ලෝකයා

එජාප රජයේ නව ගුවන් සේවයේ විස්මිත ලාංචනය-“PON – AIR”

අර්බුදයන් නව අවස්ථාවන්ද නිර්මාණය කරයි. සංවර්ධිත රටවල ඇතිව තිබෙන වත්මන්  අර්බූදය පසුගිය දිනවල ග්‍රීසියේ ඇතිවූ ආර්ථික අර්බූදය නිසා කිසිදු ආර්ථික විද්‍යාඥයකුගේ අවධානයට සහ විචාරයට ලක් නොවීය. මේ අර්බූදයට හේතුවූයේ එක්සත් ජාතික  පක්ෂ ආණ්ඩුවේ  යහපාලන දින සීය  යයි කිවහොත් ඔබ මවිත වනු ඇත. යහපාලන දින සීය තුළ ඇතිවූ ආර්ථික උන්නතිය කොපමණදැයි කිවහොත් මෙහි පිටුපස සිටි යෝධ බලවේගය වන රනිල් වික්‍රමසිංහයන් දැන් සැලකෙනුයේ ඇඩම් ස්මිත් පවා පසුබස්වන වර්තමාන ලෝකයේ “දේශපාලන ආර්ථික සර්වඥයා” ලෙසය.  සැබවින්ම “අපේ කාලයේ මැතිසබයේ ප්‍රාඥයකු ද”  ප්‍රාධුර්භූතව ඇති කලෙක වික්‍රමසිංහයන් නම් කිරීමට ඇති එකම පදය “සර්වඥයා” යන්නය. ඒ පිළිබඳව කිසිදු විවාදයක් තිබිය නොහැකිය. ෆෝබ්ස්,ඉකොනොමිස්ට් සහ ටයිම් වැනි සඟරාද බ්ලූම්බර්ග් වැනි වෙබ් අඩවිද දැන් සහතික කරනුයේ ආර්ථික විද්‍යාව පිලිබඳ ඊළඟ නොබෙල් ත්‍යාගයේ නිසැක හිමිකරුවා වික්‍රමසිංහයන් ම බවයි. ඔහු විසින් දැනටමත් වෙළුම් විසිනමයක්  ලියා ඇති  “ජාතියකගේ වණය” යන ග්‍රන්ථය එහි  තිස්වන වෙළුම ලියා අවසන් කිරීමෙන් පසු ලබන දහඅට වනදා  එළිදැක්වීමට නියමිතය. මෙය නිසැකවම ඇඩම් ස්මිත්ගේ “ජාතීන්ගේ ධනය” පරදවා අනාගත ලෝකයේ ආර්ථික විද්‍යා බයිබලය බවට පත්වන බවට හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං පවා ප්‍රකාශ කර ඇත.

ඉහත පූර්විකාව තරමක් දිගු වූවත්   සංවර්ධිත රටවල ඇතිව තිබෙන වර්තමාන අර්බූදයේ හේතු කාරකයනට මුල්වූ පුද්ගලයාට අවශ්‍ය ගෞරවය ලබා දිය යුතුමය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රබෝධය පිලිබඳ කතා අසනවිට  අපට සිහිපත් වනුයේ කොල්ලන් කාලේ අප අසා ඇති “කියුබාවේ ප්‍රබෝධයයි”. මේ  ප්‍රබෝධය ලොව පුරා ව්‍යාපාරිකයන්ගේ සිත්සතන් කුල්මත් කළේය. වෝල් වීදිය එකම හිස් ගොඩක් බවට පත්විය. බැංකු හිස් වන තරමට මුදල් ආපසු ගැනිණි. මුදල් ආපසු ගැනීමට සීමා පැනවීමට ඔබාමා පාලනයට සිදුවිය. මේ ඇමරිකානු අත්දැකීම හා සමාන අත්දැකීම් විඳගැනීමට බොහෝ සංවර්ධිත රටවලට සිදුවිය.

