Political

ඊළාම් නිජබිම් වැනසු රණවිරුවන් යහපාලනය පාවාදුන් අකාරය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පසුගිය රජයේ බලධාරින් දෙසීයක් එකට ගමන් ගන්නා ගුවන් යානාවට මිසයිල ගැසීමට ඊළාම් ත්‍රස්තවාදය අවසන් වීමෙන් පසුව සිංහල කොටින් හා කොටි ත්‍රස්තයන් කළ සැලසුමක තොරතුරු පසුගිය සතියේ හඬපටයක් හරහා එළියට ආවේය.මෙකී ආන්දෝලනාත්මක හඬපටය ගැන මුලින්ම කරළියට එන්නේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධව කෙරෙන රහස් ‍පොලිස් පරීක්ෂණවලදීය.

මෙකී ඇඟ කීරි ගැසෙන සංවාදය ඇතුළු තවත් බොහෝ විස්තර එළියට එන්නේ පරීක්ෂණවලදී බුද්ධි අංශය විසින් රහස් ‍පොලිස් භාරයට පත් කරන ලද පී. රංජිත් හෙවත්, ප්‍රදීප් නමැති කොටි බුද්ධි අංශ නියෝජිතයා විසින් කරන ලද සංවාදයක් ඇතුළත් හඬ පටයක් ‍පොලිස් භාරයට පත් කිරීමෙනි.හඬපටය මේ වන විට රහස් ‍පොලිසියේ විමර්ශන නිලධාරින් විසින් අධිකරණය වෙත නඩු භාණ්ඩයක් ලෙසද ඉදිරිපත් කර ඇත.

එය මේ වන විට අන්තර්ජාලය තුළ සැරිසරමින් තිබෙන්නේ කොටි වෙනුවෙන් හඬනඟන්නට වූ එන්.ජී.ඕ. මුදල්වලින් යැපෙමින් සිටි අන්තවාදීන්ගේ හෙළුවේ තරම රටට පෙන්වමිනි.2009 වසරේ දී කොටි ත්‍රස්තවාදය පරාජය කළ පසු කොටි සංවිධානය නැවත නගා සිටුවන්නට ඇරඹි රහස් මෙහෙයුම සොයා යන හමුදා සන්නද්ධ බුද්ධි බළකාය ඇරඹූ “ඔපරේෂන් ඩබල් එජ්” මෙහෙයුමට කොටින්ට උදව් කළ සිංහල කොටි මෙන්ම සියලු ක්‍රියාකාරීන් කොටු කරන්නට හැකි විය.

මෙකී ජාලයේ පළමු පුරුක ලෙස වන්නි මානුෂීය මෙහෙයුම අවසන් වීමත් සමග වන්නියේ සැඟවී සිට පලා ආ සුමි?? සුමතිපාල කුමාර හෙවත් තවේන්ද්‍රන් නමැති කොටි බුද්ධි අංශ නායකයා අත්අඩංගුවට ගත් පසු ‘ඩබල් එජ්” මෙහෙයුම ඇරඹෙන්නේය. ඒ 2009 මැයි 17 දා සිටය.

කොටි සංවිධානයේ අයියන්නා ඒ 1600 අංකය යටතේ ත්‍රිකුණාමල, කුඹුරුපිඩි කඳවුරෙන් පුහුණුව ලබා කොටි බුද්ධි අංශයට එක් වූවකු ලෙස තවේන්ද්‍රන් ප්‍රසිද්ධය.මෙකී තවේන්ද්‍රන්ව ත්‍රිකුණාමල යුද හමුදා බුද්ධි අංශය මගින් කැලෑබද ප්‍රදේශවල සැඟව සිටි කොටි නායකයන් ඇතුළු සාමාජිකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම, තවදුරටත් කොළඹ ඇතුළු දකුණු ප්‍රදේශයේ සැඟවී සිටින කොටි බුද්ධි අංශ සාමාජිකයන් සහ නියෝජිතයන් හඳුනා ගැනීම, කොටි සංවිධානය විසින් සඟවා තිබූ අවි ආයුධ සොයා ගැනීම යන බුද්ධි ක්‍රියාන්විත සඳහා යොදා ගන්නා ලදී.කොටි සංවිධානයේ බුද්ධි අංශ නායකයකුව සිටි ඥානවේල් නමැත්තාගෙන් පසුව කොටි බුද්ධි අංශයේ තුන්වන පෙළේ නායකයකු වශයෙන් කටයුතු කළ තවේන්ද්‍රන් පී. රංජිත් නමැති කොටි ඔත්තුකරුවා, කොළඹ කේන්ද්‍ර කරගත් මෙහෙයුම් සඳහා යොදාගෙන තිබුණි.

