විශේෂාංග

‘ආයුබෝවන්, පොලිස්‌ රාජ්‍යයක්‌ සඳහා ඔබව සාදරයෙන් පිළිගනිමු’

සේයා ඝාතනය සහ අපරාධ රැල්ලේ වැඩිවීම, යළිත් භීෂණ යුගයක්‌ කරා රට ඇදගෙන යමින් තිබෙන බව පෙනේ. ඒ සමගම අවසාන වගකිව යුත්තෙක්‌ නොමැති පොලිස්‌ වියරුවක්‌ ද රට අරක්‌ගෙන තිබෙන බව පැහැදිලිව පෙනී යයි. ත්‍රිවිධ හමුදාපති තනතුරු දැරූ ප්‍රධාන කිහිපදෙනෙකු මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට කැඳවීම පිළිබඳව තමා නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල විසින් ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නේ, සමහර ක්‍රියාදාමයන් සිදුවෙමින් යන්නේ, ජනාධිපතිවරයාට ද පිට්‌ පොකට්‌ ගසමින් බවය. එක්‌ අතකින් බලන විට තත්ත්වය තමාට ද පාලනය කළ නොහැකි තැනක ජනාධිපතිවරයා සිටින බව පෙනී යන අතර, පොලිසිය විසින් වෙනත් හස්‌තයක බලය උපයෝගී කර ගනිමින් තමනට අවශ්‍ය ආකාරයකට කටයුතු කරන බව ද පෙනී යයි.

ජනවාරි අට වැනිදා බලයට පත් වූ හංස රෙජීමය විසින්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තමන්ට රිසි ලෙස බෙදා හදා ගන්නා කෑම මේසයක්‌ බවට පත් කර ගත් අතර, එහි ප්‍රධාන ඉලක්‌කයක්‌ බවට පත් වූයේ ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ සඳහා මර්දනය දියත් කිරීමය. ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයන්ට ඡන්ද බලය අහිමි කිරීම වැනි අණ පනත් ගෙන එන ලද්දේ, තමන්ට එරෙහිව සටනට බසිනා සියලුදෙනා දේශපාලන පිටියෙන් අතුගා දමනට මිස විදේශීය විරෝධතාවක්‌ මත නොවේ. රටේ යුක්‌තිය පසිඳලීමේ ක්‍රියාවලිය සඳහා දෙමුහුන් අධිකරණ පිහිටුවමින් ඇමරිකාව සමග එ.ජා. මානව හිමිකම් කොමිසමේදී කරට අත දමාගෙන, විදේශීය විනිසුරුවන්හට අවස්‌ථාව පාදා දෙන අතරේදී, ද්විත්ව පුරවැසිභාවය ලබා සිටින පිරිසට ඡන්ද බලය අහිමි කරන්නේ, ස්‌වාධිපත්‍යය පිළිබඳව ඔද වැඩුණු මනසක්‌ හංස රෙජීමයට තිබෙන නිසා නොව, රාජපක්‌ෂලා කිහිපදෙනෙකු සහ කුමාර් ගුණරත්නම් වැනි තමන්ට අභියෝගයක්‌ විය හැකි කිහිපදෙනෙකු එක්‌ නෛතික වෑයමකින් කනෙන් අල්ලා එළියට දමා ගැනීම සඳහා බව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ පුරවැසිකම කිසිසේත් හිමි නැති අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ අධිපති ධුරය දැරීම ප්‍රශ්නයක්‌ නොවී, ද්විත්ව පුරවැසි භාවය පමණක්‌ම, හංස රෙජීමයට ප්‍රශ්නයක්‌ වන්නේ ඒ නිසාය.

යහපාලනය යන වැකිය ලොකුවට සඳහන් කරමින් මේ මාස කිහිපයේදී හංස රෙජීමය ගොස්‌ තිබෙන ගමන, බුදු සරණයි යන බෝඩ් එක ගසා ගෙන හොර හරක්‌ ප්‍රවාහනය කරනා ලොරියක්‌ වැනිය. රාජපක්‌ෂ ආණ්‌ඩු කාලයේදී කෝප් කමිටුවේ, සභාපතිත්වය විපක්‌ෂයට නොදීම ප්‍රජාතන්ත්‍රවාදයට කරන ලද ගැරහීමක්‌ යෑයි පෙන්නා දුන් උදවියම, මහ දවාලේ රටේ විපක්‌ෂ නායක තනතුර, ආණ්‌ඩුවට අවශ්‍ය ආකාරයට කොල්ලකෑම යහපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙනා ස්‌ථානය මනාව ලකුණු කර දී තිබේ.

