Featured

ඒකාබද්ධ විපක්ෂයේ ඉට්කා විරෝධය පල දරයි….රනිල් දේශපාලන ඉක්කාවෙන් පරල වෙයි….

ඇමෙරිකාව සහ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ බල ලෝභී දේශපාලන ඉත්තන් ඩැහැගනිමින් ගෙනගිය ක්‍රියා මාර්ගය විවිධ ඉසවු ඔස්සේ දැන් රටට දිගහැරෙමින් තිබේ. ඒ අතරින්, විශේෂයෙන් ඉන්දියාව විසින් ඇටවූ මර උගුල්, මුදල් හා වරදානවලට යට වී ආණ්ඩු පෙරළියකින් ශ්‍රී ලංකාවේ ජනතාව මංමුලා කළ රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය කිසියම් ආකාරයක පරාජයක් මේ වනවිටත් අත්පත් කරගත් බව 2016 පෙබරවාරි සම 25 වන දින ගෙවෙද්දී රටටම දැක ගන්නට ලැබුණි. ඒ “හිරු ටීවී“ -බලය- වැඩසටහන ඔස්සේය. මෙම බලය වැඩසටහනට කැඳවා සිටියේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා, ජනතා විමුක්ති පෙරමුණේ පත්කළ මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා යන අයයි.

මෙම සංවාදය ද අනාගතයේ යම් දිනෙකට ද වැදගත්කමක් උසුලන හෝ යම් අධ්‍යයනයකට රැකගත යුතු සංවාදයක් බවට ද ප්‍රේක්ෂකයින්ට ඒත්තු ගියේ නම් එය ද වැදගත්ය. හංස රෙජීමයේ තිදෙනෙක් සමග උදය ගම්මන්පල නම් එකම විරුද්ධ පාක්ෂික මන්ත්‍රීවරයා ඊට මුහුණදීමත්, මෙම සංවාදයේ කියැවුණු ඇතැම් දේ ශ්‍රී ලංකාවේ දේශපාලකයින් විසින් තම අවස්ථාවාදය හා නිරුවත යම් දිනෙක ලොවට කියා පෑ හැකි සාක්ෂියක් ලෙස ඉතිරි කිරීමත් යන කරුණු දෙක මත මෙම සංවාදය මාද්‍ය සංවාද අතර යම් වැදගත්කමක් ශේෂ කරනු ඇත.

රනිල් අගමැතිගේ සුරතල් මිතුරෙක්වන මලික් සමරවික්‍රම නම් ඇමතිවරයා පෙර දිනෙක වහසිබස් දෙඩ වූ “සීපා“ ගිවිසුම, ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණ හේතුවෙන් හකුළා ගැනීමට මුල් වටයේදීම සිදුවීය. පසුව එහි නම වෙනස් වී “ඉට්කා“ නමින් වෙනත් ගිවිසුමක් කරළියට ගෙන ආවේය. ඊට ද රටෙහි සැබෑ විපක්ෂය ලෙස පළමු වෙඩිමුරය තැබූවේ වත්මන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම විසිනි. ඒ විරෝධය ද යම් තරමකට සමාජගතවී, “කවුරු විරුද්ධ වුවත් ගිවිසුම් අස්සන් කරනවා“ යන වහසි බස් පමණක් නොව මුග්ධ බස් තෙපළූ වේ රටේ අගමැතිධුරය ඩැහැගත් රනිල් වික්‍රමසිංහ ය. දැන් ඒ හඬද නිවට නියාළු හිවල් නාදයක් වන තැනට පත්වෙමින් ඇති ද යන වග මෙම “බලය“ සංවාදය අවසන් වනවිට සිතුණි.

පළමුව ප්‍රසිද්ධියට පත්ව තිබූ “ඉට්කා“ ගිවිසුමට අදාළ ඇතැම් ලියවිලි සහ “ගිලන්රථ විජ්ජාවට“ අදාළ ලියවිලි වෙනුවට “එකඟතා රාමුවක්“ යැයි කියූ ලියවිල්ලක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ නියෝජ්‍ය ඇමතිවරු දෙපළ විසින් සංවාදයට ඉදිරිපත් කරන්නට යෙදුණි.

මෙයට අනුව ඉට්කා ගිවිසුමේ සැර අඩුවන බව පෙන්වීමට හර්ෂ සහ අජිත් යන දෙපළ විසින් රනිල් මෙන්ම මාධ්‍යවාරණ තගද දමා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා නිහඬ කිරීමට විවිධ උත්සාහ ගත් බවක් ද දිස්වීය. කෙසේ වෙතත් මේ සියල්ලට ඍජුව මුහුණ දුන් උදය ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමයේ නායකයා, තම මතය රටේ අනාගත පරපුරවෙනුවෙන් රට හමුවේ තබන බව පැවැසීම අගය කළ යුතුය.

සීපා හෝ ඉට්කා හෝ ගිවිසුම් ආකාරයටම රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ ඉතිහාසය පුරාවටම කටයුතු කර ඇති ආකාරය විද්‍යාත්මක තලයේ දේශපාලනය හා ඓතිහාසික අධ්‍යයනයන්ගෙන් දැනුම ලබාගත් අයට රහසක් නොවේ.

1947 දී ම, පුරවැසි පනත ගෙනැවිත් රට වියවුලකට දැම්මේ එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු බිම හෙළීමේ එජාප නායකයින්ගේ පාදඩ දේශපාලන උප්පරවැට්ටි නිසාය. එදා යම් පමණකට බලවත්ව සිටි එජාපයට හීලෑ නොවන වාමාංශික කණ්ඩායම් ඇතුළු විරුද්ධ පක්ෂයේ බලය තුරන් කිරීම උදෙසා පුරවැස් පනත ගෙන ආ බව දේශපාලනයේ තතු දත්තන්ට මතක් කළ යුතු නොවේ.