2009 මැයි 18 දා මානුෂීය මෙහෙයුම අවසන් වූ පසු යළි නැගිටින කොටි ත්‍රස්තවාදයට පණ පෙවීමට පී. රංජිත් ද ඉදිරිපත් වී ඇතැයි අනාවරණය වන්නේ බුද්ධි අංශ මගින් කරන ලද මෙහෙයුමේදීය. තවේන්ද්‍රන් හමුදා බුද්ධි අංශයට හසු වී හමුදා බුද්ධි අංශය සමග කටයුතු කරන බව නොදත් පී. රංජිත් පෙර පරිදිම කොටි සංවිධානයට උදව් කරන්නට ඉදිරිපත් වේ.

පී. රංජිත් 2006 සිට 2009 දක්වාම කොටි ඔත්තු අංශ නායක ශිවශංකර් ‍පොට්ටුඅම්මාන් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙමින් කොටින්ගේ ටොසී ඔත්තු සේවාවට හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ ඔත්තු සැපයූ බවද අනාවරණය වෙයි. ඒ වෙනුවෙන් පී. රංජිත් කොටියාට මාසිකව කොටි ඔත්තු සේවාවෙන් රුපියල් පහළොස්දහස බැගින්ද ගෙවා ඇති බව බුද්ධි අංශවලට තොරතුරු ලැබි තිබුණි.

මෙකී පී. රංජිත් තවේන්ද්‍රන් මුණගැසී ජාත්‍යන්තර වශයෙන් අවධානය දිනාගනිමින් කොටි සංවිධානය නැවත ආරම්භ කිරීමට යෝජනා කරන්නේ මේ අතරේය. මෙකී හමුවීම් සිදුවන සෑම අවස්ථාවකමත් දුරකථන ඇමතුම් දෙන අවස්ථාවකමත් තවේන්ද්‍රන් බුද්ධි අංශයේ උපදෙස් පරිදි පී. රංජිත් සමග කතා කරන සියල්ලක්ම තවේන්ද්‍රන් පටිගත කර තිබුණේ ය.

අහන්න –“ඔපරේෂන් ඩබල් එජ්” එක්නැලිගොඩ කොටි සමග කල දුරකතන ඇමතුම

මෙම සතියේ කරළියට එන පී. රංජිත්ගේ ආන්දෝලනාත්මක හඬපටය බුද්ධි අංශ වෙත ලැබෙන්නේ මෙකී තවේන්ද්‍රන්ගෙනි.

“ගවර්න්මන්ට් එකේ ටීම් එක තමයි, මෙතැන යන්නේ. සිවිල් මිනිස්සු යන්නැති නිසා හානියක් වෙන්නෙත් නැහැ. ඕනෑම ටීම් එක විතරයි යන්නේ. අනික පිටරට ප්‍ලේන් ‍නෙවෙයිනේ මේකට ගැහුවොත් චෙක් ‍පොයින්ට් පැය විසිහතරෙන් අයින්වෙලා යයි. ආමි එක හුළං බැස්සා වගේ බැහැලා යයි.” මේ රංජිත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජයේ නිලධාරින් 200 ක් පමණ එකවර ඝාතනය කරන්නට කොටි සංවිධානයට ගෙන එන යෝජනාවය.

