සිරිසේන ලවා රනිල් ඉවත් කර ගැනීමේ ආශාවක් ඇතැමුන්ට තිබෙන බව පෙනේ. මට ද පුද්ගලික ව එවැනි ආශාවක් නැතුවා නොවේ. එසේ තිබීම සාධාරණ ය. මන්ද අගමැති රනිල් එතරම් ම හානියක් මේ රටට සිදු කොට තිබේ, හා සිදු කරමින් තිබේ. මම ඔබගෙන් මෙවැනි ප්‍රශ්නයක් ඇසුවොත්? කිසියම් මොහොතක ඔබගේ දකුණු අත ඔබගේ වම් අත විසින් කපා දමනු ඇති ද? ඔබේ වම් අතෙහි තුවාලයක් තිබේ. එය දැඩි වේදනාකාරී ය. එනිසා ම ඔබට ඔබේ වම් අත කතා දැමීමට තරම් සිත් දෙයි. ඔබ එසේ කරනවා ද? සිරිසේන විසින් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරනු ඇති බව සිතන කෙනෙකුට ඉහත ප්‍රශ්නය අදාළ ය. මේ ගේම් එකේ දී රනිල් හා සිරිසේන යනු එකම පුද්ගලයෙකුගේ වමත හා දකුණත ය. හුරු මෙන් ම වැඩ කරන්නේ දකුණතයි. වමත හුරු නැති වුව එය දකුණතට සහාය වේ.
සිරිසේන විධායක ජනපති බව ඇත්තකි. එහෙත් මේ සිරිසේනගේ ජනවරම ද? කිසිසේත්ම නැත. සිරිසේන යනු රනිල්ගේ රූපාන්තරය බව තාමත් තේරුම් නොගත් ඉහ නිකඩ පැහැණු දේශපාලන විචාරකයින් හා මහාචාර්යවරුන් පවා සිටිනු දැකිය හැකි ය. මේ ආණ්ඩුව පිහිටුවා තිබෙන මතවාදී පදනම සපුරා රනිල්ගේ ය. සිරිසේන යනු රනිල්ගේ සුවච කීකරු ගෝලයා මිස ස්වාමියා නොවේ. සර් කියා රනිල් අමතන ඔහු රනිල්ගේ ඉංග්‍රිරිසි කෑල්ලක් ද සමග ‘දෙකක්’ කී විට සිරිසේන හැකිලෙන්නේ නිදිකුමා තරම් වේගයෙනි. ඇතැමුන් විධායක ජනපති ධුරය තේරුම් ගෙන තිබෙන ආකාරය සදොස් ය. මෙම ධුරයට කළ හැකි කජ්ජක් නැත. වැදගත් වන්නේ එහි සිටින පුද්ගලයා ය. මහින්ද එම ධුරයේ සිටින විට කළ දෙය සිරිසේනට කරනු තබා සිතනුවත් බැරි ය.
සිරිසේනට තනි ආණ්ඩුවක් තනා ගැනීමට අපේක්‍ෂා තිබෙන්නට බැරි නැත. ආණ්ඩුවට හේත්තු වී රනිල්ගෙන් කුණු බැණුම් අසන ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ට ද එවන් අපේක්‍ෂාවක් නොතිබෙන්නට බැරි ය. එහෙත් ඔවුන්ට නොතේරෙන සත්‍ය නම් ඔවුන් වවුලාගේ ගෙදර මගුලේ ගොස් ඇති බවයි. වව්ලාගේ මගුලේ දී වව්ලාසේ ම එල්ලී සිටීමට යන අය සූදානම් විය යුතු ය. සිරිසේනට හා නඩයට එසේ වී තිබේ. එනිසා ඔවුන්ට පොඩි ‘ස්වාධීන’ වීමේ හීනයක් තිබේ. එහෙත් වව්ලා කෙලින් සිටුවන්නට ඔහුගේ මගුලට ගිය කපුටන්ට හැකි ද? මේ සරල සත්‍ය තේරුම් ගැනීමට කිසිවෙකු අසමත් වන්නේ නම්, ඔවුන්ට දෙවියන්ගේ ම පිහිට ය.
කළ යුත්තේ එළුවාගේ අරක වැටෙන තුරු බලා සිටීම නොවේ. එය වැටෙන්නේ නැත. ආණ්ඩුව තම දේශ-විරෝධි මාවතෙන් එළියට වීසි කිරීම සඳහා ජනමතයක් නිර්මාණය කිරීම ය. ආණ්ඩුව විත්ති කූඩුවට ගෙන ඒම ය. දැනටමත් ආණ්ඩුව සිටින්නේ මානසික-විපක්‍ෂයේ ය. එළියේ බහුතර මතය තමාට හිමි නොවන බව ආණ්ඩුව හොඳින් දනී. ඡන්ද නැත්තේ එනිසා ය. ඉතිරි වසර දෙක හමාරට ද එය පවත්වාගෙන යාමට නම් රනිල්ට මෙන් ම සිරිසේනට ද ජනමතයේ ගින්දර සමීප කළ යුතු ය.
මැයි දිනය ඊට කදිම අවස්ථාවකි. රනිල්ට නම් මේ ගින්දර එතරම් දැනෙනු නැත. මන්ද ඔහු සිටින්නේ කොරහත් බිඳගෙන යළි නොඑන ලෙස යාමට ය. ඔහුගේ ක්‍රියාවලින් එය පෙනේ. එසේ යන විට ඔහු එජාපය ද විනාශ කොට යනු නියත ය. රනිල් එජාපයෙකු නොවේ. එහෙත් සිරිසේනට ජනවිරෝධයේ ගිනි දැනටමත් දැනී ඇති හැඩකි. ඔහුගේ හැසිරීමෙන් එය පෙනේ. තමා පාවා දෙන නරුමයෙකු බවට වන මතය දැන් පක්‍ෂ විපක්‍ෂ සැම අතර සමාජගත වී තිබෙන බවත්, එය තම නොහැකියා පසුබිම මත ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන බවත් ඔහුට දැනී තිබේ. වරදකරුවෙකුගේ හොඳම සාක්‍ෂිකරු තමා මිස අන් කිසිවෙකු නොවේ.
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