Breaking
24 Feb 2025, Mon

ආණ්ඩුවට ගෞරවයක් නැති වුනාට තවමත් හමුදාවට ගෞරවයක් තිබෙනවා

හම්බන්තොට වරායේ උද්ඝෝෂණයේ නිරත වූ සේවකයන්ට නාවික හමුදාවෙන් පහර දීලා. ජනමාධ්‍ය ප්‍රවෘත්තිවලට අනුව නාවික හමුදාව අහසට වෙඩි තීයලා. පහර දීලා. කිහිප දෙනකුට තුවාල වෙලා රෝහල් ගත කරලා. සේවකයන්ට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා. අද මහා මාර්ගයේ බොහෝ දෙනකු උද්ඝෝෂණය කරනවා. එයින් ගමනාගමනයට බාධා වෙනවා. ඒ උද්ඝෝෂණවලින් ජනතාවට හිරිහැර වෙනවා. දොස්තරලා මෙන් ම කොන්දොස්තරලා ද වර්ජන කරනවා. එවිටත් ජනතාවට හිරිහැර වෙනවා. ජනතාව අසීරුතාවට පත්කරන උද්ඝෝෂණ වර්ජන වෙනුවෙන් මා පෙනී සිටින්නේ නැහැ.

හම්බන්තොට වරාය සේවකයන් මහා මාර්ගයේ නැතිව මහා සමුදුරේ උද්ඝෝෂණය කර තිබෙනවා. එයින් නැව් ගමනාගමනයට බාධා ඇතිවෙලා තියෙනවා. මහා පාරේ කරන උද්ඝෝෂණවලින් වාහන ගමනාගමනයට බාධා ඇති වෙනවා. ඒ දෙකේ වෙනසක් දකින්න බැහැ. නැව් පිටරටවලට අයත් වෙන්න පුළුවන්. මහා පාරේ විදේශ රටවල තානාපතිලාගේ රථවලටත් බාධා ඇති වෙන්න පුළුවන්. ගමනාගමනයට බාධා ඇති කිරීම කියන එකෙන් කොල්ල කෑමක් ගම්‍ය වන්නේ නැහැ. මහා පාරේ උද්ඝෝෂණය කරපු කිසිවකු රථවාහන කොල්ල කෑ බවට ආරංචියක් නැහැ.

අද ආණ්ඩුව තැත් කරන්නේ වරාය සේවකයන්ට මුහුදු කොල්ලකෑම පිළිබඳ චෝදනාවක් එල්ල කිරීමටයි. මේ සේවකයන් පුහුණු සේවය මත බඳවා ගත් අය ලෙස හැඳින්වෙනවා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව (රනිල්ගෙ රාජපක්‍ෂ රෙජිමය) බලයේ සිටියා නම් ඒ සේවකයන් ස්ථිර කෙරෙනු ඇතැයි සිතන්න පුළුවන්. මේ ආණ්ඩුව සේවකයන් ගැන නොව ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සඳහා මැති ඇමතිවරුන්ගේ දීමනා ගැන සැලකිලිමත් වන පාණ්ඩුවක්. මහින්දගේ හා රනිල්ගේ වෙනස එයයි. මෛත්‍රිපාල ගැන කතා කරලා වැඩක් නැහැ. ඔහුට එච්චර වැඩකුත් නැහැ.

මුහුදු කොල්ලකෑම ඔප්පු වුනු චෝදනාවක් නො වෙයි. මේ සේවකයන් සමග සාකච්ඡා නො කෙළේ ඇයි. ඔවුන්ගේ සේවය ස්ථිර කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය සාමූහික ව කිසිවක් කර නැහැ. ආණ්ඩුව බලයට පත් වී කිවුවෙ ලිච්ඡවීන් අනුගමනය කරමින් සාකච්ඡාවෙන් ප්‍රශ්න විසඳන බවයි. කෝ මේ ලිච්ඡවි. අද ඇත්තේ තම තමන් අතරවත් සමගියක් නැති ඊනියා ලිච්ඡවි පාලනයක්. ඔවුන් දන්නේ එකට ඡන්දය දීමට පමණයි. සමගියක් නැති බව පෙන්වන්නේ බොරුවට ද දන්නෙත් නැහැ. බුදුහාමුදුරුවො නම් දේශනා කරලා තියෙන්නෙ ලිච්ඡවින් අතර සමගිය නැති වූ දාට ඔවුන්ගේ පාලනය බිඳ වැටෙන බවයි. මේ ලිච්ඡවින්ගෙ නම් සමගිය තියෙන්නෙ ඇමති කට්ට හා වෙනත් වරප්‍රසාද මතයි. රාජ්‍ය පාලනය මත නොවෙයි.

ආණ්ඩුව වරාය සේවකයන් සමග සාකච්ඡා කළ යුතුව තිබුණා. ඒකෙන් කියන්නේ වරාය බදු දීපු එක හරිය කියන එක නොවෙයි. ආණ්ඩුවට රටේත් ජනතාවගේත් දේපොළ විකිණීමට ජන වරමක් ලැබිලා නැහැ. ඒත් මේ ආණ්ඩුව එවැනි දේ කරන බව ජ වි පෙ ආදී පක්‍ෂ මෙන් ම මෛත්‍රිපාලටත් රනිල්ටත් ඡන්දය දුන් අයත් දැනගත යුතුව තිබුණා. ඡන්දය දීපු අයට කෙසේ වෙතත් ජ වි පෙරමුණට තම පවු සෝදා ගැනීමට බැහැ. ඔවුන්ගේ ඊනියා වාස්තවික දර්ශනයට හා ඊනියා දයලෙක්තිකයට මේ කිසිවක් පෙනුණේ නැද්ද? අද බොරුවට කෑ ගහලා වැඩක් නැහැ. මේ රටේ ජාතික ව්‍යාපාරය කඩා කප්පල් කෙළේ ජ වි පෙ හා ඉන් කැඩී ගිය ජාතික හෙළ උරුමය වැනි පක්‍ෂයි.

