Breaking
24 Feb 2025, Mon

ඒකාබද්ධ විපක්‍ෂයේ ගමන්මග

නිවන, බලය ආදිය පිළිබඳ ප්‍රශ්න අසා තිබුණා. ඒ සියල්ල වැදගත්. අපට අවශ්‍ය පොදුවේ රටට යහපත් අනාගතයක් උරුම කර දීමත් නිවන් අවබෝධයත්. නිවන් අවබෝධයේත් ක්‍රම තුනක්් තිබෙනවා. අප ඒවාට තුන් බෝධිය කියා කියනවා. පළමුව තමන් ම ලොවුතුරා බුද්ධත්වය ලබා අනෙක් අයට ද නිවන් මග පෙන්වා දීම, දෙවනුව පසේ බුදුන් වී තමන් නිවන් අවබෝධ කර ගැනීම, තුන්වැනුව රහතන් වහන්සේ නමක් ලෙස නිවන් අවබෝධ කර අනෙක් අයට ද නිවනට මග පෙන්වීම.

යහපත් අනාගතයක් ගැන කී විට ම ප්‍රශ්න මතුවෙනවා. යහපත් කියන එකේ තේරුම මොකක් ද? මට යහපත් වන්නේ නිවන් අවබෝධයට සාපේක්‍ෂව කරන කියන දේ. අපට නිවන් අවබෝධයට උපකාර වන රටක්, පතිරූප දේශයක් සකස්කර ගත හැකි නම් එය වැදගත්. එවැනි රටක නිවන ගැන විශ්වාසයක් නැති අයටත් නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න පුළුවන්. නිවන බලය ආදිය ගැන අද කතා නොකර රටේ ප්‍රශ්නය ගැන තව ටිකක් හිතමු.

මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන්නේ එය ප්‍රත්‍යක්‍ෂය නොව අනුමානය ගරු කරන බැවින් හා ඒ අනුමාන ලබා ගන්නේ වියුක්ත ප්‍රවාද ලෙස බැවින්. පැරණි සිංහලයන් හා මූල සිංහලයන් (යක්‍ෂ, නාග, රාක්‍ෂස, දේව පමණක් නොව අර්ධ රාක්‍ෂස, අර්ධ නාග ආදීන් ද) සිත දියුණු කර ආධ්‍යත්මික ව ප්‍රත්‍යක්‍ෂයෙන් (පංචෙන්ද්‍රියවලට පමණක් ගෝචර වන ප්‍රත්‍යක්‍ෂ නොව) දැනුම ලබාගෙන තිබෙන බව කිව හැකියි. අප අතරත් එවැන්නන් සිටිය හැකියි. එහෙත් එසේ කළ නොහැකි මා වැනි අයට ප්‍රවාද ගොඩනගන්න වෙනවා. මා බටහිර විද්‍යාවෙන් ඉගෙනගත් ප්‍රධානම දේ මේ ප්‍රවාද ගෙතීමයි. බටහිර විද්‍යාව ඉගෙන ගන්නා කිහිප දෙනකු වුවත් ප්‍රවාද ගෙතීම ගැන තම අවධානය යොමු කළ යුතුයි. එහෙත් ඔවුන්ට බටහිර වියුක්ත ප්‍රවාද නොව සිංහල බෞද්ධ චින්තනය පදනම් කරගෙන ප්‍රවාද ගෙතීමට සිදුවෙනවා. එවැනි ප්‍රවාදත් පෘථග්ජන දැනුම් නිසා බොරු තමයි. ඒත් පට්ටපල් බොරු නොවෙයි.

මා විදුසරේ අපේ ප්‍රවාද නමින් ලිපි පෙළක් ඇරඹුවේ එලෙස ප්‍රවාද ගෙතීමටයි. අධ්‍යාපනයෙන් හා මාධ්‍යයෙන් අපට ලැබෙන බටහිර දැනුමට ගැති නොවී අපේ ම වූ දැනුමක් සකස් කර ගැනීටයි. අපි අපේ රට ගැන ප්‍රවාදයක් සකස් කර ගනිමු. එය වැදගත්. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය කුමක් ද? ඒ වෙන කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමයි. සිංහල බෞද්ධ සංස්කෘතිය නිවන් අවබෝධය සඳහා සුදුසු තෝතැන්නක්. අවුරුදු පන්සියයකට වැඩි කාලයක් තිස්සේ බටහිරයන් හැකිනම් ඒ විනාශ කිරීමට උත්සාහ කරනවා. ඒ උත්සාහය දැනුත් අත්හැර නැහැ.

