Breaking
25 Feb 2025, Tue

ඉන්දියාව ඉදිරියේ දණ ගැහීම

මේ මස පකිස්තානයේ පැවැත්වීමට නියමිත ව තිබූ සාක් සමුළුව දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මේ ඉන්දියාවේ ප්‍රශ්නයක්. පසුගිය දා කාශ්මීරයේ ඇති වූ සිද්ධි මෙයට සම්බන්ධයි. අපට ඊනියා සංහිඳියාවක් ගැන කියන ඉන්දියාවටවත්, එංගලන්තයටවත්, ඇමරිකා එක්සත් රාජ්‍යවලටවත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳගන්නට බැහැ. ත්‍රස්තවාදී කටයුතු මේ හැම රටක ම සිද්ධ වෙනවා. රනිල් තම මීිත්‍ර ජෝන් කේගේ නවසීලන්තයට ගොස් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහි වීමේ පනතක් ගේන බව කියනවා. එහි දී එංගලන්තයෙන් උපදෙස් ගන්න බවත් කියනවා. ජෝන් කේ දැනට අවුරුදු දෙකකට පමණ පෙර ලෝකයේ දක්‍ෂිණාංශීක පක්‍ෂවල ආසියා ශාන්තිකර සම්මේලනයට සහභාගි වීමට ලංකාවට පැමිණියා. රනිල් එම පක්‍ෂවල ආසියා ශාන්තිකර කලාපයේ සභාපතිව සිටින විට කේ ලෝකයේ ම එම පක්‍ෂවල කණාඩායමේ සභාපති. ත්‍රස්තවාදය පරාජය කරපු ලංකාවෙන් අනෙක් රටවල් උපදෙස් ගන්නේ නැහැ. රනිල් එංගලන්තයෙන් සහ අනෙක් එවැනි රටවලින් ත්‍රස්තවාදයට එරෙහි පනත සකස් කිරීම සඳහා උපදෙස් ගන්නවා. ඒ අතර ලෝකය, ඊනියා ජාත්‍යන්තරය, ත්‍රස්තවාදය පැරදවීම සම්බන්ධයෙන් ලංකාවට පහර ගහනවා. මෙහෙමත් ලෝකයක්.

ඉතා පැහැදිලිව රනිල් එංගලන්තයට ඕන විධියට මෙරට දෙමළ ජාතිවාදයට රුකුල් දෙන ආකාරයට ඊනියා ත්‍රස්තවාදයට එරෙහි පනත සකස් කරන්න යනවා. ජාතික හෙළ උරුමය බෙල් බොටම් විහාර මහා දේවිලා එක්ක කටයුතු කෙළේ ත්‍රස්ත විරෝධී ව්‍යාපාරය හැටියට. දැන් නම් ඔවුන්ගේ ත්‍රස්ත විරෝධයක් නැහැ. එකලත් තිබුනේ නැහැ. ඔවුන් එක් කලක කොටින්ට විරුද්ධව හමුදා මෙහෙයුම් කරනවාටත් විරුද්ධ වුනා. ඔවුන්ගේ ප්‍රතිපත්තිය අවස්ථාවාදයයි. ඔවුන් එයට කියන්නේ යුගය අනුව වෙනස් වීමයි.

කාශ්මීර ප්‍රශ්නය ඇති කෙළේත් ඉංගිරිසින්. ඔවුන් අප රටවලට ඊනියා නිදහස ලබාදුන්නේ ඔවුන් ඇතිකළ ප්‍රශ්නත් සමග. ඉන්දියාව හා පකිස්තානය වෙන්කිරීමේ දී ඔවුන් කාශ්මීර ප්‍රශ්නය දායාද කළා. අපට දෙමළ ජාතිවාදය ඉතිරිකර ගියා. අප දෙමළ ජාතිවාදය පරාජය කළත් එය නීති පොතට ඇතුල් කිරීමට දුන්නේ නැහැ. එහි දී මහින්ද රාජපක්‍ෂ 2012 දී ගෙනෙන ලද පනත් කෙටුම්පතට විරුද්ධ වී ඇත්තේ ඊනියා සමාජවාදීන් වූ තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, වාසුදේව, රාජිත සේනාරත්න ආදීන්. ඊනියා සමාජවාදයත්, ධනවාදයත් පිළිවෙළින් බටහිර කතෝලික චින්තනයේ හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චිනාතනයෙන් බිහි වූ දේ. ඔවුන් අතර අද වන විට වෙනසක් ඇත්තේ ම නැති තරම්.