1977 ලැබූ හයෙන් පහක බලය අත්තනෝමතිකව යොදා ගනිමින් ඒකාධිපති ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ සිට මැතිවරණ කල් දැමීම්, මැරබලය, දූෂණය, දේශපාලන පක්ෂ තහනම්කිරීම, රට යුදබිමක් බවට පත් කිරීම ආදී ව්‍යසනයන් රැසකට මග පෑදූ එක්සත් ජාතික පක්ෂය හිතුවක්කාරී ලෙස “ඉන්දු ලංකා ගිවිසුම“ 1987 දී අස්සන් කළේය.

2002 දී ද පාවා දීම් හා කුමන්ත්‍රණ රැසක් මැද බලයට පත් වූ රනිල් ගේ එක්සත් ජාතික පක්ෂය හිතුවක්කාරී ලෙස එල්ටීටීඊය සමඟ ඊට රාජ්‍යතාන්ත්‍රික බලයක් ආරෝපණය කරමින් ගිවිසුමක් අස්සන් කළේය.

2015 දීද දෙස් විදෙස් කුමන්ත්‍රණ රැසක් මැද බලය ඩැහැගත් එක්සත් ජාතික පක්ෂය මේවනවිට අන්තර්ජාතික ගිවිසුම් රැසක් වෙනුවෙන් ඍජු සහ වක්‍රව එළැඹ සිටී. අවාසනාවකට මේ තත්ත්වය රටේ සාකච්ඡාවට බඳුන් නොවන තරම්ය. එවන් අවධානයක් යොමු කරවන විටම ඊට එරෙහි වන්නන් ද්‍රෝහීන් ලෙස නම් කිරීමේ අලුත් ඉසව්වකට එක්සත් ජාතික පක්ෂය මේවනවිට පිවිස තිබේ. මෙය මාද්‍ය ක්ෂේත්‍රයට ද මහත් ව්‍යසන අත්පත්කර දෙමින් සිටී.

මෙම ලිපියට පාදක වන “බලය“ සංවාදයේ දීද “බණ්ඩාරගම ටොමියා“ ලෙසින් ප්‍රකටව සිටින අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා විසින්, උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා නිහඬකිරීම සඳහා විවිධ නම් සහ වාග් ප්‍රහාර දියත් කළේය. කිසිදු පැකිලීමකින් තොරවම, තමන් රනිල් වික්‍රමසිංහ නම් එකාධිපති, අධිරාජ්‍ය ගැති, දේශමමාකත්වයෙන් තොර සුවච කීකරු කුකක්කු බව පුන පුනා ප්‍රකාශ කරමින් සහ ගම්‍ය කරමින් හැසිරුණි.

කෙසේ වෙතත්, මෙම සංවාදය අවසන් වනවිට දැක ගන්නට ලැබුණේ සහ සංවාදයේ අවසාන භාගය වනවිට සියල්ලන්ගෙන්ම කියැවුණේ, ඒකාබද්ධ විපක්ෂය විසින් ගොඩනංවනලද ජනතා විරෝධය මත රනිල් ගේ ආණ්ඩුව ඉට්කා වෙනුවට වෙනත් මගක් තෝරාගෙන ඇති බවකි. එහෙත් මෙය තවත් සෙප්පඩවිජ්ජාවක් පමණක් ද යන සැකය තවම ඉතිරිව තිබේ.

මන්ද යත්…. ඉට්කා ගැන සංවාදය අතරට ගෙනැවිත් අතහරින ලද, හර්ෂද සිල්වා නියෝජ්‍ය ඇමතිවරයා විසින් හඳුන්නෙත්තිට පමණක් පෙන්වූ මහා ගිලන් රථ පුණ්‍යකර්මයේ ලියවිල්ල තුළ “ඉදිරියට එළැඹෙන ගිවිසුම් මෙම එකඟතා රාමුවට යටත්ව හෝ එහි කොටස් ලෙස හෝ“ යන අර්ථයෙන් එහි වගන්තියක් ඇතුළත්ව ඇති බැවින් මෙය තවත් එක් සෙප්පඩවිජ්ජාවක් ද යන සැකය මතුවෙයි.

සීපා ගිවිසුම වෙනත් නමකින් ඉට්කාවී, වහසි බස් නොව මුග්ධ බස් දෙඩවූ පාලකයින් ද ඉක්කාවෙන්ම පරලවීමට තරම් රටේ ජනමතය වෙනස් කිරීමට ඒකාබද්ධ විපක්ෂය ගත් ක්‍රියා මාර්ග ප්‍රබල වී ඇති බව මෙම සියලු කරුණු විමසුමේ දී පෙනී යයි.

තවද, මෙවන් වැදගත් සංවාද අතර ගෙනඑන, නිශ්චිත නෛතික පිළිගැනීමක් ද දැක්විය නොහැකි ලියවිලි පිළිබඳව විශ්වාසය තබා සංවාදයේ මූලික අරමුණු වෙනතකට රැගෙන නොයාමට මින් ඉදිරියට විරුද්ධ පක්ෂයේ නියෝජිතයින් පරෙස්සම් විය යුතු බවද මතක්කරමි.

(මෙම ලිපියේ ඇතැම් තැනෙක“ ගිලන් රථ පුණ්‍යකර්මය“ ලෙස මා දක්වා ඇත්තේ… ඊට විරුද්ධවන්නන් හෙවත් මෙම ඉන්දු – ලංකා ගිවිසුම්වලට විරුද්ධවන්නන් “පවුකාරයින්“ ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පවැසූ බැවිනි.)

-ජනිත් විපුලගුණ –
2016 පෙබරවාරි 26
මාතර දීය.

Top