ලොව පුරා ගුවන් ටිකට්පත් කාර්යාල සහ ජෝන් එෆ් කෙනඩි, හීත්‍රෝ, චාල්ස් ඩිගොල්, සුරිච්, නරිටා වැනි ගුවන් තොටුපලවලින් ආරම්භවුනු පෝලිම් කිලෝමීටර් ගණන් දුරට  විහිදුනේ නගරවල දැවැන්ත රථවාහන තදබදයක් ඇතිකරවමිනි. නමුත් කිසිදු රජයකට මේ පෝලිම් වලට එරෙහි දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි වූයේ පෝලිම් වල කුලියට හිටගෙන සිටීම, පෝලිමේ සිටින්නන්ට ටොපි චොකලට් සිගරැට් සුරුට්ටු චුයින්ගම් විකිණීම  වැනි දේ වලින් අදායම් ලබන පුද්ගලයන් නිසා නිර්මාණය වූ උප සංස්කෘතියක් සහ  ඒ හා  බැඳුනු  ක්ෂුද්‍ර ආර්ථිකයක් ඇතිවී එයින් එම රටවල ආර්ථික වර්ධනයට ධනාත්මක  දායකත්වයක් ලැබීම නිසා බව ලෝ පතල සුප්‍රකට ආර්ථික විද්‍යාඥයන් වූ රවී කරුංකනායක සමාවන්න කරුණානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන්  වික්‍රමරත්න වැනි විද්වතුන්ගේ මතයයි. මේ මුදල් ආපසු ගැනීම් සහ පෝලිම් වලට හේතු වූයේ යහපාලන ආණ්ඩුව විසින් ශ්‍රී ලංකාව තුළ විදේශ ආයෝජකයන්ට ඇතිකළ ආයෝජන අවස්ථාය.

රනිල් වික්‍රමසිංහයන්ගේ නැණ සයුර කැලඹුනේ ලැම්බොගිනියක වේගයටත් වැඩි වේගයකිනි. ඔහු දුටුවේ ලංකාවට ඇදෙන මේ ආයෝජක පිරිස වෙනුවෙන්ම වෙන්වූ ගුවන් සේවයක් අරඹා කෙටි කලෙකින්ම  දැවැන්ත ලාබයක් ඉපයීමේ අවස්ථාවයි. වික්‍රමසිංහයන් ළඟ කවදත් සිල්ලර වැඩ නැත. බැඳුම්කර කතන්දරයෙන්ද එතුමා එය ලෝකයටම විදහා දැක්වීය. නව ගුවන්සේවය පිලිබඳ සාකච්චාවට එතුමා ආරාධනා කළේ  ආලපාලු ආර්ථික විද්‍යාවේ පියා ලෙස සැලකෙන චම්පික රණවකයන්ට සහ ඉතා පළපුරුදු හිටපු ගුවන්සේවා අමාත්‍යවරයකු වූ මංගල පිංසිරි සමරවීරයන්ටය. රණවකයන් සකල කලාවේම කෙළ කෙළ පැමිණිකි. මේ සකළ කලාවේම කෙළ කෙළ පැමිණීම නිසා විදුලි ඉංජිනේරුවකු වූ එතුමනට  ගෙයක්වත් වයරින් කිරීමට වෙලාවක් නැතිවිය. තම ගණිත සහ ආර්ථික විද්‍යා දැනුම සමගින් කල්පනා සාගරයේ  කිමිදුනු  එතුමන් පවසා සිටියේ මෙම නව ගුවන් සේවය මගින් රුපියල් කෝටි නහුතය, නින්හුතය නොව හුතුනහුතයද ඉක්මවන ලාභයක් ලැබියහැකි බවත් නව ගුවන්සේවය සඳහා මිලදීගැනෙන සියලු ගුවන්යානා සම්පුර්ණයෙන්ම ප්‍රථම පන්තියේ ආසන වලින්ම පමණක් සමන්විත විය යුතු බවත්ය. ඒ අදහස ඉහලින්ම අනුමතවූ අතර මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්යන්ගේ බෑණනුවන්ට අයත් පර්පචුවල් ට්‍රේෂරීස් හරහා නවතම එයාර් බස් A 380 වර්ගයේ ගුවන්යානා 1001 ක් ඇණවුම් කෙරිණි. රවී කරුංකනායකයන් කමනු මැන  කරුණානායකයන්ගේ  ප්‍රඥාමහිමයට පිංසිදුවන්නට නැවත නොගෙවන ආධාර ලෙස පිටරටින් ලැබුණු,  හිස්වූ සතොස ගබඩා වල කඳුගසා ඇති ඩොලර්, පවුම්  සහ යුරෝ නිසා මුදල් පිලිබඳ කිසිදු ගැටලුවක් නොවීය. සතොස ගබඩා හිස්වුනේ භාණ්ඩ මිලදී ගැනීමට මුදල් නොමැතිව නොව ඔය මුදල් ගබඩා කිරීමටය.

