Breaking
16 Apr 2025, Wed

පහුගිය ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් කියලා මෙරට පඬියන් කිවුව. සිංහල විරෝධී ජඩමාධ්‍යකරුවන් එහි දී ප්‍රධානත්වය ගත්ත. සිවල් සමාජය, ඊනියා මානව හිතවාදීන් ජඩමාධ්‍යකරුවන්ට හවුල් වුනා. ඒ ආණ්ඩුව අසමත් වුනෙ බටහිරයන්ගෙ ඇහින්. ඒ කියන්නෙ බටහිරයන්ට සාපේක්‍ෂව. අසමත් රාජ්‍ය කියන සංකල්පය හැදුවෙ අර ජඩමාධ්‍යකරුවන් සිවල් සාමාජිකයන් නොවෙයි බටහිරයන්. බටහිරයන් හදන සංකල්ප ප්‍රචාරය කරන එක හැරෙන්න වෙන දෙයක් අර නොයෙකුත් වර්ගවල පඬියන්ට කරන්න බැහැ. විශ්වවිද්‍යාලවල ඉන්න බොහෝ ආචාර්ය මහාචාර්යවරුන්ටත් එහෙමමයි. එක එකා පිටකසා ගනිමින් ඔවුන් වැජඹෙනවා. බොරු පඬි කතා කියනවා. ජාතික මතවාදයක් එක්ක ඉන තරුණයන්ට කථිකාචාර්යකම් නොදීමට ඔවුන් වග බලාගන්නවා. මහා නවකතාකරුවන් ඊනියා පශ්චාත්නූතනවාදීන් හැටියට පෙනී හිටියට ඔය කියන පශ්චාත්නූතනවාදී නවකතාවක් කවුරුන් අතින්වත් ලියැවිලා නැහැ. නවකතාව ගැන කුන්දේරා කියන දේ මේ පඬියන්ට තේරෙන්නෙ නැහැ. ඔවුන් දන්නෙ ඔබාමා වෙනුවෙන් ප්‍රදර්ශන පවත්වන්න. ඔවුන් ලියන්නෙ ඊනියා සිනමා අධ්‍යක්‍ෂවරුන් චිත්‍රපටි හදන්නෙ සිංහල බෞද්ධ විරෝධී හිතළු මත. ඒවා අඩු තරමින් බොරු සමාජවිද්‍යාවක්වත් නොවෙයි. පහුගිය ආණ්ඩුව පැරදුනෙ ඒක අසමත් හින්ද නොවෙයි. බටහිරයන් ඒක පැරුද්දෙවුවෙ ඔවුන් කියන විධියට ආණ්ඩුව වැඩ කෙළෙ නැති නිසා. සංකල්ප හදන්නෙත් නිර්ණායක හදන්නෙත් ඒ අනුව තීරණ ගන්නෙත් බටහිරයන්.

පහුගිය ආණ්ඩුව කාලෙ ඊනියා සංහිඳියාවක් ගැන මහහඬින් කතා කෙළෙ නැතිවුනාට උතුරු පළාත සංසුන්ව තිබුණා. මිනිසුන් බය නැතිව එහෙ මෙහෙ ගියා. මහින්ද රාජපක්‍ෂ කරපු ප්‍රධාන ම දේ තමයි රටවැසියන්ට අභයදානය දීම. අභයදානය කියන්නෙ ජීවිතදානය පමණක් නොවෙයි. අභයදීමක්. ඒ කියන්නෙ භය නොමැතිව ජීවත්වීම දානය කිරීම. එය මුළු රටට ම දුන් දානයක්. වැඩියෙන් ම අභයදානය ලැබුණෙ උතුරු පළාතෙ ජනයාට. අද නැවතත් දෙමළ ත්‍රස්තවාදී බය රටේ පැතිරෙන්න පටන් අරන්. දෙමළ ත්‍රස්තවාදය විනාශ කරන්න හමුදාවට පුළුවන්. ඒත් ඒක කරන්න ඉඩ තියන්න ආණ්ඩුව සූදානම් නැහැ. ආණ්ඩුව හමුදාව විනාශ කරනවා. බුද්ධි අංශය හිර කරනවා.

