Political

එදා ත්‍රස්තවාදීන්ට පිටරට සිට උපක්‍රම සපයපු, ආයුධ එවපු, මුදල් සපයපු අය රටේ ව්‍යවස්ථාව සැකසීමට මූලික වෙලා…බලය බෙදීමෙන් විසදුම් හොයන්න බෑ

ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැක්කේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන්ගේ පොදු ප්‍රශ්නවලට විසැඳුම දීමෙන් මිස බලය බෙදීමෙන් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

නව ව්‍යවස්ථාවක් හරහා බලය බෙදීමට අද යෝජනා කරන්නේ එදා ත්‍රස්තවාදය යුද්ධයෙන් පරාජය කළ නොහැකි යැයි කී බෙදුම්වාදීන් කණ්ඩායමම බව පැවසූ රාජපක්ෂ මහතා පසුගිය රජය සංහිඳියාව වෙනුවෙන් කළ කටයුතුවලින් දාහෙන් එකක්වත් වත්මන් රජය සංහිඳියාව වෙනුවෙන් කර නොමැති බවත් පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ වියත්මඟ විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වන ලද සම්මන්ත්‍රණයට ගම්පහ, වෙට් වෝටර් හෝටලයේ දී ඊයේ (22) එක්වෙමිනි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.

වියත් මඟ සංවිධානය දේශපාලනිකව ජනතාව ඉදිරියට ගෙනියන්න කටයුතු කරන සංවිධානයකටත් වඩා බුද්ධි ඒකකයක් වශයෙන කටයුතු කිරීමටයි ආරම්භ කළේ. දැන් වසරක පමණ කාලයක් තිස්සේ අපි සමඟ වැඩ කරන වියතුන් විසින් විශාල වැඩ කොටසක් ඉටු කරලා තිබෙනවා. තවත් පිරිස සම්බන්ධ වෙනවා නම් අපිට තවත් සාර්ථකව තවත් කටයුතු ඉටු කරන්නට පුළුවන්.

අද රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. කමල් ගුණරත්න මහතා දෙවන ලුතිනන්වරයකු සිට මේජර් ජෙනරාල්වරයකු වන තුරුම ජීවිතය ගත කළේ මේ යුද්ධය අවසන් කිරීමටයි. ජනාධිපතිවරුන් පස්දෙනෙක් විවිධ ආණ්ඩු ගණනාවක් යටතේ මේ වසර තිහක් තිබුණු යුද්ධය ගැන කල්පනා කළොත් එක්තරා කණ්ඩායමක් හිටියා යුද්ධය ජයග්‍රහණය කරන්න බැහැයි කියල විශ්වාස කරපු.

යුද්ධය තුළින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ කියලයි ඒ අය කිව්වේ. විදේශීය වශයෙන රාජ්‍ය නොවන කොටස් වගේම දෙමළ ඩයස්පෝරාව කියලා ජිනීවාවලට බලපෑම් කරන කොටස් එදා කිව්වේ ලෝකෙ කොහේවත් යුද්ධයෙන ත්‍රස්තවාදය අවසන් කරලා නැහැ කියලයි. 2005 මම ආරක්ෂක ලේකම් තනතුර භාරගන්න අවස්ථාවේ දී මේ අය මට කිව්වෙත් ඒකමයි.

අපි ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ අද මේ රටේ සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන නව ව්‍යවස්ථාවක් ගේන්න කියන්නේත් මේ කණ්ඩායමම නොවෙයිද කියලා කල්පනා කරලා බලන්න. සටන් විරාම ගිවිසුම් ගේන්න කටයුතු කරපු අයම තමයි සංහිඳියාව වෙනුවෙන නව ව්‍යවස්ථාවක් ගේන්න කියල කතා කරන්නේ. එදා යුද්ධය නතර කරලා රට බෙදන්න ක්‍රියාකරපු අයම තමයි ඔවුන්ගෙ ඒ කාර්යය සංහිඳියාව තුළින් කරන්නට හදන්නේ.

අපි යුද්ධය අවසන් කළාට පස්සේ යුදමය ජයග්‍රහණයටත් වඩා ජයග්‍රහණයක් පශ්චාත් යුද සමයේ උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට ලබ දුන් ජයග්‍රහණ තුළින් ලැබුවා. නමුත් මේ ජයග්‍රහණය ගැන ඔය කියන කණ්ඩායම වචනයක්වත් කතා කළේ නැහැ. පශ්චාත් යුද සමයේ සංහිඳියාව වෙනුවෙන් අපි කරපු කාර්යයන්ගෙන දාහෙන් එකක්වත් මේ රජය ඇවිත් අවුරුදු තුනටම කරලා නැහැ.

