ආණ්ඩු විරෝධී පෙරමුණක් හදන්න යන බව ආරංචියි. එවැනි පෙරමුණකින් රටට එතරම් වැඩක් වෙන්නෙ නැහැ. ආණ්ඩු විරෝධය එතරම් හොඳ සංකල්පයක්, අදහසක් නොවෙයි. අද අවශ්‍ය වන්නේ ආණ්ඩු විරෝධී පෙරමුණක් නොවෙයි. ආණ්ඩු විරෝධී පෙරමුණක් මගින් මේ ආණ්ඩුව පළවා හරින්න පුළුවන් වේවි. ඒත් ඒකත් නිශ්චිතව ම කියන්න බැහැ. එහෙම මේ ආණ්ඩුව පළවා හරින්න අවශ්‍ය වන්නෙ මොහොකට ද? ජනතාවට සේවය කරන්න කියන කතාව අපට කියාවි. ඒත් ඇත්ත වුවමනාව ඇමතිකම්, සංස්ථා සභාපතිකම්, තානාපතිකම්, අමාත්‍යාංශ ලේකම් පදවි ආදිය ලබාගැනීමයි. ජනතාවටත් සමහරවිට ඊනියා සංවර්ධනයක් ලැබේවි.
ආණ්ඩුව පළවා හරින්න ඕන. ඒක ගැන මගේ ප්‍රශ්නයක් නැහැ. ඊනියා සමාජවාදින් කියන්න පුළුවන් මා ආණ්ඩු විරෝධි පෙරමුණකට විරුද්ධ වෙන්නෙ රනිල්ට හා මෛත්‍රිපාලට කඩේ යන්න කියලා. එහෙම කියන එක ගැන මා කණගාටු වෙන්නෙ නැහැ. මේ රටේ මිනිසුන්ට දුරක් තියා ළඟක්වත් පේන්නෙ නැහැ. ඔන්න නලින් ද සිල්වාත් රනිල්ට සහාය දෙන්න තීරණය කරලා කියලා මිනිසුන්ට කියන්න පුළුවන්. ඊනියා තියරි කාරයන් කියන්න පුළුවන් මා පහුගිය දා එක්සත් රාජ්‍යයන්ට ගියාට පස්සෙ යම් ගණුදෙනුවක්, ඩීල් එකක් කෙරිලා කියලා. මා ගැන පොඩි අනුකම්පාවක් තියෙන අය කියන්න පුළුවන් නලින් ද සිල්වා ප්‍රායෝගික නැහැ, එයා ජීවත් වෙන්නෙ සිහින ලෝකයක කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් මගේ ලෝකෙ ඇමතිකම්, තනතුරු නැහැ.
2015 අගෝස්තු මැතිවරණයට වෙන ම පක්‍ෂයකින්, සංවිධානයකින් තරග කරන්න කියලා අප ඉල්ලා සිටියා. අඩු තරමෙන් වෙන ම කණ්ඩායමක් හැටියට තරග කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම වුනේ. ඒත් ඒක සත පහකට ගණන් ගත්තෙ නැති අය අද ආණ්ඩු විරෝධී පෙරමුණක් ගැන කතා කරනවා. එ ජා ප හා ශී්‍ර ල නි ප එකතු කිරීම බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ අවශ්‍යතාව වෙලා තිබුණා. ඒ සම්මුතිවාදයක් වෙනුවෙන් තමයි. ඒ වෙන සම්මුතිවාදයක් නොවෙයි. දෙමළ නායකයන්ට බලය බෙදාදෙන කොන්ෆෙඩරේක්‍ෂන් නැත්නම් සහසන්ධීය රාජ්‍යයක් දීම සඳහා. ඔවුන් දැනගෙන හිටිය කරුණ තමයි එක පක්‍ෂයකින් ඒ සඳහා පනතක් ගෙනාවිට අනෙක් පක්‍ෂයෙන් එයට විරුද්ධ වෙන බව. ඒ නිසා පක්‍ෂ දෙක එකතු කරන්න ඔවුන් උත්සාහ කළා. මේ කාරණය අප කීවේ අද ඊයේ නොවෙයි. මේ පක්‍ෂ දෙක එකතුවීමේ කිසිම හොඳක් නැහැ.
මේ අතර බටහිරයන්ට මහින්ද පන්නා දැමීමේ අවශ්‍ය්‍යතාව නැත්නම් රාජපක්‍ෂ රෙජිමය එළවා දැමීමේ අවශ්‍යතාව තිබුණා. මේ කරුණු දෙකම ඉටුකරගන්න අවස්ථාවක් ඔවුන් උදාකරගත්තා. ඒ දැනට අවුරුදු දෙකකට ඉස්සර. මහින්ද හා බැසිල් ගැන පෞද්ගලිකව කළකිරිලා හිටිය මෛත්‍රිපාල, නිමල් සිරිපාල වගේ අය එකතු කරගැනීමේ සැලසුම් ක්‍රියාත්මක වුනා. එහි දී මූලිකව වැඩ කෙළේ ඉන්දියාවෙ රෝ සංවිධානය. චීනය එක්ක පවත්වපු සම්බන්ධකම් ගැනත් ඉන්දියාව මහින්දට විරුද්ධව හිටියෙ. අවසානයේ දී ඔවුන් මෛත්‍රිපාලව තම ඉත්තා කරගැනීමට තිරණය කළා. මහින්දගෙ කසිකබල් සමාජවාදී වාමාංශික උපදේශකයෙන් එදා ජනාධිපතිවරණයෙ දී ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටිම ප්‍රතික්‍ෂෙප කළා. අපට අඩු තරමෙන් රූපවාහිනී වැඩසටහනක්වත් දුන්නේ නැහැ. අප ජාතිවාදී බවට ඔවුන් ලේබලයක් අළවා තිබුණා. ඒත් ජාතිවාදය කියන්නෙ මොකක් ද කියලා කීවුවෙ නැහැ. මෛත්‍රිපාල ලක්‍ෂ හතරක පමණ වැඩි ඡන්ද සංඛ්‍යාවකින් දිනුවා. ඒක මහා ගණනක් නොවෙයි. ලක්‍ෂ දෙකක් හරවා ගත්තත් නම් මහින්ද දිනුම්. ජාතිකත්වය කතා කළා නම් මහින්ද දිනනවා.