සුදු වෑන් කතාව තාම ඔප්පු කරලා නැහැ. ඒ කාලෙ පොලිස් වෙඩි තැබීමක් වුනොත් වැරදිකාරයා ආණ්ඩුව. ඉනුත් ජනාධිපති. එදා හමුදා පොලිස් වෙඩි පහරින් කී දෙනකු මැරිලා තියෙනව ද? ආණ්ඩුව පාතාලයත් නැති කිරීමට පියවර ගෙන තිබුණා. කොටින් කියනව නම් ආණ්ඩුව මිනිසුන්ගෙ බය නැති කරන්න සමත් වෙලා තිබුණා. මෙයට අමතර ව යම් ආකාරයක සංවර්ධනයක් තිබුණා. එහි අරමුණ යටිතල පහසුකම් වර්ධනය කිරීම. ඊළඟ පියවර වෙන්න තිබුණෙ නිෂ්පාදනය වැඩි කිරීම. කෘෂිකාර්මික මෙන් ම කාර්මික නිෂ්පාදනය වැඩි කිරීම. පහුගිය ආණ්ඩුවෙ දුර්වලකම් නොතිබුණා නොවෙයි. ඒත් ඒක නිසා පහුගිය ආණ්ඩුව බටහිරයන් හා ඔවුන්ගෙ මෙරට ගෝලබාලයන් කිවුව විධියට අසමත් ආණ්ඩුවක් වුනෙ නැහැ. අභයදානයට ලකුණු කීයක් දෙනව ද? පහුගිය ආණ්ඩුවට විශිෂ්ට සාමාර්ථයක් නොදුන්නත් සම්මාන සාමාර්ථයක් දීමේ ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. අප ලකුණු දෙන්නෙ බටහිරයන්ට ඕන විධියට ඔවුන්ගෙ ලකුණු දීමේ පටිපාටියකට අනුව නොවෙයි. බටහිර නිර්ණායක හා ලකුණු දීමේ පටිපාටිය වෙනස් කරමු.

දැන් රනිල්ගෙ ආණ්ඩුවෙ ප්‍රගති වාර්තාව කොහොම ද? මා මෛත්‍රිපාලගෙ ආණ්ඩුව කියලා කියන්නෙ නැත්තෙ එහෙම එකක් නැති නිසා. අද උතුරු පළාතෙ හර්තාල්. සිලාවතුරෙ නාවික හමුදා භටයන්ට පහර දීලා. නැගෙනහිර පළාතෙ බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන්ට අහිමි වෙලා. කෝ මේ ඊනියා සංහිඳියාව? ආවා කණ්ඩායම තමන් පොලීසීයට පහරදුන් බව කියමින් යාපනේ පත්‍රිකා බෙදනවා. අගමැති ආවා ගියා කිය කිය විහිළු කරනවා. ඔහු විහිළු කරන්නෙ සිංහලයන්ට. ඔහු සිංහල විරෝධියෙක්. ආණ්ඩුවේ බලධාරීන් විවෘත කරන එක නම් ඇත්ත. ඒත් ඒ ගිය ආණ්ඩුවෙ වැඩ. අද දෙමළ ජාතිවාදීන් හා මුස්ලිම් ආගමික අන්තවාදීන් පොලීසියට බලන් ඉන්දැද්දි ගහනවා. ආණ්ඩුව නීතිය හා සාමය රකිනවා කියනවා. නීතිය හා සාමය රකින්නෙ සිංහල විරෝධීන් ලවා නීතිය රැකීමට සිටින පොලිස් නිලධාරීන්ට ගන්න ඉඩ දීල ද? කිලිනොච්චියෙත් පොලීසියට ගහලා. නීතිය නවන පොලිස්පති මොකද කියන්නෙ? යාපන තරුණයන් උසිගන්නන්නෙ දෙමළ ජාතිවාදී දේශපාලනඥයන්. ඔවුන් වැඩි හරියක් ඉන්නෙ දෙමළ ජාතික සංධානයෙ. ප්‍රභාකරන් බිහිවුණෙ රාමනාදන්ලගෙ අරුණාශලම්ලගේ දේශපාලනයෙන්. අද ඔවුන්ගෙ ඥාති මුණුබුරා විග්නේස්වරන් ඊළඟ ප්‍රභාකරන් බිහිකරන්න හදනවා.