මේ සියල්ල අතරේ රට පොලිස්‌ රාජ්‍යයක්‌ බවට පත් කර විරුද්ධ දේශපාලන අදහස්‌ සහ ක්‍රියාකාරකම් යටපත් කරමින් තිබෙන ආකාරය විසින් සිහි ගන්වන්නේ හිට්‌ලර්ගේ ගෙස්‌ටෝපා පොලිසියමය. 2009 මාර්තු 17 වැනිදා සිය කවරයේ කතාවෙන් නිව්ස්‌ වීක්‌ සඟරාව කියා සිටියේ “පොලිස්‌ රාජ්‍යය – ඇමරිකාවේ නව ජීවන මාවත” ලෙසය. තමනට බලයට ඒම සඳහා මඟ හසර කියා දුන් ඇමරිකානු ස්‌වාමියාගේ මාවතේම ශ්‍රී ලංකාව ද ගමන් කරවීම හංස රෙජීමයේ අවශ්‍යතාව වී තිබෙන බව කෙරීගෙන යන වැඩ කටයුතු වලින් පැහැදිලිය. සේයා දියණිය දූෂණය කර ඝාතනය කර දැමීම කලකින් අසන්නට ලැබෙනා බිහිසුණු අපරාධයක්‌ වූවා සේම, එහිදී පොලිසිය විසින් අනුගමනය කරන ලද තගරි යාන්ත්‍රණය ද ඒ සමානම අපරාධකාරී තත්ත්වයක පවතී. පරිපාලන යාන්ත්‍රණයේදී එවැනි සිදුවීම් කලාතුරකින් විය හැකි වුවත් ඒ සඳහා කිසිදු අවසාන වග උත්තරකරුවකු නොමැති වීමෙන් පෙනී යන්නේ, එය ඉවසා ගැනීමට තරම් රාජ්‍යය, පොලිස්‌කරණය වී ඇති බව නොවේ ද…? යම් හෙයකින් මෙවැනි තත්ත්වයක්‌ රාජපක්‌ෂ ආණ්‌ඩු කාලයේ ඇති වූවා නම් පොලිසිය පැත්තක තබා, ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂගේ කලිසම, ඔලුවෙන්ගැලවීම සඳහා අද ආණ්‌ඩු කරන පිරිසම කෙතරම් වේගයෙන් පෙරට එනු ඇද්ද…? අනෙක්‌ අතට ‘යුද අපරාධ’ සෙවීම සඳහා පුදුමාකාර මහන්සියක්‌ දරනා හංස රෙජීමය, අතිශයින් පැහැදිලි මේ පොලිස්‌ අපරාධය සඳහා කට වසාගෙන සිටින්නේ, යහපාලනය තුළ ස්‌ථාපිත කර තිබෙනා පොලිස්‌ රාජ්‍යයට ඉන් අභියෝගයක්‌ වේ යෑයි සිතාගෙනද…?

රාජපක්‌ෂ ආණ්‌ඩු කාලයේදී මිලිටරිකරණය පිළිබඳ චෝදනාව නිරන්තරයෙන් එල්ල විය. සුදු වෑන් සංස්‌කෘතියක්‌ පවතින බවට උදේ හවා මන්තරයක්‌ සේ ජප කරනු ලැබීය. වෙනෙකක්‌ තබා, හදිසි අනතුරකින් සරසවි ශිෂ්‍ය නායකයන් දෙදෙනකු මියයැම ද ඝාතන කුමන්ත්‍රණයක්‌ බවට කතා පතුරුවනු ලැබීය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මුහුණ දුන් රිය අනතුර වාසනාවට බරපතළ තත්ත්වයක නොතිබිණි. අවාසනාවට එය බරපතළ තත්ත්වයකට පත් වූවානම්, එහි නිසැක වගකිව යුත්තා වන්නේ, රාජපක්‌ෂ ආණ්‌ඩුවය. ඒ තරමටම සියල්ල රාජපක්‌ෂගේ කුමන්ත්‍රණ බවට පත් කර තිබුණි. නමුත් සාමාන්‍ය ජන සමාජය විෂයෙහි සුදු වෑන් හෝ මිලිටරිකරණයක්‌ ක්‍රියාත්මක වනු දැකිය නොහැකි විය. ත්‍රස්‌තවාදය මර්දනය සඳහා සහ එය යළි කරලිය වෙත එළඹීම වළක්‌වනු සඳහා හමුදා ක්‍රියා මාර්ග අනුගමනය කරන ලද බව පෙනී ගිය මුත් රාජපක්‌ෂ යාන්ත්‍රණය අතිශයින්ම විවේචනය කරන ලද කිසිවකු උසාවි කූඩු ගානේ රැගෙන යැමක්‌ හෝ ඔවුන් විෂයෙහි භීතිය පතුරුවා හැරීමක්‌ රහසිගත ලෙස ක්‍රියාත්මක නොවීය. යමක්‌ වූවානම් ඒ එළිපිටය.

