Breaking
25 Feb 2025, Tue

ආප්ප රාත්‍රියෙහි දී බණ්ඩාරනායක මරපු,ජාතික ආණ්ඩුව හරහා එජාප බත් බැලයෙකු වු සිරා

කුරුණෑගල හතරවැනි දා පැවැත්වෙන මළවුන්ගේ අවුරුදු සැමරුමට යන්න ඕන ද නැද්ද කියලා ඒකාබද්ධ විපක්‍ෂෙ මහින්දත් එක්ක ඉන්න අය බල මණ්ඩල හා වෙනත් නියෝජිතයන්ගෙන් විමසලා තිබුණා. ඒක මට නම් දැනෙන්නෙ එක විධියකට නම් තේරුමක් නැති වැඩක් හැටියට. එහෙම ඇහුව ම කුරුණෑගල දී රනිල් මතක බණ කියන එකට යම් නිල වටිනාකමක් ලැබෙනවා. අනෙක් පැත්තට එලෙස විමසීම සිංහල බෞද්ධ සම්ප්‍රදාය.

මෛත්‍රිපාල 2014 සැප්තැම්බරයේ පමණ ආප්ප රාත්‍රියෙහි දී බණ්ඩාරනායක මහත්තයා හදපු ශ්‍රී ල නි පක්‍ෂෙ මැරූවා. ඔහු එ ජා පක්‍ෂය සමග එකතු වුනා. ඒ එක විධියකින් බණ්ඩාරනායක මහත්තයා කරපු එකේ අනෙක් පැත්ත. බණ්ඩාරනායක මහත්තය එ ජා පක්‍ෂයෙන් කැඩිලා ශ්‍රී ල නි ප පිහිටෙවුව. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂය මරලා එ ජා පක්‍ෂයට හේත්තු වුනා. ඔහු අද එ ජා ප සාමාජිකයකුට වඩා එහි බැළ මෙහෙවර කරන්නෙක්. එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාව මේ ඝාතනය පිටිපස්සෙ හිටියා. මෛත්‍රිපාලට කෙලින් ම එ ජා පක්‍ෂයට බැඳෙන්න බැරි හින්ද ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය ඇතුළත් කරලා දහනවවැනි සංශෝධනය සම්මත කරගත්ත. ඒකට ඒකාබද්ධ විපක්‍ෂෙ උදවියත් චන්දෙ දුන්නා. මේ බොරු ජාතික ආණ්ඩුව කියන්නෙ එ ජා ප ආණ්ඩුවක්. ඒකෙ ප්‍රධානියා රනිල්. අර ජනාධිපතිගෙ වෙබ් අඩවියට ඇතුල් වෙච්ච ශිෂ්‍යයා දැනගෙන ඉඳලා නැහැ රනිල් තමයි ආණ්ඩුවෙ ප්‍රධානියා කියලා. ඒ ශිෂ්‍යයා තමන් ප්‍රධානියා ලෙස සලකපු එක ගැන මෛත්‍රිපාල තෑග්ගක් දීලා නිදහස් කරන්න ඕන. ඒත් රනිල් ඒකට විරුද්ධ ද දන්නේ නැහැ. කොහොමත් ඒ ශිෂ්‍යයා දක්‍ෂයෙක්. හොඳ ශිල්ප ඥානයක් තියෙන අයෙක්. අපට ද’ක්‍ෂ ශාස්ත්‍ර ඥානයක් තියෙන අයත් බිහිකර ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් අපේ සංස්කෘතිය තවම ඒකට ඉඩ දෙන්නෙ නැහැ.

අද කඩන්න ශ්‍රී ල නි පක්‍ෂයක් නැහැ. මරපු පක්‍ෂයක් කඩන්නෙ කොහොම ද? අද තියෙන්නෙ නව ජාතික සංවිධානයක් බිහිකර ගන්න එක. වෙනත් අතකින් ගත්තම බණ්ඩාරනායක මහත්තයා පක්‍ෂයක් කැඩුවෙ නැහැ. එ ජා පක්‍ෂය මුලින් ම පිහිටෙව්වෙ දේශපාලන සංවිධාන කිහිපයක් එකතු වෙලා. ඒ කාලෙ දේශපාලන පක්‍ෂ හැටියට තිබුණෙ ලංකා සමසමාජ පක්‍ෂයයි ලංකා කොමියුනිස්ට් පක්‍ෂයයි විතරයි. ඒ පක්‍ෂවලත් දැන් තියෙන්නෙ අවතාර විතරයි. තිස්ස විතාරණයි ඩිව් ගුණසේකරයි අවතාර ගැන දන්නෙ නැත්නම් මේ කියන එක තේරෙන්නෙ නැහැ. එ ජා පක්‍ෂය ඇත්තටම සංධානයක් ලෙසයි පටන්ගත්තෙ. දේශපාලන පක්‍ෂවල සංධානයක් නොවුනට දේශපාල සංවිධානවල සංධානයක්. බණ්ඩාරනායක මහත්තයා ඒ සංධානයට එකතු වුනෙ සිංහල මහා සභාව හැටියට. එතුමා කෙළේ සංධානයෙන් කැඩිලා සිංහල මහා සභාව ශ්‍රී ල නි පක්‍ෂය හැටියට ප්‍රතිසංවිධානය කරපු එක.