“ඔපරේෂන් එක කරන්න මීගමුව පැත්තේ ගෙයක් කුලියට අරන් දෙන්න පුළුවන්. ලක්ෂ පනහක් හැටක් යනවා. ගෙයක් අරගන්න. ගෙදර මිනිස්සුන්ට පිටරට ඉඳන් ආපු මහත්තයෙක් කියලා අඟවන්න කලර්ස් පෙන්වන්න කාර් එකකින් යන්න ඕන. මේ අය රෑටනේ පිටරට යන්නේ” යැයි මේ ප්‍රහාරයට අවශ්‍ය සැලසුම හා වියදම දෙන්නේත් පී රංජිත්ය. මෙකී මෙහෙයුමට දෙමහල් නිවසක් මිලදීගෙන එහි වතුර ටැංකිය මත ගුවන් යානා නාශක අවියක් සවිකොට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට යෝජනා කර ඇත.

“මේ දවස්වල කළොත් මේක එල්ටීටීඊය පිට යන්නෙත් නැහැ. සරත් ෆොන්සේකා කළා කියලා හෝ චම්පිකලා කළා කියලා යයි. මේ තියෙන ඒවා හිතාගන්න බැරි විදිහට වෙනස් වෙයි. මට තේරෙන්නේ නැහැ එල්ටීටීඊයට මෙච්චර දෙයක් කරන්න බැරි ඇයි කියලා” යනුවෙන් මෙකී ප්‍රභූ ඝාතනය වෙනත් පාර්ශ්වයක් පිට පැටවීමේ යෝජනාවක් පී. රංජිත් ඉදිරිපත් කරන්නේය.

මෙම යෝජනා කරන කාලයේ සරත් ෆොන්සේකා මහතා 2010 ජනපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමග ජනපති අපේක්ෂක ලෙස තරග කළ නිසා මෙය සරත් ෆොන්සේකා පිට පැටවීමට පී. රංජිත් කොටි සංවිධානයට යෝජනා කර තිබිණි.මෙකී සැලසුම් කළ ප්‍රහාරයෙන් පසුව ගැටලුවක් ඇති වුවහොත් තවේන්ද්‍රන් ඇතුළු කණ්ඩායමට විදේශගත වීම සඳහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකසා දීමට පී. රංජිත් ‍පොරොන්දු වී තිබේ. මෙම ප්‍රහාරය සඳහා විමර්ශනය කිරීමට අවශ්‍ය නම් තවේන්ද්‍රන්ට හෝ ඔවුන්ගේ සාමාජිකයන්ට ව්‍යාජ ජාතික හැඳුනුම්පත් හා මාධ්‍ය හැඳුනුම්පත් සකස් කර දී රාජ්‍ය නොවන සංවිධානයක රැකියාව ලබාදිය හැකි බවද තවේන්ද්‍රන්හට පී. රංජිත් පවසා ඇත. කොටි සංවිධානය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට රජයේ හමුදාවන්, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කරන ආකාරයේ වීඩියෝ දර්ශන හෝ ඡායාරූප සොයාගෙන විදේශ සංවිධාන වෙත ලබා දී මුදල් සොයා ගැනීමටද යෝජනා කර ඇත.

මීට පෙර ‍පොට්ටුඅම්මාන් සමග කටයුතු කිරීමේදීත් මෙකී පී. රංජිත් මානුෂීය මෙහෙයුම අතරේ යුද අපරාධ සිදුවන බවට ව්‍යාජ තොරතුරු මාධ්‍ය වෙත පළ කර ‍පොට්ටු අම්මාන්ගේ හිත දිනා ගැනීමට කටයුතු කර ඇති බව අනාවරණය වෙයි.මෙකී පී. රංජිත් 2002 දී වසන්දන් නමැති කළු කොටි සාමාජිකයකුව ව්‍යාජ හැඳුනුම්පත් සකසා කොළඹට රැගෙන විත් ඔහුගේ නිවසේ නවාතැන් දී පසු කලක ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක්ද සකසා විදේශගතකර ඇතැයිද හෙළි වී තිබිණි. එමෙන්ම වසන්දන් නමැති කළු කොටියාගේ නැගණිය වූ ශාන්ති කිලිනොච්චියේ සිට ගෙන්වාගෙන නිවසේ රඳවා විදේශ රටකට යවා ඇති බවද හෙළි වී ඇත. සීගිරියේ ඇති පී. රංජිත්ගේ ගොවි‍පොළක් තවේන්ද්‍රන්ගේ කණ්ඩායමට ලබා දී තරුණයන් රඳවා තැබිමට යෝජනා කර ඇති අතර ගොවි‍පොළේ ළිඳ සැකසීමට කොටි සංවිධානයෙන් ලක්ෂ දෙකක මුදලක්ද ඉල්ලා තිබුණේය.

