Breaking
24 Feb 2025, Mon

එළියට වෙනම න්‍යාය පත්‍රයක්…. මහින්දට ඕන රනිල් ශක්තිමත් කිරීම ද? ප්‍රකාශ තුනක්!

වත්මන් දේශපාලනය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. ඒ ඒ අය කරන ප්‍රකාශවලින් තමන්ට අවශ්‍ය කොටස් ප්‍රචාරය කිරීමට ජනමාධ්‍ය සෑදී පෑදී ඉන්නවා. අප ප්‍රවෘත්ති හැටියට දකින්නේ කියවන්නේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන්ට අවශ්‍ය දේ මිස අපට අවශ්‍ය දේ නො වෙයි. එබැවින් ඒ ඒ අයගේ ප්‍රකාශ ගැන මත පළ කිරීම ප්‍රවේසමෙන් කළ යුතුයි. අද ජාතිකවාදීන් අතරමං වෙලා. ඒ ජාතික ව්‍යාපාරය දේශපාලනිකරණය වීමේ ප්‍රතිඵලයක්. ජ වි පෙ ජාතිකවාදය හා කසිකබල් සමාජවාදය අතර දෝලනය වුණු පක්‍ෂයක්. අද නම් කිසිම ජාතිකත්වයක් නැහැ. ඇත්තේ අවස්ථාවාදය පමණයි.

මෙයින් කියැවෙන්නේ ට්‍රොට්ස්කිවාදී හා වෙනත් මාක්ස්වාදී ප්‍රභේද කසිකබල් නොවන බව නො වෙයි. මාක්ස්ගේ පට්ටමපල් බොරු වූ පංතිය, ඓතිහාසික භෞතිකවාදය, කොමියුනිස්ට්වාදය ආදිය මත ගොඩනැගුණු දේශපාලන පක්‍ෂ කසිකබල් තමයි. ට්‍රොට්ස්කිවාදය තරම් අසාර්ථක ප්‍රවාද එකතුවක් තවත් නැහැ. අද මාක්ස්වාදීන් බටහිර විද්‍යාව ද ඇතුළු ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ සුවච කීකරු සේවකයන්. ඔවුනුත් හිතන්නෙ තමන් විද්‍යාඥයන් කියා. ඒ නිසා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන විට මාක්ස්වාදීන්ටත් කේන්ති යනවා. ඊනියා යහපාලන ආණ්ඩුව පිහිටුවනු ලැබුවේ ජ වි පෙ විසින් නොවුණත් ඔවුන් ඒ කාර්යයට අත ගැහුවා. ඒ පාප කර්මයට ජ වි පෙ වග කියන්න ඕන. ඔවුන්ට එයින් ගැලවීමක් නැහැ. ඡන්දය දැමීමට පැමිණි අය ඝාතනය කල ජ වි පෙරමුණට මැතිවරණවලට ඉදිරිපත් වීමට ඇති සදාචාරාත්මක අයිතිය කුමක් ද?

මුතුකුඩ නාට්‍යයේ ගණිතයා හොඳ කතාවක් කියනවා. මාත් ඉස්සර නම් ගණිතයෙක්. නාට්‍යයේ ගණිතයා කියන්නේ විදේශිකයන්ට තම ජාතිය පාවා දුන් අය ඒ විදේශිකයන් අතින් ම දඬුවම් විඳින බව. ඒ දෙබස් කාගෙ ද කියා මා දන්නේ නැහැ. සමහර විට කේ බී හේරත් ගෙ ම වෙන්න පුළුවන්. එසේ දඬුවම් විඳි අයට උදාහරණ ලෙස කුවේණිය (හා ඇහැළෙපොළ) ගැන කියනවා. අද ඊනියා යහපාලනයත් එවැනි පාවා දීමක්. මෙහි ඇහැළෙපොළ යනු මෛත්‍රිපාල, විදේශිකයා බටහිර රටවල්, ඉන්දියාව හා රනිල්. මෛත්‍රිපාලට දඬුවම් විඳින්න වෙන එක වළක්වන්න පුළුවන් ද?

මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන් ප්‍රකාශ කරන්නෙ මෛත්‍රිපාල තනි නොකළ යුතු ය කියා. උන්වහන්සෙ එළිය සංවිධාන සාකච්ඡාවක මේ කතාව කී බව ප්‍රකාශ වෙනවා. එළියට වෙනත් න්‍යාය පත්‍රයක් තියෙනවා. එහෙත් ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න බැහැ. දේශපාලනය යනු වෙළෙඳ දැන්වීම් ප්‍රචාරයක් නො වෙයි. අද මහින්ද නැතිව දේශපාලන ගමනක් නැති බව විමල්, දිනේෂ්, ගම්මන්පිල පමණක් නොව බැසිල් හා ගෝඨභයත් දන්නවා. මෛත්‍රිපාල තනි නොකළ යුතු යැයි මාත් හිතනවා. මෛත්‍රිපාල මහා පාවාදීමක් කළ පුද්ගලයෙක්. කුවේණියට හා ඇහැළෙපොළට දඬුවම් දුන්නවුන් ඔවුන් පමණක් නොව රටත් විනාශ කළා. බටහිරයන්, ඉන්දියාව හා රනිල් මෛත්‍රිපාලට පමණක් නොව රටටත් විනාශයක්. රටේ පැත්තෙන් සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාව, රණවිරු දඩයම, ජාතික සම්පත් විකිණීම සහ තවත් දේ.

