LNN SPY

“එක්ව සිටිනවාද.. වෙන්ව යනවාද.. රට බෙදන ජනමතවිචාරණයක්! .. ඉංග්‍රීසියෙන් අධිකරණයේ බණ දෙසා සිංහලයා ගොනාට අන්දවා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව හොර පාරේ අරන් ගියේ මේකටද?

Published on: Apr 16, 2018- ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල ජිවත් වන දෙමල ජනතාවට අවශ්‍ය වන්නේ එක රටක ජීවත් වීමටද නැතහොත් වෙන්ව යාමටදැයි තීරණය කිරීමට ජනමත විචාරණයක් ඉල්ලමින් ජනමතවිචාරණයක් පවත්වන්නට සූදානම්ක ඇතිබව www.lankacnews.com වෙබ් අඩ්විය මගින් “එක්ව සිටිනවාද.. වෙන්ව යනවාද.. උතුරට-නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි…” මැයෙන් 2018.04.16 දින පුවතක් පළකර තිබුණි.

එකී පුවතට අනුව උතුරු නැගෙනහිර පළාත්වල පවත්වන ජනමතවිචාරණයක නීතිමය වලංගුතාවය සහ එකී ජනමතවිචාරණයකට හිමිවන පරමාධිපත්‍යය බලය සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ ලිපියෙන් අදහස් කරයි.

පළාත් සභා මැතිවරණ 4(ඉ) ව්‍යවස්ථාවට ඇතුලත් කර ගැනීමට ඇතැම් නීති විශාරදයින් නීති තර්ක ඉදිරිපත් කරන අවස්ථාවල එහි බරෑරුම් බව ඒ අවස්ථවේ වැටහී ගියේ නැත. ඒ නීති තර්ක ගෙන එන ලද්දේ දෙමළ ඩයස්ෆෝරාවේ බලපෑමටද? යන්න විමසීමට මෙය අවස්ථාව නොවුණද, ඒ සම්බන්ධව මතුවන සාධාරණ සැකය ඉදිරියේ දී බුද්ධියෙන් විසදා ගත යුතුය.

පළාත් සභා මැතිවරණ වලට 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලද 1988 පවා එම මැතිවරණවලට පරමාධිපත්‍යය බලය ලබා දී නො තිබූණු බව ජනතාව අවබෝධ කරගත යුතුය.

එනම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනමතවිචාරණයක් මගින් සම්මත නොවූ හෙයින් 83 ව්‍යවස්ථාවේ කිසිම ව්‍යවස්ථාවක් එමගින් සංශෝධනය වී නැත. ජනතාවගේ පරමාධිපත්‍යය , ඒකීය බව ඇතුලු ලංකාවට අදාල ඉතා වැදගත් ව්‍යවස්ථා 12ක් ආරක්ෂා කිරීමට 83 ව්‍යවස්ථාව මගින් කටයුතු කර ඇත. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුල්කර නො තිබුණ අතර ඒ අනුව පළාත් සභා ව්‍යුහය සහ පළාත් සභා මැතිවරණ මගින් ජනතාවගේ පරමාධිපත්‍යය ට කිසිම බලපෑමක් සිදු නොකරන හෙයින් ( 1,2,3,6,7,8,9,10,11,30.3,62.2 සහ 83 ව්‍යවස්ථාවලට බලපෑමක් නොවූ හෙයින්)එකී 13 වන ව්‍යවස්ථා සංශෝධනය ජනමතවිචාරණයක් මගින් නීතිගත නොවී 2/3 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ චන්දයෙන් පමණක් සම්මත විය.(13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ බහුතර තීරණය )

නමුත් 2000 ජී ඇල් පීරිස් ඇමතිවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ ගෙන එනු ලැබූ “පැකේජ්” ව්‍යවස්ථාවේ 2(ඉ) ව්‍යවස්ථාව මගින් පළාත් සභා මැතිවරණවලට පරමාධිපත්‍යය බලය හිමිකර දීමට උත්සාහ කර තිබුණ අතර එකී ව්‍යවස්ථාව මගින් “ලංකාවේ ඒකීය” බවද ඉවත් කර තිබුණි. නමුත් “පැකේජය” සම්මත කරගැනීමට නොහැකි වූ නිසාවෙන් පළාත් සභාවලටවත් පළාත්සභා මැතිවරණ වලටවත් පරමාධිපත්‍යය හිමි වුණේ නැත.

