Featured

උඹෙ අම්මට *** මීඩියා…. කුජිතගේ වික්‍රමය ‘අතින් හරි කුඩු ගංජා දාලා උඹව හිරේ යවනවා’

ඊයේ (3) සවස පොත් එළිදැක්වීමේ උත්සවයකට සම්බන්ධ වී මා කළල්ගොඩ පාරේ නිවසට පැමිණියේ රාත්‍රී 11ත් පසුවීය. නිවසෙහි සිටි මිතුරන් කිහිපදෙනෙකු හා සාමීචියක යෙදෙමින් සිටියදී රාත්‍රී 12ට පමණ නිවසට නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් පිරිසක් කඩා වැදුණෙ අප නිවසේ නතර වී සිටි සංජය නම් මිතුරෙක්ව පාරේ සිට ඇදගෙනය. ඔහු අසල කඩයකට යමින් සිටියදී මහපාරේ පොලිස් ජීප් රියකින් පැමිණි පිරිස ‘කුඩු කාරයෙක්ද’යි විමසා පාරේදීම නිරුවත් කර පරීක්ෂා කර තිබිණි. ඔහුට අප නිවසට රැගෙන ආවේ පහර දෙමින් ඇදගෙනය.

නිවසට කඩා වැදුණු පොලීසිය මත්කුඩු සොයා නිවස පරීක්ෂා කරන්නට වූ අතර කිසිවක් හමු නොවුණු තැන ඔවුන් අප සියළු දෙනාම පොලිසියට රැගෙන යාමට සූදානම් විය. එතෙක් දිගින් දිගටම විරෝධය පළ කරමින් සිටි මා එවර විමසා සිටියේ ‘එහෙම කොහොමද අරං යන්නේ’ කියාය. එවර අමු තිත්ත කුණුහරුපයෙන් බැණවදිමින් මා වෙතට පැන්න සිවිල් ඇඳුමින් සිටි අයෙක් පිස්තෝලයක් එල්ල කරමින් මට පහර දුන් අතර ‘අතින් හරි කුඩු ගංජා දාලා උඹව හිරේ යවනවා’ යැයි පවසා මා හා සංජයව ජීප් රථය වෙත ඇදගෙන ගියේය. පිස්තෝලය පෙන්නූ විගස මා විමසූවේ ඔවුන් එය පෙන්වන්නේ ‘වෙඩි තැබීමටද’ කියාය. මා කළ වරදක් නොමැති හෙයින් සහ පොලීසියට බිය වීමට මට කිසිදු හේතුවක් නොමැති හෙයින් සහ නීතිවිරෝධී ක්‍රියා කරමින් සිටියේ පොලීසියම හෙයින් මම ජීප් රථය වෙත ගියෙමි. ජීප් රියට නැඟුණු පසු මම දුරකථනයට අතට ගනිද්දී ‘ඇයි තෝ කාට කෝල් කරන්නද යන්නේ’ යි විමසමින් පෙරකී සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයා මට නැවත පහර දුන්නේය.

මා එවර පවසා සිටියේ මම ලංකා නිව්ස් වෙබ් වෙඩවියෙහි සේවය කරන මාධ්‍යවේදියෙකු බවත් මෙසේ මිනිසුන්ට පහර දෙන්නට පොලීසියට අයිතියක් නොමැති බවත්ය. ‘උඹෙ අම්මට *** මීඩියා’ කියමින් නැවතත් මට පහර දීම ඇරඹුණු අතර එතැන් සිට තලංගම පොලීසියට යන තෙක්ම දිගින් දිගට ම පහර දුනි. පොලිසිය ඊයේ 150 වසරක ඉතිහාසය සැමරුවේ ඒ ආකාරයටය. මා සහ සංජය පොලිසියට රැගෙන යන විටත් අපගේ නීතීඥයා එතැනට පැමිණ සිටි අතර එතැනදී පොලිසිය සමාදාන වී අප දෙදෙනාව නිදහස් කරනු ලැබිණි. පොලිසියෙන් පහර කෑමෙන් අනතුරුව නැවත ගොස් රෝහලක නතර වීමට මානසිකත්වයක් මට නොවූ හෙයින් මම නැවත නිවසට පැමිණියෙමි.

