Breaking
25 Feb 2025, Tue

ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම හෙවත් සිරිසේනට කියා ඉන්න අගමැති ඉවත් කොට වෙනත් එකෙකු දැමිම

මෙහි මාතෘකාව අයියෝ සිරිසේන යැයි කියන්න තිබුනත් තවමත් එයට කල් වෑඩියි. රනිල් මෛත්‍රී ගැටුම ගැන අප මින් ඉහත අවසන් වරට ලියුවේ සතියකට පමණ කලින්. එය මේ සබැඳියෙන් කියවිය හැකියි.(https://www.facebook.com/permalink.php?story_fbid=310045132708219&id=188511888194878) අද වන විට ගැටුම තවත් වර්ධනය වෙලා. ඒක හුදෙක් ම රංගනයක් නොවෙයි. තම දරුවන් ගැන මොන චෝදනාවක් කළත්, එය හරි වුවත්, වැරදි වුවත් දෙමවුපියන්ට කේන්ති යනවා. සිංහල සමාජය වඩාත් ම සංවේදී වන්නේ දරුවන් සම්බන්ධ ප්‍රශ්නවල දී. අද මෛත්‍රීපාලට අල්ලපු අත්තත් පය ගහපු අත්තත් නැතිවන තත්වයට ඇවිල්ලා. ඒත් විජාතික බලවේග ඒකට පැලැස්තරයක් අලවාවි. මේ ආණ්ඩුව අවශ්‍ය මෙරට ජනතාවට නො වෙයි. ආණ්ඩුව අවශ්‍ය අය එය පවත්වාගෙන යෑමට කටයුතු කරාවි. ආණ්ඩුව පත්කෙළේ ජ වි පෙ, ජාතික හෙළ උරුමය, ඊනියා සිවිල්(සිවල්) සමාජය නො වෙයි. ඔවුන් පෙරහැරේ ගියා විතරයි. ඒත් ඔවුන්ට ආණ්ඩුව පිහිටුවීමේ පාපයෙන් ගැලවෙන්න බැහැ. ඔවුන්ට බයිලා කියා අහිංසක ජනයා නොමග යැවීමට ඉඩ නොදිය යුතුයි.

මෛත්‍රිපාල ගෝඨාභය හා නාවික හමුදා නිලධාරීන් කූඩුවට දැමීම ගැන කියන කතාවලට කවුරුන්වත් රැවටෙයි කියලා හිතන්න අමාරුයි. ඔහු ඒ ගැන දැන සිටියෙ නැත්නම් අදාළ නිලධාරීන් ඔහුට ඒ බව දැන්නුවෙ නැත්නම් එයින් කියන්නෙ නිලධාරීන් ඔහු ජනාධිපති හා ආරක්‍ෂක ඇමති ලෙස නො සලකන බවයි. අප හැමදාමත් කිවුවෙ මේ ආණ්ඩුව එ ජා ප ආණ්ඩුවක් කියලා. ආණ්ඩුවේ නායකයා රනිල්. මෛත්‍රිපාල රාජ්‍ය නායකයා වෙන්න පුළුවන්. විලියම් ගොපල්ලවත් රාජ්‍ය නායකයා වෙලා හිටියා. මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාසය පිහිටෙවුවෙ රනිල්. ඒකෙ කටයුතු ගැන මෛත්‍රිපාල දන්නෙ නැත්නම් ඒකට අප මොනව කරන්න ද? ඒ කොට්ඨාසෙ පිහිටුවන කොට ම ආරක්‍ෂක ඇමති හා ජනාධිපති හැටියට විරුද්ධ වුනෙ නැත්තෙ ඇයි? මෛත්‍රිපාල තමන්ගෙ රාජකාරිය පැහැර හැරිය ද? ඔය කොට්ඨාසෙ තියෙන්නෙ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් පිටත ද?

ඊනියා ජාතික රාජ්‍යයක් දින සීයෙ කාලෙ තිබුණෙ නැහැ. එකල තිබුණෙ හොර ආණ්ඩුවක්. මෛත්‍රිපාල අගමැති ලෙස රනිල් පත්කෙළෙ ව්‍යවස්ථාවට පටහැණි ව. ඒත් ඒක අද පූර්වාදර්ශයක් වෙලා. ඒකට ඒකාබද්ධ විපක්‍ෂයත් වගකිව යුතුයි. ඊනියා ජාතික රාජ්‍යය ඇතිවුණෙ දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ අගෝස්තු මැතිවරණයේ ප්‍රතිඵලයක් ලෙස. ඒ ආණ්ඩුව හැදුවෙ මහින්ද ගෙදර යවලා දෙමළ ජාතිවාදයට කප්පන් දෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. රාජපක්‍ෂලට විරුද්ධව ක්‍රියා කරන්න ඉහත කී කොට්ඨාසෙ වගේ ම අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමත් යොදා ගත්ත. රනිල්ටත් වඩා රාජපක්‍ෂලාට විරුද්ධව කටයුතු කරන්න ඕනෑකම තිබුණෙ මෛත්‍රිපාලට හා ඔහුගෙ කණ්ඩායමට. කොට්ඨාසෙ ක්‍රියාකරන ආකාරය ගැන සෑහීමකට පත්වෙන්න බෑ කියලා රාජිත කීවුවෙ මෑතක දි. මෛත්‍රිපාල තවමත් මහින්ද රාජපක්‍ෂට පහර ගහන එක නවත්තලා නැහැ.

