Breaking
24 Feb 2025, Mon

එල්ලේන්න වැල් නැති ආණ්ඩුවේ දෙරණ ප්‍රවෘත්ති හා හමුදා කුමන්ත්‍රණ වැල …

මේ ආණ්ඩුවට දැන් වැලේ වැල් නැහැ. ජනමාධ්‍ය ලේකම් දෙරණ සමග හැප්පෙනවා. ඔහු මාධ්‍ය නිදහස හා මාධ්‍ය අවභාවිතය ගැන සැලකිල්ලෙන් ඉන්න බව කියනවා. ඔය පදනම් ආයතනයේ දී මෛත්‍රිපාල කරපු ප්‍රකාශය දෙරණ විකෘත කරල නම් ජනමාධ්‍ය ලේකම්ට ඒ බව සාක්‍ෂි ඇතිව පෙන්නන්න පුළුවන් වෙන්න ඕන. ඔහු කියනවා දෙරණට විරුද්ධව යම්කිසි ආකාරයක පරීක්‍ෂණයක් කළ බවත් දෙරණ අදාළ කතාව විකෘත කර ඇති බව පෙනී ගොස් ඇති බවත්. ඒත් මට තේරෙන විධියට නම් නීතිය ගැන දන්නා ජනමාධ්‍ය ලේකම් ඒ පරීක්‍ෂණයට දෙරණ කැඳවා නැහැ. ඔහු දැන් ඊනියා ස්වාභාවික යුක්තියක් ගැන කතාකරන්නේ දෙරණ නොකැඳවා දෙරණට විරුද්ධව යම් පරීක්‍ෂණයක් කර නිගමනවලට පැමිණීමෙන් පසුව. ඒ කාගේ ස්වාභාවික යුක්තියක් ද දන්නෙ නැහැ.

දෙරණට ජනමාධ්‍ය ලේකම් එවන ලියුම්වල දෙරණ මාධ්‍ය භාවිතාව ගැන කියලා තියෙනව නම් ඒවා දැනගැනීමේ අයිතිය අපටත් තියෙනවා. ජනමාධ්‍ය ලේකම් ජනමාධ්‍යයක් වරදකරු යැයි ලිපියකින් කියන කොට ඒක ඒ ජනමාධ්‍ය නරඹන/අසන අයටත් දැනගන්න ඕන. ඒ ලිපිය ප්‍රචාරය කිරීම ජනමාධ්‍ය සංදර්ශනයක් නොවෙයි. ජනමාධ්‍ය ලේකම් දැන් එතරලු. ඔහු ආපසු පැමිණි පසු ජනමාධ්‍ය සංදර්ශන යනු මොනවා ද කියා අපට කියනව ද?

පහුගිය දවස්වල තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන සිවල් සමාජයයි ආණ්ඩුවයි මහා සද්දෙන් කතා කළා. ජනමාධ්‍ය ලේකම් තොරතුරු දැනගැනීමේ අයිතියට විරුද්ධ ද? ජනමාධ්‍ය ලේකම් ගැන ඒ තොරතුර දැනගැනීමට අපට අයිතියක් තියෙනව ද? ජනාධිපති, අගමැති, ජනමාධ්‍ය ඇමති, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති මේ සියල්ල ගැන මොකද කියන්නෙ. ඒකත් තොරතුරක් දැනගැනීමක් තමයි. රාජ්‍යපාලනයක් නොකර දේශපාලනයක් කරන ආණ්ඩුවකට ආණ්ඩු සේවකයන් මිස රාජ්‍ය සේවකයන් ඉන්න බැහැ.

දෙරණ ප්‍රවෘත්ති මගින් ඊයේ දිනේෂ් ගුණවර්ධන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කී දෙයක් දැනගන්න ලැබුණා. ඔහු පාර්ලිමේන්තුවේ දී කර තිබුණේ අවවාදයක්. ආණ්ඩුව දිගින් දිගට ම ප්‍රජාතන්ත්‍රවාදය මර්දනයට ලක්කිරීම කරගෙන ගියහොත් හමුදා කුමන්ත්‍රණයක් ඇතිවීමේ අනතුරක් තිබෙන බවයි ඔහු කියා තිබුණේ. බංකොළොත් ආණ්ඩුවේ එස් බී දිසානායක වැනි ඇමතිවරුන් දිනේෂ් ඊනියා කුමන්ත්‍රණයක පළමු වෙඩිමුරය පත්තු කළ බව කියනවා. දෙරණ ඒ අයගේ ප්‍රකාශ ඒ සැටියෙන් ම ප්‍රචාරය කරනවා. ඒ නිසා අපට අටුවා ටීකා නැතිව ඒ දැනගත හැකියි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කල හැකි ක්‍රමයක්. එය බටහිර පන්නයේ නිර්වචනයක් නොවෙයි. පාර්ලිමේන්තුවට ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරන්නට බලතල බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙන් ලැබී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුව හරහා නොරැකෙන විට එයට පිටින් ගොස් කරන ක්‍රියා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙස සැලකෙනවා!