දැන් මේ රනිල්ට බැළ මෙහෙවර කරන අය කියන දෙයක් තමයි නායකයො වුනා ම තීරණ අරගෙන දැනුම් දෙන්න ඕන කියන එක. අනුගාමිකයන්ගෙන් අහල තීරණ ගන්න එක වැරදියිලු. ඔවුන් ශ්‍රී ල නි පක්‍ෂය මරන්න ඉස්සර එහි සම්ප්‍රදායවත් සිංහල බෞද්ධ සම්ප්‍රදායවත් දැනගෙන ඉඳලා නැහැ. ඒ වගේ අය තමයි ඒ ජා ප එක්ක එකතුවෙලා ඉන්නෙ. සිංහල බෞද්ධ සම්ප්‍රදායෙ ජාතිකත්වය උඩ ඉඳලා පහළට යන එකක් නොවෙයි. පහළ ඉඳලා උඩට එන එකක්. ඒක අනෙක් ජාතිකත්ව බොහොමයකට වඩා වෙනස්. දෙමළ ජාතිකත්වය සම්පූර්ණයෙන් ම උඩ ඉඳලා පහළට එන්නෙ. දෙමළ වෙල්ලාල ක්‍රිස්තියානීන් තමයි ලංකාවෙ දෙමළ ජාතිකත්වය, ඇත්තට ම සිංහල බෞද්ධ විරෝධී ජාතිවාදය, ඇති කෙළේ. තමිල්නාඩුචෙත් දෙමළ ජාතිකත්වය ඇති කෙළේ කතෝලික පූජකවරු.

ලංකාවෙ දෙමළ ජාතිවාදය සිංහල බෞද්ධ විරෝධී පමණක් නොවෙයි අවසානයේ දී හින්දු විරෝධී. අද දෙමළ ජාතිවාදී කතෝලික සංවිධානයක් හින්දු සම්මේලනයේ නායකයන්ට මරණීය තර්ජන එල්ල කරන්නෙ ඒකයි. හින්දූන්ට අවශ්‍ය නැහැ බුදු පිළිම වහන්සේලා ඉවත්කරන්න. ඔවුන්ගේ දහමට අනුව බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්. අප එය මතක් කළ යුතුයි. විග්නේස්වරන්ලා හින්දු වෙන්නෙ නමට විතරයි. ජේ ආර්ලා රනිල්ලා බෞද්ධ වුනා වගේ. සිංහල දෙමළ භේදයක් ඇති කෙළේ ලන්දේසීන් ඉංගිරිසින් සිංහලයන්ට විරුද්ධව දෙමළ ජනතාව උසිගැන්වීමෙන්. එහි දී පසු කාලෙක රනිල්ගෙ ඇංග්ලිකන් ක්‍රිස්තියානි තාත්තත් සිංහල රාජ්‍ය භාෂාව කිරීම සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම කියලා ලේක්හවුස් පත්තර මගින් ප්‍රචාරය කරලා දෙමළ ජනතාව සිංහලයන්ට විරුද්ධව උසිගැන්නුවා.

අද මෛත්‍රිපාල එක්ක ඉන්න අය සිංහල සම්ප්‍රදාය ගැන දන්නෙ නැති පිරිසක්. ඔවුන් රනිල් වගේ ම උඩින් තීරණ අරගෙන තම අනුගාමිකයන් තමන්ට ඕන විධියට මෙහෙයවන පිරිසක්. ඔවුන්ට මහින්ද බල මණ්ඩලවලින්් උපදෙස් ගන්න එක තේරෙන්නෙ නැහැ. ඔවුන් එ ජා පක්‍ෂයට එකතු වුනු එක දිර්ඝකාලීන ව ගත්තම රටට යහපතක්. කුරුණෑගල යන්නෙ මොවුන් රනිල්ට තව තවත් බැළ මෙහෙවර කරන්න.
නලින් ද සිල්වා
2016 සැප්තැම්බර් 01

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.