මීට පෙර දිනයේ දහවල් ගෝල්ෆේස් පිටිය අසලදී අප පැවැත්වූ විරෝධතාවයකදී ද පොලිසිය සමඟ වචන හුවමාරුවක් සිදුවුණි. එහිදී වසර 3කට පෙර අතුරුදන් කරන ලද අනුරාධපුරයේ පදිංචිව සිටි මධුෂ්ක ද සිල්වා වෙනුවෙන් සාධාරණය ඉල්ලා අප කළ සාමකාමී විරෝධතාවයට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට යාමට නොදී පොලිසිය විසින් බාධා කරන ලදී. එය අවසන් වූයේ ඉහළ පොලිස් නිලධාරීන් ඇතුළු ‘පිරිමි’ පිරිස පොලිස් කාන්තාවන් ඉදිරියට දමා ඔවුන් පසුපස සැඟවෙමින් අපට කීවේ අප පොලිස් කාන්තාවන් පසුකරමින් ඉදිරියට යාමට උත්සාහ කළහොත් ‘කාන්තාවන්ට අතවර කළ බවට’ චෝදනා කරමින් අප අත් අඩංගුවට ගන්නා බවය. අතුරුදන් කරන ලද මධුෂ්කගේ බිරිද සමඟ අප එම ස්ථානයේ විරෝධතාවක නිරතව සිටියදී නිල ඇඳුම් ලාගත් තවත් කාන්තාවන් පිරිසක් පොලිසිය අපට එරෙහිව යොදාගත්තද එම කාන්තාවන් අපහසුතාවට පත් කිරීමේ වුවමනාවක් අපට නොවූ නිසා අපි එම විරෝධතාවය එතැනින් අවසන් කළෙමු.

එය අවසන් කර පිටව යද්දී අප පසු පසින් පැමිණි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අපෙන් හැඳුනුම්පත් ඉල්ලා සිටි අතර නිකරුණේ හැදුනුම්පත් විස්තර ඉල්ලීමට අප එරෙහි වෙද්දී ඔවුන් කොටුව පොලිසිය අමතා තවත් නිලධාරීන් දෙදෙනෙකුද එතැනට ගෙන්වා ගන්නා ලදී. පසුව ඔවුන්ට අප හැඳුනුම්පත් ලබා දුන්නේ උතුරේ සහ අනෙත් ප්‍රදෙශවල සාමාන්‍ය ජනතාව බියවද්දන අයුරින් අපව බියවැද්දීමට උත්සාහ නොකරන ලෙසද ප්‍රකාශ කරමිනි. මේ සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධදැයි දන්නේ ඊයේ පැමිණි පොලිසිය ම පමණි, කෙසේ වෙතත් වින්දිතයා වුණු මට එකී හිරිහැර දෙකම සිදුවුණේ එකම ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙනි.

මම ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියෙහි මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමි. දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයෙහි ක්‍රියාකාරිකයෙක්මි. යම් ප්‍රමාණයකට නීතිය ගැනද දනිමි. මට ඊයේ මුහුණ දීමට සිදු වූ සිදුවීම කිසිවක් කර කියාගත නොහැකි මිනිසෙකුට සිදු වී නම් අද ඔහු සිරගෙදරය. ලංකාවේ පොලීසිය නීතිය ආරක්ෂා කරන්නෙ මෙලෙසය. ඒ මදිවාට මට පහර දුන් පුද්ගලයා පොලිස් ජීප් රිය තුළදී ම පිස්තෝලය වනමින් මට තර්ජනය කළේ ‘මං පළවෙනියට ම මිනිහෙක් මැරුවේ 11 වසරෙදි’ කියාය. පොලිසියේ සියල්ලන්ම මිනී මරුවන්දැයි සොයා බැලීම භාර වන්නේ කවර ආයතනයකටද ?

පිස්තෝලයක් පෙන්වමින් පහරදීමට එකම හේතුව වූයේ ‘එහෙම කොහොමද මිනිස්සුන්ව අරන් යන්නේ?’ යි මා ඇසූ ප්‍රශ්නයයි. පොලීසියෙන් ප්‍රශ්නයක්වත් ඇසීමට නොහැකි වන තරමට පොලිසිය ඔළුවට ගෙන ඇත්තේ කාගෙ උෂ්නයදැයි මා දන්නේ නැත. කෙසේ වෙතත් ඒ අවනීතියේ උෂ්නයයි.

– රුවන් නෙළුගොල්ල ~ ලංකා නිව්ස් වෙබ් ඩොට් නෙට් දේශපාලන සංස්කාරක

කතෘ සටහන…..

වෙබ් අඩවිය කාගේද එය සටන් කරන්නේ කා වෙනුවෙන්ද යන්න ලංකා නිවුස් වෙබ් ටුඩේ අපහට කිසිදු ගැටලුවක් නැත.තමන් දරණ මතය වෙනුවෙන් පෙනී සිටින අතරෙම රටේ ජනතාව වෙනුවෙන් තොරතුරු වාර්තාකරණයේ යෙදිමට මාධ්‍යවේදීයාට හැකියාව තිබිය යුතුය.මාධ්‍යවේදීන් රටේ කවර හෝ බල පරාක්‍රමයකට යටකර ගැනිමට කවුරුන් හෝ උත්සහ කරන්නේ නම් ඊට එරෙහිව නැගි සිටිමට මාධ්‍යවේදීන් මෙන්ම රටේ ජනතාවටද යුතුකමක් තිබේ. ඒ අන් කවරක් නිසාවත් නොව ඔබේ තොරතුරු දැන ගැනිමේ අයිතිය වෙනුවෙනි.

Top