තත්ත්වය එසේ වුවත් මේ වනවිට ශ්‍රෙෂ්ඨාධිකරණ තීරණ කිහිපයක් මගින් පළාත් සභා මැතිවරණ වලට පරමාධිපත්‍යය හිමිකර දී ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුලත් කර දී තිබෙනවා පමණක් නොව ෆෙඩරල් ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය බවට අනුකූල බවටද තීරණය කර ඇති බව බහුතර ජනතාව නොදන්නවා විය හැකිය. මේ වනවිට මූලික අයිතිවාසිකම් සහ චන්ද බලය යන කඩතුරාවට මුවා වී පළාත් සභා මැතිවරණ සදහා ජනතාවගේ පරමාධිපත්‍යය හිමිකරගෙන ඇති අතර පළාත් සභා මැතිවරණ 4(ඉ) ව්‍යවස්ථාවට ඇතුල්කරගෙන 3 ව්‍යවස්ථාව සමග සම්බන්ධ කරමින් 83 ව්‍යවස්ථාව සමග කියවිය යුතු තත්ත්වයට පත්කරගෙන ඇත.

මේ අනුව මේ වනවිට පළාත් සභා මැතිවරණ සදහා ශ්‍රෙෂ්ඨාධිකරණය හරහා පරමාධිපත්‍යය නියෝජනය හිමිකරගෙන 4(ඉ) ව්‍යවස්ථාවට ඇතුලත් කරගෙන ඇති හෙයින් යම් පළාත් සභාවකට ඒ පළාත තුල ජනමතවිචාරණයක් පවත්වා එමගින් ජනවරමක් ලබාගෙන වෙනම රටක් බිහිකර ගැනීමේ නීතිමය බලය සහ අධිකාරය පළාත් සභා විසින් ලබාගෙන ඇති බව පෙනී යයි.

ඒ අනුව යම් පළාත් සභාවක් හෝ කිහිපයක් එහි වෙසෙන චන්දදායකයින් මගින් ජනමතවිචාරණයක් පැවැත්වීමට එනම් පරමාධිපත්‍යය චන්ද බලය හිමි “පළාත් සභා ජනමතවිචාරණයක්” පැවත්වීමට කිසිම භාධාවක් පවතින නීතිය යටතේ නැත. ජනමතවිචාරණවලට අදාල නීතිය අර්ථනිරූපණය කළ යුත්තේ 4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුල් කර පරමාධිපත්‍යය පලාත්වලට ලබා දී ඇති තත්ත්වයට අනුකූල වන ආකාරයට මිස එයට පටහැනිවන තත්ත්වයට නොවේ.

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල ජිවත් වන දෙමල ජනතාවට අවශ්‍ය වන්නේ එක රටක ජීවත් වීමටද නැතහොත් වෙන්ව යාමටදැයි තීරණය කිරීමට ජනමත විචාරණයක් ඉල්ලමින් ජනමතවිචාරණයක් පැවැත්වීම පවතින නීතියට අනුකූල වන්නේ 4(ඉ) ව්‍යවස්ථාව සහ 3 ව්‍යවස්ථාව මගින් ලැබෙන නීතිමය ආරක්ෂාව මේ වනවිටත් පළාත් සභා විසින් නඩු තීරණ හරහා ලබාගෙන ඇති හෙයිනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල ජිවත් වන දෙමල ජනතාවට අවශ්‍ය වන්නේ එක රටක ජීවත් වීමටද නැතහොත් වෙන්ව යාමටදැයි තීරණය කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීමේ අධිකාරය පවා පළාතේ ජනතාව අත්කරගෙන ඇත.

අශ්වයා ගිය පසු ස්තාලය වසා දැමීමෙන් වැඩක් නැති බව ලාංකිකයන් මේ වන තෙක් වටහා ගෙන නැත.

[මේ සම්බන්ධව වැඩිදුර දැනගැනීම සදහා මෙම ලියුම්කරු විසින් ලියා ඇති “4(ඉ) ව්‍යවස්ථාවට පළාත් සභා මැතිවරණ ඇතුල් කිරීමෙන් රටේ ඒකීය බව බිද වැටෙයිද? කෘතිය සහ නීතීඥවරයෙකුගේ භූමිකාව කෘතිය කියවන්න.]

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
2018.04.16

සම්බන්ධිත තවත් ලිපි …

http://198.211.112.164/archives/17735

http://198.211.112.164/archives/15700

http://198.211.112.164/archives/9930

http://198.211.112.164/archives/5799

 

Top