ආණ්ඩුව මුහුදු කොල්ල කෑමේ චෝදනාවක් ගැන කියමින් නාවික හමුදාව යෙදවීම යුක්තියුක්ත කරන්න හදනවා. මෙයින් මතු පාරේ උද්ඝෝෂණවලට යුද්ධ හමුදාව යොදවනවා ද? අද හදිසි නීතියක් පනවන්නේ නැතිව ම හදිසි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. ජනමාධ්‍යවේදීන්ටත් අද පහර දෙනවා. බොහෝ ජනමාධ්‍යවේදීන් ගැන මගේ කිසිම ප්‍රසාදයක් නැහැ. ඒත් ඔවුන්ට පහර දීම අනුමත කරන්න බැහැ. ප්‍රශ්නයක් ඇසූ ගමන් ලිච්ඡවිලා සුදු වෑන් කතාව ඇදලා ගන්නවා. ඒක දැන් පරණ කතාවක්. අනෙක සුදු වෑන්වලින් රැගෙන ගිය පුද්ගලයන් ගැන ඔප්පු වෙලා නැහැ. රනිල් ඒ දවස්වල ලසන්ත ගැන කීවේ සරත් ෆොන්සේකා ගැනත් කියමින්. හැන්සාඩ් වාර්තාවල ඒ කරුණු සඳහන් ව ඇති. එක්නැලිගොඩ ගැනත් රනිල්ට ඇමතිවරයකුගෙන් ම දැනගත හැකියි. කොහොමටත් අපට රිචඩ් සොයිසලා අමතක වෙලා නැහැ.

ලිච්ඡවිලා සුදු වෑන් ගැන කතා කළා ඇති. ඔවුන් දැන් සේවකයන් ජනතාව සමග ලිච්ඡවිකරණයෙහි යෙදිය යුතුයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ පොලිස් රාජ්‍යයක් ඇති කිරීමයි. ඒ කාලෙ ලිච්ඡවිලාට පොලීසියක් තිබුණෙ නැහැ. ඉංගිරසින් පෙලීසිය ඇති කෙළේ ඊට හුඟක් පස්සෙ. පොලිෂ්පතිලා පත්වුනෙ ඊටත් පස්සෙ. ආණ්ඩුව හමුදා යොදවමින් එක් පැත්තකින් හමුදාව හා සිංහලයන් අතරෙ හිත් නොහොඳකමක් ඇති කරන්න හදනවා. අද සිංහලයන් හමුදා භටයන් හඳුන්වන්නෙ රණවිරුවන් නමින්. සිංහලයන් අතර හමුදාවට ගෞරවයක් තිබෙනවා. ආණ්ඩුව මේ ගෞරවය නැති කරලා හමුදාව කෙරෙහි කළකිරීමක් ඇති කරවන්නෙ ව්‍යවස්ථා සම්පානයෙහි දී කිිරීමට බලාපොරොත්තුවන දේට පසුබිම හදාගන්න ද? අර මෛත්‍රිපාලගෙ නඩය ව්‍යවස්ථාව ගැන මොනවා කරාවි ද? රටට වඩා ඇමති කට්ට ලොකු වේවි ද?

එක් මාධ්‍යවේදියකුට අනුව නාවික හමුදාපතීත් හම්බන්තොට දී පහර දීලා. මට නාවික හමුදාපති අඳුරන්න බැහැ. සිවිල් ඇඳුමෙන් ඉන්න විට කොහොමටවත් අඳුරන්න බැහැ. නාවික හමුදාපති කොට කලිසමක් ඇඳ සිටි බවටයි කියැවෙන්නෙ. ඒ එසේ නම් සිවිල් ඇඳුමෙන් සැරසී පහර දී ඇත්නම් නාවික හමුදාපති ලජ්ජා විය යුතුයි. එසේ නම් ඔහු ක්‍රියා කර ඇත්තේ මැරයකු, බේබද්දකු, රස්තියාදු කාරයකු හා ආණ්ඩුවේ බත් බැළයකු ලෙස මිස රාජ්‍යාරක්‍ෂක නිලධාරියකු ලෙස නොවෙයි. මෑත ඉතිහාසයේ නාවික හමුදාවේ සේවය කළ මොහාන් විජයවික්‍රම, කරන්නාගොඩ, සරත් වීරසේකර වැනි කීර්තිමත් රාජ්‍යාරක්‍ෂක නිලධාරීන්ගේ පයට පෑගෙන දූවිලි තරම්වත් ඔහු වටින්නේ නැහැ. අර මුහුදු කොල්ල කෑමේ කතාව පැත්තකට දාලා නාවික හමුදාපති හමුදාවේ ගෞරවය නොරැකීම ගැන සොයා බැලිය යුතුයි. ආණ්ඩුවට ගෞරවයක් නැති වුනාට තවමත් හමුදාවට ගෞරවයක් තිබෙනවා.

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 11

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.