ඉන්දියාව කාශ්මීරයේ ඇති වූ සිද්ධි හේතුකොටගෙන සාක් සම්මේලනයට නොයන බව කියා සිටියා. ඒ සමග බූතානය, නේපාලය සාක් සම්මේලනයට සහභාගි නොවන බව ප්‍රකාශ කළා. මෙය ඉන්දියාවේ අවශ්‍යතාවට කළ දෙයක් බව පැහැදිලියි. සාක් සම්මේලනයේ සම්ප්‍රදාය අනුව එක රටක් වුවත් සහභාගි වන්නේ නැත්නම් සම්මේලනයක් පවත්වන්න බැහැ. ඉහත කී රටවල් ඉන්දියාවට යටයි. ලංකාවත් විකාර ප්‍රකාශයක් කරමින් රටවල් ගණනාවක් සහභාගි නොවන බැවින් සාක් සම්මේලනය පැවැත්වීමට නොහැකි බවක් කියමින් සම්මේලනයට සහභාගි නොවන බවට ප්‍රකාශයක් නිකුත් කළා. ඉන්දියාව හා පකිස්තානය අතර ගැටුමක් වර්ධනය වෙමින් පවතිනවා.

එයත් පැහැදිලිව ම ඉන්දියාවේ අවශ්‍යතාවට කළ එකක්. පකිස්තානයෙන් ගුවන් යානා මිළ දී නොගැනීමට ලංකාව කලකය ඉහත තීරණය කළෙත් ඉන්දියාවේ වුවමනාවට. අද අප බූතානය වැනි රටවල් මෙන් ම ඉන්දියාවේ විජිතයක් වෙලා. ඉන්දියාව මේ ආණ්ඩුව ඇති කෙළේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල අනුග්‍රහයෙන් තමන්ට අවනත නොවූ මහින්ද රාජපක්‍ෂ පළවා හැරීමට. මේ ආණ්ඩුවට ඉන්දියාවට අවශ්‍ය ආකාරයටත් එංගලන්තයට අවශ්‍ය ආකාරයටත් නටන්න සිදුවෙලා. රනිල් මෛත්‍රී ගැටුමටත් මෙය බලපානවා. මේ සිංගප්පුරු වසන්තයේත් ප්‍රතිඵල. එට්කා විතරක් නොවෙයි හනුමා පාළමත් ඉදිකරන්න ඉඩ තිබෙනවා. මෙහි දී කිවයුතු වැදගත් කරුණක් තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එට්කා ගිවිසුමට විරුද්ධ වූ පමණින් ඔවුන් කරන කියන සියල්ල සමග එකඟ වන්න බැහැ. වෛද්‍ය නිලධාරීන් බොර දියේ මාළු බාන්නට සැරසෙනවා.

මෙරට මුස්ලිම් ජනයාටත් මේවා හොඳ පාඩම්. බටහිර රටවල් හා ඉන්දියාව මෙරට මුස්ලිම් ජනයා සමග සිටින්නේ එකී ජනයා සිංහල බෞද්ධයනට එරෙහිව යොදා ගැනීමට පමණයි. සමස්තයක් ලෙස ගත්කල ඒ රටවල් මුස්ලිමුන්ට විරුද්ධයි. ඒ කුමක් වුවත් මේ නිවට ආණ්ඩුව ඉන්දියාව ඉදිරියේ දණ ගසා අවසන්. ඉන්දියාව කලාපීය බලවතා බව තහවුරු කරගෙන. මෙරට රෝ සංවිධානයට දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ සේවය කරන්නන් රාශියක් ඉන්නවා. එංගලන්තයේ නයිට් (සර්) පදවි ප්‍රදානය කිරීමේ දී අදාළ පුද්ගලයා ඔවුන්ගේ රැජින ඉදිරියේ දණ ගහනවා. ඉනාපසු ඔවුන්ගේ රැජින අදාළ පුද්ගලයාගේ උරහිසට තට්ටු කර සර් අහවලා නැගිටින්න කියනවා. එවිට නැගිටින්නේ දීනයෙක්. සර් කියා ආමන්ත්‍රණය කළත් නිවටයෙක්. ඉන්දියාව ඉදිරියේ දණ ගහන අය නැගිටින්නේ ම නැහැ!
නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 02

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.