ඊනියා ජාතික ආණ්ඩුව සම්මුතිවාදී ය, අරක ය මේකය කියලා රනිල්ගෙ අය මෙන් ම මෛත්‍රිපාලගෙ අයත් තවමත් කියවනවා. රට වෙනුවෙන් දෙගොල්ල සමගියෙන් වැඩ කරන බවයි කියන්නෙ. ඔවුන් වැඩ කරන්නෙ ඊළම වෙනුවෙන්. ඒකට තමයි රට වෙනුවෙන් වැඩ කරනවා කියලා කියන්නෙ. ඇහුවොත් කියයි තාම ව්‍යවස්ථාව කෙටුම්පත් කරලවත් නැහැ කියලා. ඒකෙ පොඩි ඇත්තක් තියෙනවා. ව්‍යවස්ථාව තවමත් ලංකාවෙ කෙටුම්පත් කරල නැතුව ඇති. ඒත් අර ස්විට්සර්ලන්තෙන් ආපු නෝන ව්‍යවස්ථාවක් ගැන කිවුවෙ කොහොම ද? මේ ආණ්ඩුවට තියෙන්නෙ අර ලන්තයෙන් මේ ලන්තයෙන් එන ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන එක විතරයි. ලාල් විජේනායක රට වටේ ගියෙ අප රැවටීමට පමණයි.

රාජිත කාට්ඨාසෙ වැඩ කරන ආකාරය ගැන සතුටු වෙන්න බැහැ කිවුවෙ ඉක්මණින් රාජපක්‍ෂලාට දඬුවම් කරන්න කියලා කියන්න. ගෝඨාභය කූඩුවෙ හිටිය එක ගැන මෛත්‍රිපාලවත් රාජිතවත් චම්පකවත් වෙනත් කවුරුවත් ඒ දවස්වල මොකුත් කිවුවෙ නැහැ. දැන් හදිසියේ ම මෛත්‍රිපාල කොට්ඨාසෙට විරුද්ධ වෙලා. ඒ තමන්ගෙ පුතා වෙනුවෙන්. මෛත්‍රිපාල ගෝඨාභය ගැන හෙළන්නෙ කිඹුල් කඳුළු. ඉස්සර හෙළුවෙ සතුටු කඳුළු. ලෝකෙ හැටි අෂ්ටලෝක ධර්ම චක්‍රයේ කියැවෙනවා. අට ලෝ දහම් කියන්නෙත් ඒකට තමයි.

රනිල් මෛත්‍රිපාලගෙ දරුව ගැන මොකවත් කරයි කියලා මා නම් හිතන්නෙ නැහැ. එතැන වරදක් සිදුවුන බවක්වත් අප දන්නේ නැහැ. ඒක සමහරවිට කිසිදාක දැනගන්න බැරිවෙයි. මට නම් ඒක දැනගන්න ඕන කමකුත් නැහැ. මට තියෙන ප්‍රශ්නෙ ජාතික ආණ්ඩුව හා සම්මුතිවාදය කෝ කියන එකයි. රනිල් හා මෛත්‍රිපාල අතර සම්මුතියක් නැතුව සම්මුතිවාදයක් තියෙනවා ද? දැන් තියෙන්නෙ විසම්මුතියක්. මේ කසාදෙ කරවපු විජාතික බලවේගවල අවශ්‍යතාවට කසාදෙ පවත්වගෙන යනවා. දහනවවැනි සංශෝධනයෙන් ජනාධිපතිගෙ බලතල ටිකක් කප්පාදු කළා. දැන් මෛත්‍රිපාලට පාර්ලිමේන්තුව හිතුමතේට විසුරුවා හරින්න බැහැ. තව අවුරුදු තුනකට වඩා බලන් ඉන්න වෙනවා. මෛත්‍රිපාල කේන්තියෙන් බැණ වැදුනට හරියන්නෙ නැහැ. විජාතික බලවේග ඔය විධියට ම දිගට ම වැඩ කරගෙන යන්න කියලා බල කරාවි. මෛත්‍රිපාලට ඔවුන්ට විරුද්ධව වැඩකරන්න ශක්තියක් තියෙනව ද? තියෙනව නම් පමණක් කරන්න දෙයක් තිබෙනවා. ඉන්න අගමැති අස්කරන්නෙ නැතිව වෙනත් අගමැති කෙනකු පත්කිරීමේ පූර්වාදර්ශය දැන් තියෙනවා. ඒ පූර්වාදර්ශය අනුව කටයුතු කරන්න පුළුවන් ද? ඒක ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමක් පමණක් ද?

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 14

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.