සරත් ෙµdන්සේකා වෙත දියත් කරන ලද මර්දනය රාජපක්‌ෂ ආණ්‌ඩුව දේශපාලන පලි ගැනීමක්‌ සඳහා යොමු වූ එකම අවස්‌ථාව වුවත් එහිදී විපක්‌ෂය ක්‍රියා කරන ලද්දේ දියාරු තැනක සිට වීම නිසා, එය වළක්‌වාලීම සඳහා තිබූ අවස්‌ථාව ගිලිහී ගියේය. පොදු අපේක්‌ෂක වශයෙන් 2010 දී ඉදිරිපත් වෙලා සිද්ධ වුණු දේවල් ගැන මතක්‌වෙද්දීත් ඇඟේ මයිල් කෙළින් වෙනවා. පොදු අපේක්‌ෂක වශයෙන් ඉදිරිපත් වෙන කෙනාට ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන්න බලාගෙනයි, සටනට එන්න වෙන්නේ. මැතිවරණ කාලෙට කවුරුත් ළඟ ඉඳියි. හැබැයි බැරිවෙනකොට සේරම දාලා යාවි. හිරබත් කන්න වෙන්නේත් තනියමයි. මේ දේවල් දැනගෙන, පොදු අපේක්‌ෂක එනව නම් හොඳයි….” යනුවෙන් සරත් ෆොන්සේකා විසින්, නාවල සෝලිස්‌ ශාලාවේදී, සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකදී පැවසුවේ, පොදු අපේක්‌ෂක ලෙස මෛත්‍රීපාල සිරිසේන පිල් මාරු කරන්නට සතියකට පෙරය. සරත් මේ ප්‍රකාශය සිදු කරන විට, ඒ මේසයේම එක තැනක රනිල් වික්‍රමසිංහ ද වාඩි වී සිටියේය. සරත් ෆොන්සේකා තමන්ගේ බිලි බෝයි ලෙස සලකනවාට වඩා වැඩි දෙයක්‌ ඔහු පොදු අපේක්‌ෂක ලෙස පත් කිරීමෙන් විපක්‌ෂය බලාපොරොත්තු නොවීය. තමන්ට ජය ගත නොහැකි අභියෝගය සඳහා බිල්ලක්‌ ලෙස විනා, ඉන් එහාට සරත්ෆොන්සේකා පිළිබද සෙවීම, විපක්‌ෂය විසින් අත හැරීම විසින් රාජපක්‌ෂ පාලනය ඔහුගෙන් පලිගැනීම ද විශාලනය විය. සරත්ෆොන්සේකාගෙන් රාජපක්‌ෂ ආණ්‌ඩුව ගත් වාඩුවේ, කුඩා පංගුවක්‌ සඳහා, එවකට සිටි විපක්‌ෂයේද වගකීමක්‌ තිබෙන බව පෙනේ.