ආණ්ඩුව අර්ජුන් මහේන්න්ද්‍රන් රකිනවා ඒ රකින්නෙ අගමැතිත් එක්ක. රනිල්ගෙ නැන්දාගෙ පුතා රජිව් විජේසිංහ පහුගිය කාලෙ කියලා තිබුණා මහාබැංකු කොල්ලයේ මුදල් එ ජා පක්‍ෂයේ මැතිවරණ අරමුදලට එකතු කරපු බව. රනිල් ඒ ප්‍රකාශයට අභියෝග කෙළෙ නැහැ. මොකක්දෝ හේතුවකට ඒකාබද්ධ විපක්‍ෂෙත් රජිව්ගෙ ප්‍රකාශය සම්පුර්ණයෙන් අමතක කළා. කෝප් කමිටුව රජිව් විජේසිංහගෙන් ප්‍රශ්න කළ බවටත් ආරංචියක් නැහැ. මහාබැංකු කොල්ලය මහාබැංකුවේ මුදල් කොල්ලයක් පමණක් නො වෙයි. ලංකාවේ සිදු වූ මහා ම මහා බැංකු කොල්ලය. එහෙම වුනත් මාමයි බෑණයි ඔක්කොම නිදහස් වෙන පාටක් දැනට තියෙන්නෙ. බෑණාට විරුද්ධව නඩු දාන්න කියලා එ ජා ප මන්ත්‍රීවරු කියන්නෙ මාමවයි අගමැතිවයි රකින්න. බෑණා කියනවා එයා අදාල සමාගමේ අධ්‍යක්‍ෂ නොවෙයි කියලා. අන්තිමට වැරදි කාරයා විගණකාධිපති වෙන්න බැරි නැහැ. එ ජා ප මන්ත්‍රීන් ඔහුට බලපෑම් කරලා. ඔහු ආර්ථික විද්‍යාව දන්නෙ නැතිලු. මුදල් ඇමතිට ආර්ථික විද්‍යාවෙන් උපාධියක් තියෙනව ද? මා උපාධිය සතපහකටවත් මායිම් කරන්නෙ නැහැ. ආචාර්ය උපාධිධරීන්ගේ කියුම් කෙරුම් මා නොදන්නවා නොවෙයි. මා එහෙම අහන්නෙ විගණකාධිපතිගෙ සුදුසුකම් ප්‍රශ්න කෙරෙන නිසා.

මේ ආණ්ඩුව බටහිරයන්ගෙ මිනුම්දණ්ඩෙන් හා මෙරට ඔවුන්ගෙ ඇම්බැට්ටයන්ගෙ මහා බුද්ධියෙන් බැලුව ම සමත් ආණ්ඩුවක් ද? ඒ මොනව වුනත් අපටත් තියෙනවා අපේ මිනුම් දඬු හා සංකල්ප. මේ ආණ්ඩුව අසමජ්ජාති අලුගුත්තේරු අවලම් ආණ්ඩුවක්. අයන්නෙන් පටන් ගන්න තවත් වචන සිංහල භාෂාවෙ තියෙනවා. මා කිහිපයක් පමණයි සඳහන් කෙළේ.
නලින් ද සිල්වා
2016 ඔක්තොා්ම්බර් 26

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.