අවසානයේ දී වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෙනාපු පළාත සභා ක්‍රමය යටතේ පළමු වතාවට උතුර පළාත් මැතිවරණය පවා පැවැත්වුවේ අපෙ රජය විසින්. මේවා ගැන කවුරුවත් කතා කළේ නැහැ. ජනතාව අතර සංහිඳියාව ඇති කරන්න පුළුවන් වන්නේ ජනතාවගෙ පොදු ප්‍රශ්නවලට විසැඳුම් දීමෙන් මිසක් බලය බෙදීමෙන් නොවයි.

මේකට හොඳම උදාහරණය තමයි ඉන්දියාව. නිදහසත් සමඟ රටවල් දෙකක් කළා. අවසානයේ දී ඒක රටවල තුනකින් අවසන් වුණේ. ලෝකයේ තියෙන ලොකුම සතුරෝ දෙන්නා බවට ඉන්දියාව සහ පාකිස්ථානය පත්වෙලා. රට බෙදුවා කියල ප්‍රශ්නය විසැඳුණේ නැහැ. ප්‍රශ්නය තමා එතැනමයි. 2009 සිට 2014 දක්වා කාලය තුළ අපි ප්‍රශ්නය අමතක කළා කියල සමහරු චෝදනා කරනවා.

ඒ චෝදනාව නඟන්නෙත් මේ බලය බෙදිය යුතුයි කියන තැන ඉන්න අය. යුද්ධය අවසන් කළාට පසුව උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසැඳීමට අපි ගත් පියවර රැසක් තිබෙනවා. අපි කරපු දේවල් ජනතාවට පැහැදිලි කර දීමෙ අරමුණ ඇතිව උතුරු සහ නැගෙනහිර හිටපු ආණ්ඩුකාරවරුන් දෙපළ ලවා වියත්මඟ විසින් පොත් පිංචක් සකස් කළා.

උතුරේ හමුදාවට අයත් කරගෙන තිබුණු භූමියෙන් සියයට අනූපහක්ම නිදහස් කළේ අපි විසින්. පලාලිවල අධිආරක්ෂිත කලාපය පමණයි අපට නිදහස් කරන්න බැරි වුණේ. මම හිතන්නේ නැහැ මෙ රජය අඟලක්වත් භාර දුන්නා කියලා. මේ ගැන දෙමළ නායකයන් හෝ විදේශීය ආයතන කතා කරන්නේ නැහැ. අපෙ රජය සංහිඳියාව වෙනුවෙන් වඩාත් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

ත්‍රස්තවාදය අවසන් වීමත් සමඟ ළමා සොල්දාදුවන් අද පාසල් යනවා. අද ඔවුන්ගෙ කරේ සයනයිඩ් කරල් නැහැ. අපි එදා ත්‍රස්තවාදීන් ලෙස හිටපු තරුණයන් 14000ක් පුනරුත්ථාපනය කර නැවත සමාජගත කළා. මේවා නොවේද සංහිඳියාව වෙනුවෙන් කළ යුතු කරුණු? එදා ත්‍රස්තවාදීන්ට පිටරට සිට උපක්‍රම සපයපු, ආයුධ එවපු, මුදල් සපයපු අය රටේ ව්‍යවස්ථාව සැකසීමට මූලික වෙලා ඉන්නේ?

ඒ අයගේ වුවමනාවන්වෙනුවෙන් කරන ව්‍යවස්ථාව මොන ආකාරයේ ව්‍යවස්ථාවක්ද කියලා අපට හිතාගන්න පුළුවන්. මේකට අපෙ රටේ ඉන්න උගතුන් බුද්ධිමතුන්ට විශාල වැඩකොටසක් කරන්න පුළුවන්. රටේ පාලනය දේශපාලකයන්ට භාර දීලා ඡන්දයක දී පමණක් ඉදිරියට ඒම නොවෙයි අපි කළ යුත්තේ. උගතුන් බුද්ධිමතුන් වඩාත් ක්‍රියාත්මක විය යුතු කාලයක් දැන එළැඹ තිබෙනවා.

 

 

Top