එස් බී දිසානායක දේශපාලන කෙරුමකු බව සැබෑයි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්‍ෂකයකු ලෙස ප්‍රසිද්ධ නැහැ. මා ඔහුත් දිනේෂුත් අවුරුදු හතළිහකට වැඩි කාලයක් දන්නවා. මා දන්නා තරමින් දිනේෂ් තරම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ඒ ආරක්‍ෂා කිරීමට ක්‍රියාකරන වෙනත් අයකු අද පාර්ලිමේන්තුවේ නැහැ. මට වෙලාවකට හිතෙනවා ඇයි ඔහු මේ වැඩකට නැති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මෙතරම් පෙනී සිටින්නෙ කියා. ඔහු පක්‍ෂ මාරු කළ අයකු නො වෙයි. කිසි දා එා ජා පක්‍ෂයට හෝ එහි පෙරමුණකට හෝ ගිය අයකු නොවෙයි. පිලිප් ගුණවර්ධන මහතා මෙරට මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙනවා. ඒත් ඔහු මාක්ස්වාදී පුස් කෑ පොත් ගැන පාර්ලිමේන්තුවේ දී කතා කළා. මාක්ස්වාදයේ සිට ජාතිකත්වය පැමිණි ප්‍රධානියකු ලෙස ඔහු හඳුනාගත හැකියි. එහෙත් ඔහු ඩඩ්ලි සේනනායක හත්හවුල් ආණ්ඩුවට එක්වුනා. දිනේෂ්ගේ නායකත්වය යටතේ ම එ පෙ පිලිප් ගුණවර්ධන මහතාගේ ඒ ක්‍රියාව වරදක් ලෙස පිළිගත්තා. දිනේෂ් එබඳු පුද්ගලයෙක්. එමෙන් ම පාර්ලිමේන්තුවේ අද ජාතිකත්වය වෙනුවෙන් කටයුතු කරන ප්‍රධාන පුද්ගලයා ඔහු. සරත් වීරසේකරත් ජාතිකත්වය වෙනුවෙන් වැඩ කරන ප්‍රධාන පුද්ගලයෙක්. අවාසනාවකට අද ඔහු පාර්ලිමේන්තුවේ නැහැ. මහින්ද රාජපක්‍ෂත් ජාතිකත්වය වෙනුවෙන් ඉන්නවා. මා එදා මගේ ලෝකය සම්මන්ත්‍රණයේ දී කීවා සේ ඔහු තවදුරටත් ජාතිකත්වයට පැමිණිය යුතුයි. ඔහු පැරදුණේ දෙමළ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසා නොවෙයි. සිංහල ඡන්ද හරියට නොලැබුණු නිසා. මහින්දට දිනේෂ්ගේ සහාය නොමඳ ව ලුබෙනවා. දිනේෂ්ගේ අඩුපාඩුවක් ගැන මට කියන්න ඇත්තේ ඔහු අවශ්‍ය තරම් කාර්යශීලී නොවන බව පමණයි.

එස් බී කියන්නේ දිනේෂ් ඊනියා කුමන්ත්‍රණයක පළමු වෙඩි මුරය තැබූ බව. දිනේෂ් කර තිබෙන්නේ අනතුරු ඇඟවීමක්. ඔහු එසේ කරන්නේ ජාත්‍යන්තර දේශපාලන අත්දැකීම් අනුව. එහි වරදක් නැහැ. මට තවදුරටත් එහා ගොස් කිවහැකි දෙයක් තිබෙනවා. ලංකාවේ හමුදා කුමන්ත්‍රණයක් වුවහොත් ඒ සිදුවන්නේ පකිස්තානයේ මියන්මාරයේ මෙන් හමුදා ප්‍රධානීන් අතින් නොවෙයි. එවැන්නක් සිදු වුවහොත් එසේ වීමට ඉඩ ඇත්තේ ඇතැම් අප්‍රිකානු රටවල මෙන් සාමාන්‍ය භටයන් අතින්. ඒ ප්‍රකාශය දෙවැනි වෙඩි මුරයක් නො වෙයි. මගේ දැනුම හා කල්පනාව උපයෝගී කරගෙන කරන්නක්. ලංකාවේ එවැන්නකට ඇති සම්භාවිතාව ඉතා අඩු බවත් මා දන්නවා.

ඒ කෙසේ වෙතත් එස් බී කියන්නේ ඒ ගැන අප කලබල නොවිය යුතු බවයි. අප ඉන්දියාව සමග මීතුරුව සිටිනතාක් කුමන්ත්‍රණයක් ඇතිවුවහොත් ඉන්දියාව නැව් දෙකක් එවා වි කියා ඔහු කියනවා. එසේ නම් දිනේෂ්ගේ ප්‍රකාශය ගැන කලබල වන්නේ මොකට ද? එස් බීට වඩා දිනේෂ් ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා. දිනේෂ්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ස්ථාවර නියෝග ආදිය ගැන මනා දැනුමක් තිබෙනවා. එස් බී ගේ කතාවෙන් වැදගත් කරුණක් මතුවෙනවා. ආණ්ඩුව ඉන්දියාව සමග මිතුරුව සිටින තාක්, එනම් ඉන්දියාවේ බෙර පදයට නටනතාක්, සංගීත භාෂාවෙන් කිවහොත් උත්තර භාරතීය සංගීතයට (කර්ණාටක සංගීතයට) අපේ නාද රටා යට කරනතාක්, අප ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවාදීව මර්දනය කළත් ආණ්ඩුවට ප්‍රශ්නයක් නොවන බවයි. හමුදා කුමන්ත්‍රණයක් ඇති වුනත් ඉන්දියාව නැව් දෙකකින් ඇවිත් මේ දුර්දාන්ත ආණ්ඩුව නැවතත් බලයේ පිහිටුචාවි. එස් බී ඒ බව දන්නවා ඇති. නැතත් රනිල් නම් දන්නවා. අපට අහන්න තිබෙන ප්‍රශ්නය මෙයයි. අද මේ යමපාලන ආණ්ඩුව සිංහලයන්ට හා රටට මෙතරම් විපත් කරන්නේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය මර්දනයට ලක්කරන්නේ තමන් බලයට පත් කළ ඉන්දියාව (හා බටහිරයන්) තමන් පිටුපස ඉන්නා බව දන්නා නිසා නොවේ ද?

නලින් ද සිල්වා
2016 නොවැම්බර් 21

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.