මෛත්‍රිපාල මේ කරුණුවලට විරුද්ධ ව කිසිවක් කරන්නෙ නැහැ. ඔහුට කරන්නත් බැහැ. ඔහු බොරු කතා කියනවා. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළාට දෙමළ ජාතිවාදී මතවාදය පරාජය නොවුණු බව මෛත්‍රිපාල කියනවා. මෛත්‍රිපාලට තර්කානුකූල මතයක් ඕනළු. ඔහු දන්නවා ද ජාත්‍යන්තරය දෙමළ ජාතිවාදය වෙනුවෙන් ගෙන යන මතවාදය. ඔහු හිතනවා ද දෙමළ කතාකරන ජනයාට දෙමළ වීම නිසා ම අසාධාරණයක් වෙලා තියෙනවා කියලා. ඔහු පමණක් නොවෙයි මහින්ද ගෝඨභය බැසිල් ජී එල් ආදීන් ද එසේ සිතනවා ද? දිනේෂ්, විමල් හා ගම්මන්පිල ඒ ගැන මොකක්ද කියන්නෙ. චන්ද්‍රප්‍රේමලා දිලිත් ජයවීරලා ඇතුළු එළිය සංවිධානය ඒ ගැන මොකක්ද කියන්නෙ. වසන්ත බණ්ඩාරලා ගුණදාස අමරසේකරලා ඒ ගැන මොකක් ද කියන්නෙ. මේ බටහිර කුමන්ත්‍රණයක් කියන එක කෝකටත් තෛලයක් පමණයි. කුමන්ත්‍රණ කතාවලින් කිසිවක් තේරුම් ගන්න බැහැ. ඒවා ගැලරි කතා.

මෛත්‍රිපාල දන්නෙ නැති වුණාට ජනමාධ්‍ය ප්‍රචාරයක් නොදුන්නට අපට දෙමළ ජාතිවාදය ගැන අඩුම තරමෙන් 1833ට දිව යන කතාවක් තියෙනවා. ජාතිකවාදීන් ඒ කතාව පිළිගන්නෙ නැත්තන් කුමන්ත්‍රණ නොවන වෙන කතාවක් ගොතන්න පුළුවන් ද? මෛත්‍රිපාල තනි කිරීම සිංහලයන්ට අවසානයේ දී ප්‍රශ්නයක් වේවි. ඇහැළෙපොළ තනි කිරීමෙන් සිංහලයන්වත්, කුවේණිය තනි කර ඝාතනය කිරීමෙන් යක්‍ෂ ජනතාවවත් ලැබූ සහනයක් නැහැ. මෛත්‍රිපාල සිංහලයන්ට ද්‍රෝහි වුණත් ඔහු තනි කළ යුතු නැහැ. එහෙත් ඒ එළිය සංවිධානයේ න්‍යාය පත්‍රය අනුව නො වෙයි.

මෙහි දී මහින්ද කියන කතාව සමගත් එකඟ වෙන්න බැහැ. එයත් ගැලරි කතාවක්, හිතන්නෙ නැති මිනිසුන්ට කරන කතාවක් පමණයි. මහින්ද කියන්නෙ මෛත්‍රිපාල කල්ලිය ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය කියා. ඒ කතාවෙ අතාර්කික භාවය ගැන අප කලින් සඳහන් කරලා තියෙනවා. ඒ මෛත්‍රිපාල එක්ක ද නැතිව ද? මෛත්‍රිපාල නැතිව නම් ඔහු තනි වෙනවා. ඔහු දැනටත් වඩා රනිල්ගෙ හිරකාරයෙක් වෙනවා. මෛත්‍රිපාල එක්ක නම් රනිල් වැඩබලන ජනාධිපති වෙනවා. පසුව ජනාධිපති වෙනවා. මොන විධියට බැලුවත් රනිල් බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. මහින්දට ඕන රනිල් ශක්තිමත් කිරීම ද? මහින්දවාදීන්, විශේෂයෙන් ම නන්දිකඩාල් ජාතිකවාදීන්, ඒ ගැන මා සමග එකඟ වෙන එකක් නැහැ. ඔවුන් බලා ඉන්නෙ 2020 වන තුරු ද 2025 වන තුරු ද? ඒ අතර හුඟක් දේ සිද්ධ වෙන්න පුළුවන්.

අද කළ යුත්තේ එක ම එක දෙයයි. ඒ ජාතික න්‍යාය පත්‍රයක් උඩ, මැතිවරණ ගිවිසුමක් උඩ නොව, මෛත්‍රිපාල හා මහින්ද එකතු කිරීමයි. එහි එක් කොන්දේසියක් විය යුත්තේ රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමයි. එය අද වුවත් කරන්න පුළුවන්. මහින්ද බැරි නම් ඒකාබද්ධ විපක්‍ෂයෙ වෙනත් අයකු අගමැති කරන්න පුළුවන්. පඬියන් කියාවි ඒ තනතුරු බලාගෙන සිදුවෙන සමගියක් කියලා. එය තනතුරු බලාගෙන කරන එකක් නොව තනතුරක් නැති කිරීමට කරණ සමගියක්. රටට යහපතක් ගෙනෙන සමගියක්.

________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-13

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.