එකල සුප්‍රකට කාන්තා ඇඳුම් නිර්මාපකයකු වූ සමරවීරයන්ට පැවරුණු  වගකීම් වූයේ නව ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් ඇතුළු සේවකයන්ගේ ඇඳුම් නිර්මාණය කිරීමේ, ගුවන් සේවය සඳහා නමක් යෙදීමේ  සහ ලාංචනයක් නිර්මාණය කිරීමේ වගකීම්ය. අරිසෙන් අහුබුදුවන් දිවංගතව ඇති හෙයින් සමරවීරයෝ යුහුසුළුව අහුබුදුවන්ට නොදෙවෙනි, “බාසා වෙලළකු”  ලෙස හැඳින්විය හැකි මහාචාර්ය සරත් විජේසූරිය ශූරීන් හමුවූහ. සුමංගල ශබ්දකෝෂයට අනුව   වෙලළ යනු වෙරළය. සිංහල භාෂාව යනු සමුද්‍රයක් නම් නිසැකව එහි වෙරළ විජේසූරිය ශූරීන් මැ යි. සමුද්‍රයට බැසගතයුත්තේ වෙරළ හරහාමය. එබැවින්  සරත් විජේසූරිය ශූරීන් හැඳින්වීමට “බාසා වෙලළ” යන පදයට වඩා සුදුසු පදයක් නම් නොමැත්තේය.  විජේසූරිය ශූරීන් නව ගුවන් සේවයට නම දෙනලද අතර ඒ රැගත් සමරවීරයෝ වික්‍රමසිංහයන් හමුවූහ.

වික්‍රමසිංහයන් නමට රුචි වුවද ගැටලුව වූයේ ඒක භාෂාවෙනුත් භාගයක් දන්නා භාග භාෂා  උගතෙකු වන විජේසූරිය ශූරීන් වරිගය නසා නොගෙන දන්නා සිංහලෙන් පමණක්  නම ලියා තිබීමයි. ඒ විජේසූරිය ශූරීන්ගේ නිහතමානීත්වයයි. මේ ගැටලුවට විසඳුම ලෙස  වික්‍රමසිංහයන් පවසා සිටියේ   මෛත්‍රී ලවා මෙය ඉංග්‍රීසියට පර්වර්තනය කරගත හැකි බවයි. සමරවීරයන්ගේ තොල කට වියලුණි. දෙනෙත  නිලංකාර විනි. සමරවීරයන් පියවි සිහියට එළඹුණේ එතනට පැමිණි මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියගේ අලංකාර රුව නිලංකාරවූ  දෙනෙත අතරින් දර්ශනය වීමෙනි. ඕ තොමෝ මේ භාරදූර කාර්යය භාරගත්තෝය.

නව ගුවන් සේවයේ ලාංචනය නිර්මාණය කිරීමේ වගකීම පැවරුනේ ජෝජ් කීට් වැනි චිත්‍රශිල්පීන් පවා මුලුගන්වන, ඩාවින්සි, මයිකල්ආන්ජලෝ, වැන් ගෝ, රෆායෙල්, ගොයා සහ පිකාසෝ වැන්නන් හා සමවන චන්ද්‍රගුප්ත තේනුවරයන්ටය. තේනුවරයෝ තමන්ටම අවේනික තමන්ටම පමණක් තේරෙන බැරලිසම් සම්ප්‍රදාය ගුරුකොට ගනිමින් මනහර ලාංචනයක් නිර්මාණය කළහ. මේ ලාංචනය වික්‍රමසිංහයන්ගේ නෙත් සිත් පැහැරගත් නමුත් සිදු වූයේ අනෙකකි. වික්‍රමසිංහයන් මේ මාහැඟි කලාකෘතිය සමග අනිමිසලෝචනයක යෙදෙන අතර  එතනට පැමිණියේ ප්‍රංශ තානාපතිවරයාය. කලාකෘතිය දුටු තානාපතිවරයාණෝ අමන්දානන්දයට පත්වූහ. මේ මාහැඟි කලාකෘතිය ප්‍රංශයට ලබාදෙන ලෙසින් බලවත් ඉල්ලීමක් ඔහු වෙතින් පැන නැගිණි. සම පාර්ශවික කමනු මැන  ද්වී පාර්ශවික සම්බන්ධතා කවදත් අගයන වික්‍රමසිංහයන් විසින් මේ  මාහැඟි කලාකෘතිය ප්‍රංශයට තෑගි කරණ ලද්දේ යම් සිත් තැවුලකින් වුවද මෙය ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ සුප්‍රකට මොනාලිසා චිත්‍රය සමග එක පෙලට  ප්‍රදර්ශණය කෙරන බව සැලවීමෙන් මහත්වූ චිත්තප්‍රීතියට පත්වූහ.