ලන්දේසීන් ද පසුව ඉතා සියුම් ව ඉංගිරිසින්ද සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීමට හැකිනම් විනාශ කිරීමට යොදා ගත් ප්‍රධාන ම සාධකය වී ඇත්තේ දෙමළ ජාතිවාදයයි. ඔවුන් අධ්‍යාපනය හා ජනමාධ්‍ය ද ඒ සඳහා යොදා ගන්නවා. ඒ සාධක දෙක ඔවුන් අනෙක් රටවල ද සංස්කෘතීන් නැති කිරීමට යොදා ගන්නා බැවින් අප රටට පමණක් සුවිශේෂ වන්නේ නැහැ. බටහිරයන් වෙන කිසිම සංස්කෘතියකට සලකන්නේ නැහැ. බහුසංස්කෘතීන් ගැන ඔවුන් කියන්නේ බහුබූත පමණයි. දෙමළ ජාතිවාදය ඔවුන් අප රටේ දී පමණක් යොදා ගන්නා සාධකයක්.

මහින්දගේ ආණ්ඩුව සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූවක් නොවෙයි. එහෙත් ශ්‍රී ල නි පක්‍ෂයේ ස්වභාවය අනුව මහින්ද සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් ඉටුකළා. ඒ දෙමළ ජාතිවාදයේ විකාශයක් ලෙස ආයුධගත් කොටි සංවිධානය පරාජය කිරීමයි. එය සාමාන්‍යයෙන් හඳුන්වනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය කියායි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් මහින්ද සිංහල බෞද්ධ ජනතාව අතරත් සමස්තයක් ලෙස ලෝක බෞද්ධ ජනතාවත් අතර ගෞරවයට පාත්‍ර වුනා.

මහින්දට දෙමළ ජාතිවාදය නීතියෙන් පරාජය කරන්න බැරිවුණා. දෙමළ ත්‍රස්තවාදය කියන්නෙ දෙමළ ජාතිවාදයෙ ම විකාශයක් බවත් නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදයත් දේශපාලනික ව පරාජය වූ බවත් තේරුම් ගන්න සිංහල බෞද්ධයනට නොහැකි වුණා. ඒ දේශපාලනික පරාජය කිරීම නීති පොතට ඇතුළත් නොකිරීමේ, එනම් දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා පනත අහෝසි නොකිරීමේ විපාක අද අපට විඳින්න සිදුවෙලා. විග්නේස්වරන් කියන්නෙ එංගලන්තෙ ඉන්න විසුරුණු දෙමළ ජනයාගේ නියෝජිතයා. ඒ ජනයා පිටුපස කැමරන් ඉන්නවා. විග්නේස්වරන් 1956න් පස්සෙ සිංහල ඉගෙන ගත්තෙ නැතිලු. ඔහු 1956 සිට රාජ්‍ය භාෂා පනතට වෛර කළාලු. මේ රටේ වලංගු පනතකට වෛර කරන අයකු ලෙස ඔහු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකාරයකු ලෙස කටයුතු කෙළේ කොහොම ද? පනත්වලට වෛර කරන අය විනිශ්චය කාරයන් විය යුතු නැහැ. පනත් හෙවත් නීතිය විවරණය කරන්නකු පනත්වලට වෛර කිරීම එකඟ වන්නේ මොන නීතියට ද? මොන සම්ප්‍රදායට ද?

ඒ කොහොම වුනත් රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළා දැම්මේ බටහිර රටවල් හා ඉන්දියාවයි. ඒ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නිසා. බටහිරයන්ට ඒ කළ හැකි වූයේ මහින්ද දෙමළ ජාතිවාදය පරාජය කිරීම නීති පොතට ඇතුල් නොකර වැනෙන්න ගිය නිසා. දහතුනට එහා, එහෙම නැත්නම් තර්ටීන් ප්ලස් ආදී කතා බටහිරයන් සැනසීමටවත් කීමට තිබුණේ නැහැ. උගත් පාඩම් කමිටුව වෙනත් නමකිනුත්, පරණගම කොමිසමත් පත්කරලා එහි නිර්දේශ අවශ්‍ය නම් ක්‍රියාත්මක කරනවයි කිවුව නම් ඇති. ජෙනීවා සම්මේලනවලට කුද ගහගන්න කියන්න තිබුණෙ.