අගොස්තු මැතිවරණයෙ දි වෙන ම තරග කරන්න කිවුවට ඒක කෙළේ නැහැ. මෛත්‍රිපාල මහින්ද සමගියක් ගැන සමාජවාදියො කතා කළා. අප නිකම් මෝඩයන් බවට පත්වුනා. ඒ මැතිවරණයේදීත් සමාජවාදීන් ජාතිකත්වය ගැන කතා කෙළේ නැහැ. මෛත්‍රිපාල මහින්ද අගමැති කරන්නෙ නැහැ කියලා ප්‍රසිද්ධියෙ කිවුවා. ඒක එහෙම වෙන බව දැන සිටියෙ නැද්ද. මහින්දගෙ මිනිසුන් ලක්‍ෂ දහයක් විතර ඡන්දෙ දෙන්නෙ ගියෙ නැහැ. ඒ සියල්ල මැද්දෙත් සංධානෙට ආසන අනූපහක් ලැබුණා.
දැන් මේගොල්ලන් ආණ්ඩු විරෝධී පෙරමුණක් හදන්න යනවා. පළාත් පාලන මැතිවරණය කල්දැමීමට විරූද්ධ වෙන එක මහා වැඩක් නොවෙයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා රූපවාහිනිය දෙවනත් කරනවා. වැට් බද්දටත් විරුද්ධ වෙන්න ඕන. ඒවා ආණ්ඩු විරෝධී න්‍යාය පත්‍රයක උඩින් ම ඇති. ඒත් අද රටේ මූලික ප්‍රශ්නය මොකක් ද? සහසන්ධීය රාජ්‍යයක් ඇති කිරීම, සිංහල බෞද්ධයන්ට නිසි තැන නොදීම, සිංහල බෞද්ධ සංස්කෘතිය පාගා දැමීම ආදිය සඳහා නව ව්‍යවස්ථාවක් ඇති කිරීමයි. ඒකට විරුද්ධ වෙන්න ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා ඉදිරිපත්වීමෙන් බැහැ. අද රටේ ජාතිකත්වය වටා විශාල පිරිසක් ඉන්නවා. ඒත් ඒකාබද්ධ විපක්‍ෂයෙ එවැනි අය අතේ ඇඟිලි සංඛ්‍යාවටත් අඩුයි.
අගොස්තු මැතිවරණයෙ දි වලංගු ඉල්ලීම, වෙනත් පක්‍ෂයකින් තරග කළ යුතුය යන්න, අද වලංගු නැහැ. එදා ඒකට විරුද්ධව සිටි සමාජවාදීන් අද ඒකට පක්‍ෂයි. සමාජවාදය මේ රටට උරුම කරලා තියෙන කරුමය කියා නිම කරන්න බැහැ. ජාතිකත්වයට යෑම නවත්වන්නෙ පරණ සමාජවාදී කුණු කන්දල් සංකල්පවලින්. දැන් ඈරිස්ටෝටල්ගෙ තර්ක විතරක් දන්න අය කියාවි නලින් ද සිල්වා ධනවාදයට කඩේ යනවා කියලා. ඒ වගේ අය තමයි ඊනියා ද්‍රව්‍යවාදී නොවීම විඤ්ඤාණවාදී කියලා හඳුන්වන්නෙ. ලෝකයේ තියෙන්නෙ අන්ත දෙකයි කියලා හිතන අය එක්ක වාද කරලා වැඩක් නැහැ. බටහිර කසිකබල් ගණිතයට නම් ඇරි්ස්ටෝටල් හොඳයි. මා ආණ්ඩු විරෝධී පෙරමුණක් එපා කියලා කියන්නෙ ආණ්ඩුවට කඩේ යන්න නොවෙයි. මා කඩේ යන්්නෙ ඊනියා ජනතාවටවත් නොවෙයි. මා කඩේ යන්නෙ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධව රටේ ස්වෛරිභාවය සඳහා ජාතිකත්වයට.
අද කළ යුත්තෙ ආණ්ඩු විරෝධී පෙරමුණක් හදන එක නොවෙයි. පළල් ජාතික බලවේගයක් නිර්මාණය කරන එක. ඒකට අරමුණු පහකට වඩා තියෙන්න ඕන නැහැ. එයින් තුනක් අනිවාර්යයයෙන් ම රටේ ඒකීයභාවය රැකගැනීම, රණවිරුවන් ආරක්‍ෂා කිරීම හා විදේශවලට හිස නොනමා රටේ ස්වෛරිභාවය ආරක්‍ෂා කරගැනීම වෙන්න ඕන. ආණ්ඩු විරෝධී පෙරමුණකින් ඔය එකක්වත් ඉටුවෙන්නෙ නැහැ. ආණ්ඩු විරෝධී පෙරමුණක් ගැන අද ලොකුවට කතාකරන අය මහින්ද පැරදුණාම දුරකතනයෙන්වත් සම්බන්ධ කරගන්න බැරිවුණු අයයි. අවශ්‍ය වුනොත් නම් කියන්නත් පුළුවන්.
නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 20