ලාංචන නිර්මාණය සඳහා දෙවනුව කැඳවන ලද්දේ දැනට වෙබ් මාධ්‍යවේදියකු ලෙස ප්‍රසිද්ධ, “දූපත්-පති” වැනි වචන සිංහල භාෂාවට දායාද කළ සඳරුවන් සේනාධීරයන්ය. කලකට පෙර සේනාධීරයන් විසින් තම අතිජාත මිත්‍ර මංගල සමරවීරයන්ගේ උපදෙස් පරිදි  වික්‍රමසිංහයන්ගේ දෙ අත්ල  මත ගස්ලබු කැබැල්ලක් තබා වික්‍රමසිංහයන් මහා පරාක්‍රමබාහු නිරිඳුන්ගේ ස්වරූපයට සමාන ස්වරුපයෙන් නිරුපණය කරමින් නිර්මාණය කරන ලද, දිවයිනේ අස්සක් මුල්ලක් නොහැර ගහක් ගලක් ගානේ ප්‍රදර්ශණය කර තිබූ පෝස්ටර් කලාකෘතිය වික්‍රමසිංහයන්ගේ මතකයේ රැදී තිබිණි. සේනාධීරයන් සැඟවුණු දක්ෂතා රැසක් ඇත්තෙකි. එතුමන්ගේ සැඟවුණු දක්ෂතා ළඟදීම එළිදක්වන  බැව් ඉතා මෑතකදී ප්‍රකට විචාරකයකු වන දීප්ත කුමාර ගුණරත්නයෝ  දෙසා වදාළහ. සේනාධීරයන්ගේ මතය වූයේ ගුවන්සේවය හැඳින්වෙන ඉංග්‍රීසි නාමයේ අකුරු කිහිපයක් ලාංචන නිර්මාණය සඳහා යොදා ගතයුතුම බවයි.

ඒ අනුව මනහර ලාංචනයක් නිර්මාණය  කරගත් සේනාධීරයෝ එජාප ශරීරකෘත්‍යාධිකාරී කමනු මැන  වික්‍රමසිංහයන් මුලසුනගත් කෘත්‍යාධිකාරී මඩුලු මුළුව වෙත පිය  නැගූහ. ලාංචනය අනාවරණය කෙරිණි. එජාප නායක වික්‍රමසිංහයන්ට ද සෙසු බොහෝ එජාප නායකයන්ටද ගැලපෙන කදිම ලාංචනයක් දුටු පිරිසෙන් නැගුනු ඔල්වරසන් හඬ තලවතුගොඩ හන්දියටත්, ඇඹුල්දෙනිය හන්දියටත්, නුගේගොඩ බෝගහ හන්දියටත්, බත්තරමුල්ලේ පාර්ලිමේන්තු හන්දියටත් ශ්‍රවණය විය. බාසා වෙලළ සරත් විජේසූරිය ශූරීන් දුන් “ජනතාවට අයත් ජාතික ගුවන්සේවය” යන නාමය  මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය වෙතින් “People Owned National Airline” ලෙස පරිවර්තනයවී සේනාධීරයන්ට ලැබී තිබිණි.

සේනාධීරයන් ඉංග්‍රීසි නාමයේ මුල් වචන තුනේ මුලකුරුත් සතරවැනි වචනයේ මුලකුරු  තුනත් ගෙන මනරම් ලාංචනයක් නිර්මාණය කර තිබිණි. අක්ෂරයන් සයකින් සමන්විත එය කියවෙනුයේ “ PON – AIR ලෙසය. ළඟදීම “පොන්එයා” තම මංගල ගමන ලෙස ඇමරිකා එක්සත් ජනපදය වෙත පියාසර කරනු ඇත.

අපේ කාලයේ අති ප්‍රාඥ ආර්ථික විද්‍යාඥ චන්දරේලාගේ අන්දරේ ස්මිත්ගේ සටහනකි.

Top