මේ හැරුණු විට මිලිටරිකරණය ලෙසින් එම කාලයේදී ගර්හාවට ලක්‌වූයේ, නාගරික සංවර්ධන විෂයේදී රාජපක්‌ෂ ආණ්‌ඩුව විසින් කරන ලද කැපී පෙනෙන සේවවාවය. බ්‍රිතාන්‍ය යුගයෙන් පසු අත්හැර දමා අයාලේ යමින් තිබූ නාගරික සංවර්ධනය වේගවත් සහ මනා සංවර්ධනයකට එම කාලයේදී ලක්‌ වූ අතර ඒ සඳහා පුරෝගාමී දායකත්වයක්‌ ලබා දෙන ලද්දේ හමුදා යාන්ත්‍රණය මගිනි. ඒ නිසාම යම් විනය සීමාවක්‌ තුළ ඒවා පරිහරණය කිරීමට සිදුවීම, මිලිටරිකරණය ලෙස සමහරුන් අර්ථ දක්‌වන්නට විය. 2009 වසරේ සිට, සීග්‍ර දියුණුවක්‌ පෙන්වන නගර 132 ක්‌ සැලකිල්ලට ගෙන මාස්‌ටර් කාඩ් Êආයතනය විසින් සිදු කළ 2015 වාර්ෂික සංචාරක සමීක්‌ෂණය අනුව කොළඹ නගරය ලෝකයේ වැඩිම වේගයකින් සංවර්ධනය වන නගරය ලෙස පළමුවැනි ස්‌ථානයට පත් වූයේ 21% ක දැවන්ත වර්ධන වේගයක්‌ ලබා ගනිමින්ය. මෙවැනි සංවර්ධනීය පිළිවෙත් සහ ත්‍රස්‌තවාදය සඳහා නිරානුකම්පිතව, හමුදාවන් විසින් කරන ලද සේවය මිලිටරිකරණය ලෙස හඳුන්වා දුන් පිරිස, වර්තමානයේ දී පොලිස්‌ රාජ්‍යයක ආරම්භක අවස්‌ථාව සනිටුහන් කරමින් ප්‍රතිවිරුද්ධ දේශපාලන මත සඳහා බැටන් පොල්ල දික්‌ කිරීමත්, අතට අසුවෙන සියල්ල පොලිස්‌ බලයෙන් ප්‍රශ්න කිරීමත් සමාජ ව්‍යසනයක්‌ දක්‌වා වන දුර ගමන් කර තිබේ. විපක්‌ෂයට පාර්ලිමේන්තුව තුළ හිමි තැන විපක්‌ෂ නායක තනතුරේ සිට පක්‌ෂ නායක තත්ත්වය දක්‌වාම අහෝසි කර තිබේ. පාර්ලිමේන්තුවෙන් පිටතදී, තමනට අභියෝගයක්‌ වන ඕනෑම අයෙකු පොලිසියේ ‘දත් තිස්‌ දෙක’ මැද්දේ තබා තිබේ. එවැනි චරිතයක්‌ පාරේ වමෙන් ගිය ද රිමාන්ඩ් කරන තත්ත්වයක්‌ මතු කර තිබෙන්නේය.

මාධ්‍යවේදී සමන් ගමගේ මුහුණ පා සිටින තත්ත්වය ද තිබෙන්නේ එවැනිම අන්තයකය. බන්ධනාගාරයේ සිදු වූ වෙඩි තැබීමකින් සිරකරුවන් මිය යැම පිළිබඳව සමන් විසින් දක්‌වන ලද අදහස හේතුවෙන් මේ වන විට ඔහු පසු වන්නේ ශරීර ඇප තැබූ තත්ත්වයකය. ඔහුගේ ලිපිය සඳහා නඩු පවරා තිබෙන්නේ, දණ්‌ඩ නීති සංග්‍රහය යටතේය. පෑනට මෙවැනි කල දවසක්‌ උදාවී තිබෙන්නේ, නිදහස්‌ මාධ්‍ය සඳහා කිසිදු වැටක්‌ නැතැයි සපථ කරමින් බලයට පැමිණි ආණ්‌ඩුවක්‌ යටතේ වීම විශේෂත්වයකි. පුදුමය වන්නේ කිසිදු මාධ්‍ය සංවිධානයක්‌ විසින් තවමත්, සමන් ලක්‌ව සිටින ඉරණම අවම වශයෙන් සාකච්ඡාවටවත් ලක්‌ කර නොතිබීමය. මේ සියල්ලෙන්ම පෙනී යන්නේ, ‘ආයුබෝවන්, පොලිස්‌ රාජ්‍යයක්‌ සඳහා ඔබව සාදරයෙන් පිළිගනිමු’ යන නාම පුවරුව අප විසින් පසු කර ඇති බවය.

මනෝඡ් අබයදීර
[දිවයින]

Top