මේ අයුරින් කොටි සංවිධානය යළි නගා සිටුවන්නට වෙර දරන නිද්‍රාශීලී කොටින්ට යළි සහාය වෙමින් පී. රංජිත් ගැන සියල්ල අනාවරණය වන්නේ ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමෙනි.

මෙම තවේන්ද්‍රන් නමැති කොටි නායකයා හමුදා බුද්ධි අංශ අතට පත්වන විටත් කොටින්ගේ ජාත්‍යන්තර හා දේශීය බුද්ධි ජාලය මෙහෙයවන්නට පටන්ගෙන තිබුණි.
තවේන්ද්‍රන්ගේ මෙරට ජාලය තුළ පී. රංජිත් සමග ජෙයන්ද්‍රන්, සිවනාදන්, නිමල්, සිවම්, චන්ද්‍රා, ජෙයා, මුහුන්දන්, කිරිබාඅන්බු, අම්බලාගන්, රාසා, ප්‍රදීප්, දිනේෂ් කරන් ඇතුළු නැගෙනහිර හා වන්නියේ කොටි ඔත්තු ජාලය මෙහෙයවූවන් හෙළිවන්නේ ද ඩබල් එජ් මෙහෙයුමෙනි.

කපිල් මාස්ටර්, සුරෙන්, සිවකුමාර, මලවරවන්, ඊලක්කියන්, වසී, නඩා, ශ්‍රී සදිස් ඇතුළු ජාත්‍යන්තර ඔත්තු ජාලයේ ප්‍රබලයන් සමග තිබූ ජාලයද මෙකී මෙහෙයුමෙන් අනාවරණය වෙයි.

එමෙන්ම පිරිබා හෙවත් ශිවා නමැති කොටි සන්නද්ධ බුද්ධි ප්‍රධානියකු සමග රත්මලාන ගුවන්තොටු‍පොළ වනසන්නට ගෙනා පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධත් හෙළි වන්නේ මෙකී මෙහෙයුමෙනි. කොටි සංවිධානයේ යළි නැගිටින නායකයා ලෙස යුද්ධයෙන් පසුව නැගෙනහිරින් හිස එසවූ රාම් හෙවත් වින්සන් (එදිරිමානසිංහම් හරිස්චන්ද්‍රන්) මෙන්ම ආදවන් මාස්ටර් , මහින්දන් මෙන්ම ජෙනා නමැති කළු කොටියාත්, නගුලන් ඇතුළු කොටි නායකයන්ද කොටු කරන්නේ ඩබල් එජ් මෙහෙයුමෙනි.

ප්‍රංශය, ලන්ඩනය, කැනඩාව, ඉන්දියාව, ජර්මනිය, දකුණු අප්‍රිකාව, මැ‍ලේසියාව, නෝර්වේ, ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය, කටාර්, ස්විට්සර්ලන්තය ඇතුළු රටවල කොටි ඔත්තු ජාලයට රිංගන්නට සමත් වූයේත් ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමෙනි.

යුද්ධය අවසන් වූ පසුව යළිත් ඊළාම් නිජබිම් සංකල්පය මත පිහිටා රට ‍ලේ විලක් කරන්නට තැත් කළ කොටි ජාත්‍යන්තර ජාලය නිහඬ කළ ඔපරේෂන් ඩබල් එජ් මෙහෙයුමේ ආරම්භක නියමුවන් වන ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු බුද්ධි බළකායේ විශාල මෙහෙවරක් කළ විරුවන් අද සිටින්නේ වැලිකඩ සිරබත් කමිනි.එක්නැලිගොඩ අතුරුදන් වීම කේන්ද්‍ර කරගෙන රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ බුද්ධි අංශයේ විරුවන් සිරගත වෙද්දී කොටි සංවිධානය යළි නගා සිටුවන්නට උත්සාහ කළ තවේන්ද්‍රන් ඇතුළු කිහිප දෙනකු සාක්ෂිකරුවන් වී නිදහස ලබා සිටිති.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

Top