Featured

උතුරු මැද පළාතේ බලය මහින්ද අල්ලයි… පේශලට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්

උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දෙන ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස ඉල්ලමින්…එම කණ්ඩායමේ මන්ත්‍රි පිරිස අස්සන් කළ දිවුරුම් පෙත්සම (15) පළාත් ආණ්ඩුකාරවරයාට භාරදීමට කටයුතු යොදා තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ නිල නිවෙසේදී එම මන්ත්‍රි පිරිස පෙරේදා (12දා) දිවුරුම් පෙත්සම්වලට අස්සන් කළහ.

උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රිවරුන් 33 දෙනාගෙන් 18ක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන ඒකාබද්ධ විපක්ෂයට අයත් වන අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්වන මන්ත්‍රි කණ්ඩායමේ සිටින්නේ තිදෙනකු පමණී.

ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසුවේ එජාපයට මන්ත්‍රිවරුන් 10 දෙනකු සහ ජනතා විමුක්ති පෙරමුණට මෛත්‍රි කණ්ඩායමේ සිවු දෙනා සමඟ එක් මන්ත්‍රිවරයකු සිටින බවත් ඒ සියලුම දෙනා එක් පැත්තකට පෙනී සිටියත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට වැඩිපුර මන්ත්‍රිවරුන් තිදෙනකු සිටින බවත්ය.

නීත්‍යනුකූලව හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස උතුරු මැද පළාත් මහ ඇමැති ධුරය ලබා ගැනීමට කටයුතු කරන බවත් එසේ නොවුවහොත් ජනතාව සමඟ වීථි බැස පළාත් සභාව වටලන බවත් චන්ද්‍රසේන මහතා කීවේය.

මේ ක්‍රියා පද්ධතිය අතරතුර උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ඇමැති පේශල ජයරත්න මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බවද චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවැසීය.

Top