්ට වැදගත් වන්නෙ ස්මාට් දේශප්‍රේමීන්.

නලින් ද සිල්වා
2017 මාර්තු 07

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.