දැන් ගිය නුවණ ඇතුන් ලවාවත් ආපහු අදින්න බැහැ. ඒත් ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කරන ආකාරය ගැන අපට සතුටු වෙන්න බැහැ. ඔවුන් ප්‍රධාන ප්‍රශ්නය තේරුම් ගන්න බවක් පේන්නෙ නැහැ. ඔවුන්ට වැදගත් වී තිබෙන්නේ ද්විතීයික ප්‍රශ්න. ඒ ගැන කතා නොකර ඉන්න කියනවා නොවෙයි. ප්‍රධාන ප්‍රශ්නය ගැන විතරක් කතා කරල දේශපාලනය කරන්න බැහැ. ඒ ප්‍රශ්නත් ජනතාවට විඳින්න වෙලා තියෙන ප්‍රශ්න. ඒවා ගැන කතා නොකර ප්‍රධාන ප්‍රශ්නය ගැන විතරක් කතාකරන්න පුළුවන් ආදායම වැඩි එවැනි ප්‍රශ්න නැතීි ඉහළ මධ්‍යම පංතියෙ අයට විතරයි. වැට් බදු වැඩිකිරීම, මහා බැංකු මංකොල්ලය, අර්ජුන් මහේන්ද්‍රන් නැවත පත්කිරීම, සාලාව ගිනි ගැනීම, ගංවතුර නාය යෑම් ආදී ප්‍රශ්න කතාකරන එකේ විශ්වාසභංග යෝජනා ගෙනෙ එකේ වැරුද්දක් නැහැ. වැරුද්ද ප්‍රධාන ප්‍රශ්නයට නිසි බර නොදැමීම. මැතිවරණ කාලෙත් ඒ බර දැම්මෙ නැහැ.

තවමත් ඒකාබද්ධ විපක්‍ෂය නව දේශපාලන සංවිධානයක් ගොඩ නගලා නැහැ. ඔවුන් කටයුතු කරන්නෙ එංගලන්තෙ විරුද්ධ පක්‍ෂයක් වගේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට අනුකූලව. ඔවුන් ආණ්ඩුවත් එක්ක නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න යනවා. මේ ව්‍යවස්ථා සම්පාදනයට එකඟ වන්නෙ ම ප්‍රධාන ප්‍රශ්නය අවධාරණය නොකරන නිසා. මේ ආණ්ඩුව රාජ්‍ය විරෝධී ආණ්ඩුවක්. සිංහල බෞද්ධ විරෝධී යටත්විජිත ගැති ආණ්ඩුවක්. ඒකාබද්ධ විපක්‍ෂය එය තේරුම් ගෙන නැහැ. බටහිර සම්ප්‍රදායට අනුව කතානායකට විරුද්ධව ජෙනීවා ගිහින් ඒකාබද්ධ විපක්‍ෂයට කිසිම දෙයක් ලැබුණෙ නැහැ. අඩු තරමින් රවි කරුණානායකට විරුද්ධ විශ්වාසභංග යෝජනාවෙදි කතාකරන්නවත් වෙලාව ලැබුණෙ නැහැ.

ඒකාබද්ධ විපක්‍ෂෙ බොහෝ දෙනකුට ප්‍රධාන ප්‍රශ්නය තේරුම් ගන්න වුවමනාවකුත් නැහැ. ඔවුන් තවමත් හිතන්නෙ සිංහල බෞද්ධකම ගැන කතාකිරීම ජාතිවාදී කියලා. ඔවුන් සමහරකු පැකේජ්කරුවන්. සමහරකු සිංහල ගැන විතරක් කතාකරන්න බයයි. ඔවුන්ට සිංහල දෙමළ මුස්ලිම් ජනයා ගැන නොකියා බැහැ. ඔවුන්ට නායකයන් යැයි කියන්න බැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියක අනෙක් ජනයාට කිසිම ප්‍රශ්නයක් නැති බව ඔවුන්ගේ මනසට ගෝචර වන්නේ නැහැ.
නලින් ද සිල්වා

2016 ජුනි 15

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.